වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිල් අහසම වසඟ කරන කිරිල්ලගේ පියාසැරිය
නිල් අහස සුපැහැදිලිය. පිවිතුරුය. එහි සීමාමායිම් නැත. අප සියලු දෙනාටම අයිතිය. අහස දෙස බලා අපිට අපේ ප්‍රාර්ථනා වෙනුවෙන් ඉල්ලීම් කළ හැකිය.
අපේ සිහින සිත්තම් කරන්නේ ද නිල් අහස මතය. අහස අපෙන් බොහෝ ඈත වුවත් එහි අපේ සිහින සිත්තම් කරන්නට තරම් විශ්වාසයක් අප තුළ ඒ කෙරෙහි පවතී.
ඒ නිසාමයි හැමෝම අහස අල්ලන්නම උත්සහ ගන්නේ. හැබැයි මේ විදිහට අහස මත හීන සිත්තම් කරන්න හැක්කේ කීයෙන් කී දෙනාටද? හැබැයි මේ කියන්න යන ඒ යුවතියට එයාගේ හීනය අහස මත හරි අපූරුවට සිත්තම් කර තිබුණා. දැන් ඈ අහසේ පියාඹන්නෙ හරිම නිදහසේ. හරිම සැහැල්ලුවෙන්. හරියට පුංචි කිරිල්ලියක් වගේ. නිල් අහසම වසඟයට ගත් ඇය කපිතාන් බිමාලි ජීවන්දරය. ඇය මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් පටු බඳ (Narrow body) සහිත ගුවන්යානා නියමුවරියක ලෙස ගුවන සරන්නීය. ගුවන සරන ඇගේ කතාව ඔබ අහන්නම ඕනේ කතාවක්. ඇය ඒ කතාව පටන් ගත්තේ මේ විදිහට.
දැනුම් තේරුම් තියෙන වයසේ ඉඳලම මගේ හිතේ තිබ්බේ ගුවන් නියමුවරියක් වීමේ ආශාවයි. ඒ හීනය හැබෑ කර ගන්නකම්ම මම ඒ වෙනුවෙන් කැපවුණා. දැන් ඒ හීනය සැබෑ වෙලා. තමන් ආස කරන වෘත්තියක නියැළෙන එක කොතරම් වාසනාවක්ද?
මෙතරම් වෘත්තීන් තියෙද්දි ඇයි ගුවන් නියමුවරියක්ම වෙන්න හිතුවේ..
ඒ ආශාව වැඩි වුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කපිතාන්වරයෙක් විදිහට සේවය කළ මගේ ලොකු තාත්තා (තාත්තගෙ අයියා) නිසා වෙන්න පුළුවන්. ලොකු තාත්තගෙන් අහන්න ලැබුණු අත්දැකීම් වගේම ඔහුගේ ජීවන රටාව දැක්කම පුංචි කාෙල්දීම මට ලොකු කැමැත්තක් ඇති වුණා ගුවන් නියමුවරියක් වෙන්න. ඒත් ඒ කාලේ අපේ ජාතික ගුවන් සේවයේ කාන්තා නියමුවරියන් හිටියෙ නැති නිසා මට ඒ ආශාව මගේ හිත ඇතුළෙම තියාගන්න සිද්ධ වුණා. මම හත වසරේ ඉන්නකොට අපේ පාසලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට ආවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවරියක වන කැප්ටන් අනූෂා සිරිරත්න. එදා තමයි මම දැනගත්තේ දැන් අපේ ගුවන් සේවයේ කාන්තා නියමුවරියන් ඉන්නවා කියලා. ක්‍රීඩා උත්සවයෙන් එදා මම ලබාගත් තරග ජයග්‍රහණ සේරටම වැඩිය මට ලොකුම සතුට ලැබුණේ ඒ ආරංචියෙන්. කැප්ටන් අනූෂා එදා උත්සව සභාවේදි කරපු කතාවෙන් මට පුදුමාකාර ජීවයක් ලැබුණා. එදා ඉඳලා හැමදාම මම දැක්කේ ගුවන් නියමුවෙක් වෙන හීනයම විතරයි.
අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?
මම බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවේ. පාසල් කාලයේදී අධ්‍යාපන කටයුතුවලට වගේම බාහිර ක්‍රියාකාරකම්වලට ද උනන්දුවක් දැක්වූවා. ස්කොෂ් සහ ටෙනිස් ක්‍රීඩාව කළේ මම හරිම ආසාවෙන්. විවාද සහ කථික අංශයෙන් ද ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඒ වගේම නාට්‍ය සහ ගායනා ඇතුළු සියලුම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ මොන දේ කළත් මගේ එකම හීනය වුණේ ගුවන් නියමුවරියක වීමයි.
ඒ හීනයට පාර කැපුණේ කොහොමද?
මම ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ද ඒ ඉලක්කය සිතේ තබාගෙනයි. ඊට පස්සේ පෞද්ගලික ගුවන් නියමු පුහුණු පාසලකට ඇතුළත් වී පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රයත් (PPL) පසුව වාණිජ ගුවන් නියමු බලපත්‍රයත් (CPL) සහ ගුවන් මගී ප්‍රවාහන පුහුණුවත් ලබා ගත්තා. ඊට පස්සේ මම ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැඩෙට් ගුවන් නියමුවරියන් පුහුණු කිරීම වෙනුවෙන් පළ කර තිබූ දැන්වීමක් දැකලා අයැදුම් කළා. ඒ අනුව ඇතුළත්වීමේ පරීක්ෂණයකින් පසු 2013 වසරේදී කැඩෙට් ගුවන් නියමුවරියක ලෙස ජාතික ගුවන් සේවය ඇතුළත් වී පුහුණුව ලබන්න අවස්ථාව හිමි වුණා.
ඒ පුහුණුව ගැන කතා කළොත්..
ඒක ඉතාම විධිමත් පුහුණුවක්. 2013 අගෝස්තු ආරම්භ කළ පුහුණුව අවසන් වුණේ 2014 මාර්තු මාසයේදී. ඉන්පසු පළමු පියාසර නිලධාරි තනතුරේ වැඩ කරන්න පටන් ගත්තා. මේ වෙද්දි මම කපිතාන් තනතුරට පත් වෙලා අවුරුද්දයි මාස කිහිපයක් වෙනවා. ජීවිත රැසක වගකීම දරමින් ගුවන් යානයකින් ඉහළ අහසේ පියාසර කරන එක ලොකු අභියෝගයක් වුණා.
පළමු අත්දැකීම කොයි වගේද?
ඒ පළමු අත්දැකීම ගැන නම් විස්තර කරන්න වචන නැති තරම්. ගුවන් නියමු පුහුණු පාසලේ පුහුණුව ලබන කාලයේදී කෙටි දුරක් තනිවම (Solo) ගුවන්යානා අරගෙන යන්න අපිට අවස්ථාව ලැබෙනවා. එහෙම මුලින්ම ගුවනට යද්දි බියක්, තිගැස්මක් දැනුණත් ඉහළ අහසට ගියාම හරිම නිදහස් හැඟීමක් දැනුණා. ගුවන් නියමුවන් විදිහට පුහුණුව ලබන හැම කෙනකුගේම අන්තිම ඉලක්කය වෙන්නේ ජාතික ගුවන් සේවයට එක්වීමයි. ඒ විදිහට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්බන්ධ වෙලා මගී ගුවන් යානයක් පැදවූ මොහොත මට කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. ඒ හැඟීම විස්තර කරන්න වචන නැහැ. මුලින්ම මම ගියේ ඉන්දියාවේ කොචින්වලටයි. “
ගැහැනු ළමයෙක් ගුවන් නියමුවරියක් වෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඔබට මෙය අභියෝගයක් වුණේ නැතිද?
මම ගුවන් නියමුවරියක් වීමට පුහුණුව ලබන කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාන්තා නියමුවරියන් පස්දෙනෙක් සිටියා. එය මගේ ගමනට පූර්වාදර්ශයක් වුණා. ශ්‍රී ලන්්කන් ගුවන් සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන විභාගය ඉතාම තරගකාරියි. 200 දෙනෙක් පමණ අයැදුම්කරුවන් අතරින් 8-14ක් වගේ සංඛ්‍යාවක් තමයි තෝරා ගන්නෙ. ඒ අතරින් කාන්තාවන් සංඛ්‍යාව ඉතා අඩුයි. ඒක ගුවන් සමාගමේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට හේතුව අපේ සමාජය තුළ තිබෙන ආකල්ප. බොහෝදෙනා තවමත් හිතන්නෙ ගැහැනු ළමයෙකුට මේ ක්ෂේත්‍රය ගැළපෙන්නෙ නැහැ කියලා. මගේ කණ්ඩායමේ සිටි දොළොස් දෙනාගෙන් කාන්තාවකට හිටියෙ මම පමණයි. නමුත් කොයි වෙලාවකවත් මම හිතුවේ නැහැ කාන්තාවක් වීම අභියෝග ජයගන්න බාධාවක් කියලා. ගැහැනු, පිරිමි කියලා අපට පැවරෙන කාර්යයන්, වගකීම් වෙනස් වෙන්නෙ නැහැ. අප ඊට මුහුණ දෙන ආකාරයයි වැදගත් වන්නේ. ගුවන් නියමුවරියක් වීමේ සිහිනය සැබෑ කර ගන්නවාමයි කියන දැඩි අධිෂ්ඨානය මා තුළ තිබුණා. මම හිතන්නේ මගේ ආත්ම විශ්වාසය, මව්පියන්ගෙන් සහ සැමියාගෙන් ලැබුණු සහයෝගය, මගේ ආකල්ප සහ ජීවන ක්‍රමය ඒ සඳහා මූලික වශයෙන් බලපෑ කරුණු තුනයි.
මේ කාලය තුළදී අමතක නොවන සිදුවීම්වලටත් මුහුණ පාන්න ඇති...
ගුවන් නියමුවරියක් විදිහට පුහුණුව ලබන කාලයේ දවසක් බැංග්ලෝරය දක්වා ගිය ගුවන් ගමනකදී ගුවන්යානයේ බඳේ කුරුල්ලෙක් වැදිලා සුළු හානියක් වුණා. නමුත් ඒක හදාගෙන නැවත අපිට ලංකාවට එන්න ලැබුණේ දින දෙකකින් පමණ. එවැනි දෙයක් ගැන පෙර සූදානමක් ඇතිව ගියේ නැති නිසා නිල ඇඳුම හැර අමතර ඇඳුමක්වත් ගෙන ගොස් තිබුණේ නැහැ. ගුවන්යානයේ අලුත්වැඩියා කටයුතු සිදුවෙන අතරේ ඇඳුම් මිලදී ගන්නත් සිදු වුණා.
ඒක අමතක නොවන අත්දැකීමක් වගේම එවැනි අවස්ථාවලට මුහුණ දෙන්න හොඳ අත්දැකීමකුත් වුණා”
මගීන්ගෙන් බිමාලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගුවන්යානය ගෙන යන්නේ කාන්තා ගුවන් නියමුවරියක් කියලා දැනගත්තාම ඇතැම් මගීන් ඒ මොහොතෙම ඔවුන්ගේ සතුට, පුදුමය පළ කරනවා වගේම අප දිරිමත් කරන ප්‍රතිචාර දක්වනවා. ඊටත් වඩා අප ශ්‍රී ලාංකික ගුවන් නියමුවරියන් ගැන බොහෝ විදේශිකයන් සතුට පළ කරනවා. ඒ වෙලාවට අපටත් රට ගැන ආඩම්බරයක්, අභිමානයක් දැනෙනවා.
ජීවිත දහස් ගණනක ආරක්ෂාව තියෙන්නේ ඔබේ අතේ. ඉතින් ආතතියට පත් වෙන අවස්ථාවනුත් ඇති..
ගුවන් ගමනක් වැනි වගකීම් බහුල සංකීර්ණ වෘත්තියක නියැළීමේදී යම්කිසි ආතතියකට, පීඩනයකට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි ආතතියකට, පීඩනයකට මුහුණ දෙන අවස්ථා මඟහරවා ගැනීමට මම නිතරම උත්සාහ කරනවා. ගුවන් ගමනක් අවසන් වුණාට පසු නිවෙසට යනතෙක් මම මනස සන්සුන් වන සංගීතයකට සවන් දෙනවා. ඒ වගේම විවේක වෙලාවට මම පොත් කියනවා. ගීත රස විඳිනවා. සැමියා එක්ක කොළඹින් පිට සංචාරය කිරීමත් මගේ විනෝදාංශයක්. ඒ වගේම මම ශාරීරික සුවතා සඳහාත් කාලයක් වැය කරනවා. එය කාන්තාවක් විදිහට නිරෝගී සිරුරක් පවත්වාගෙන යෑම සඳහා වගේම කායික මානසික සුවතාව සඳහාත් විශේෂයෙන් වැදගත් වෙනවා.
පවුලේ විස්තර ගැනත් මතක් කරමු
මගේ තාත්තා මහින්ද ජීවන්දර. ඔහු විශ්‍රාමික යුද හමුදා අධිකාරිලත් නිලධාරියෙක්. අම්මා පද්මා ජීවන්දර. ඇය පෞද්ගලික පාසලක විදුහල්පතිනියක් ලෙස සේවය කළා. ඒවගේම වසර 35ක පළපුරුද්දක් තියෙන ගුරුවරියක්. මට ඉන්නේ අක්කා කෙනෙක්. එයා විද්‍යාඥවරියක්. එයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මම විවාහකයි. සැමියා වෘත්තියෙන් ගුවන්යානා ඉංජිනේරුවරයකු ලෙස සේවය කරනවා. ඔහු පසන් උදලාගම.
කපිතාන් බිමාලිගේ වැඩකටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
විවාහයට පෙර මව්පියන්ගෙන් ලැබුණා වගේම විශාල සහයෝගයක් දැන් සැමියාගෙන් ලැබෙනවා. විශේෂයෙන් මගේ වෘත්තිය ගැන ඔහුට තියෙන දැනුම, අවබෝධය ඉතා ඉහළයි. ඒ නිසාම මගේ රැකියාවේ ස්වාභාවය, මගේ මානසික තත්ත්වය පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියන දේ ගැන ඔහු තුළ හොඳ අවබෝධයක් තිබීම විශාල පහසුවක්. ඒ නිසා රැකියාවත්, පෞද්ගලික ජීවිතයත් සමබරව සතුටින් පවත්වාගෙන යන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මම ඉතා හොඳින් කාලය කළමනාකරණය කරගන්නවා. ඒ නිසා මට පෞද්ගලික කටයුතු, පවුලේ කටයුතු සහ වෙනත් අවස්ථා සඳහා සහභාගි වෙන්න කාලය තියෙනවා.
මේ තරම් සාර්ථක ගමනක් එන්න බිමාලිට සවිය වුණේ කවුද?
එකම අරමුණක් වෙනුවෙන් කැපවීම සහ ආත්ම ශක්තිය තමයි මගේ සාර්ථකත්වයට හේතු වුණේ. ඒ වගේම මව්පියන් මගේ අරමුණු තේරුම් අරගෙන උදව් කළේ නැත්නම් මම මෙතැන නැහැ. පාසලෙන් ලැබුණු වටිනාකම් ද මට ලොකු ශක්තියක් වුණා. උසස් පෙළ පන්ති භාරව සිටි බෙනික්නා ද සිල්වා ගුරුතුමිය මගේ ගුවන් නියමු සිහිනය ගැන හොඳින්ම දැන සිටියා. උසස් පෙළට විෂයන් තෝරගනිද්දි ඇය මට කිව්වේ මගේ ඒ අරමුණ කරා ළඟාවෙන්න උදව් වෙන විෂයන් හදාරන්න කියලයි. ඒ වගේම කාන්තා ගුවන් නියමුවරියක් වීමේ අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පුහුණුකරුවන් සියලු දෙනාටත්, ජ්‍යෙෂ්ඨ කාන්තා කපිතාන්වරියන්ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මගේ ස්තුතිය පුදකරනවා. අවසාන වශයෙන් මේ ක්ෂේත්‍රයට යොමු වීමට කැමති තරුණියන්ට කියන්නේ මෙය ඉතාම හොඳ ක්ෂේත්‍රයක්. එදාට වැඩිය මේ සඳහා යොමු වීමට ආයතන අද අපේ රටේ තියෙනවා. පිළිගත් එවැනි ආයතනයක් තුළින් විධිමත් පුහුණුවක් ලබා මේ ක්ෂේත්‍රයට යොමු වන්න. බය වෙන්න එපා, තමන්ගේ සිහින සැබෑ කරගන්න නම් ඒ වෙනුවෙන්ම කැප වෙන්න.
ඡායාරූප- ශාන් රූපස්සර