වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කිරිවෙහෙරට පාර හදපු කැලෑ ගමේ ගිමාරා
කිරිවෙහෙරට ඉහළින් රතු අවපස නැඟෙමින් තිබුණි. සුදෝ සුදු සඳ බැබලිණි. ගගනතලය ඉම සිට කිරිවෙහෙර වෙත ආකාස වන්දනාවකය. හිස් අහස දෙස බලාසිටි ගිමාරා මේසා හිස් ජීවිතය ගැන කිහිපවරක් සිතමින් කිරිවෙහෙර වන්දනාමාන කළාය.ඇයට මියගිය අම්මා සිහිවනවිට එකින් එක වැටෙන කඳුළු කැට දෙක තුනක් සලපතළ මළුව සිපගත්තේ අහම්බයෙනි.
මේ කතාව ඔබ ඇසීමට පෙර මුල මැද අග සියල්ල දැනගත යුතුමය.
දෙනගම පිහිටි තල්ගහහේන බටහිර කොටසේ පිහිටි කැලෑ කොටසේ ජීවත් වන මීගහලන්ද දුරගේ ගිමාරා පවුලේ එකම දරුවාය. විවාහ වුවහොත් සිය මහලු දෙමාපියන්ට ඇප උපස්ථාන කිරිමට නොහැකි වේවි යන බිය නිසා ගිමාරා ඇයට ගෙනාආ විවාහ යෝජනා කිසිවකට කැමති නොවූවාය.ගොවිතැන් කටයුතු සිදුකර සිය දෙමාපියන් දෙදෙනාද රැකබලාගෙන හිටිය ගිමාරාට මේ ලොව තනිවන්නට සිදු වූයේ මව සහ පියා දෙදෙනාම මිය යාම නිසාය. ගිමාරාට දැන් වයස 77කි. මේ ගිමාරා අද අපේ කතා නායිකාවයි.
ඇය අපේ කතාවේ නායිකාව ලෙස එක් කර ගන්නේ සුවිශේෂී හේතුවක් නිසාය.
ඔබ වන්දනාව සඳහා කතරගම කිරිවෙහෙරට යන සෑම විටකම ඔබ ගමන් කරන්නේ ඇය විසින් දුක දිනා අලංකාර කළ මාවත මතිනි. ගිමාරාට අවශ්‍ය වූයේ බැතිමතුන් රැසකට පහසුව සලසන පරිදි කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වෙත පිවිසෙන මාවත අලංකාර කිරීමය. ඇය ඒ වෙනුවෙන් දුක් විඳ දිනෙන් දින මුදල් එක් කළාය.
කැලෑ ගමේ දුක් විඳ ඒ මුදල එක් කළ ගිමාරා මව්පියන් වෙනුවෙන් තම පින්කමට මුලපිරුවාය.
මේ ඒ උත්තුංග කටයුත්ත පිළිබඳ ගිමාරාගේම කතාවය.
මගේ ගම හක්මන දෙනගම. දෙනගම තලගහහේන බටහිර කියලා තමයි මම ඉන්න කොටසට කියන්නේ. ඒ කාලේ නම් මේ කොටසේ පවුල් කීපයක් හිටියා.නමුත් මේ කොටසට යන්න එන්න කිසිදු පහසුකමක් නැති නිසා ගමේ හිටිය අනිත් අය මේ ඉඩම් අතහැරලා ගියා. දැන් ඉන්නේ මම විතරයි ඒ කොටසටම. යන්න එන්න පාරක්වත් නෑ හරියට.රෑට වන සතුන් තමයි හතර වටේම ඉන්නේ. මම අම්ම තාත්ත එක්ක මේ ගෙදර තමා හැදුණේ වැඩුණේ. මම ස්කෝලේ ගියේ දෙනගම බටහිර මහා විද්‍යාලයට. 1964 දී මම සාමාන්‍ය පෙළ ලිව්වේ. මට වැඩ අටක් එක්ක සම්මාන දෙකක් තිබුණා. ඒත් ඉන් එහාට ඉගෙන ගන්න ආසාව තිබුණට ඒකට මට හොඳ පරිසරයක් තිබ්බේ නෑ. මොකද මගේ අම්ම තාත්තා ගොවිතැන් වැඩ කළේ. ඉතින් ඒ දෙන්නට හැමදාම මේවා කරන්න බැරි නිසා මට ඕනි වුණේ ඒ දෙන්නට සලකන්න මොකක් හරි රස්සාවක් හොයා ගන්න. එහෙම් ඉන්නකොට මට ඇඹිලිපිටිය කඩදාසි ෆැක්ටරියේ රස්සාවක් ලැබුණා. මම කාලයක් ඒකෙ වැඩ කරගෙන යද්දී කඩදාසි කම්හල වහලා දැම්මා.
ගිමාරා දිගු හුස්මක් හෙළන්නේ බලාපොරොත්තු සුන් වූ සිරියෙනි.
ඊට පස්සේ මම කොළඹ රත්මලානේ ගාමන්ට් එකක රස්සාවට ගියා 1970 වසරේදී. පුංචි පඩියක් අපිට ඒ කාලේ ලැබුණේ. කොහොම හරි මම ඒ ගාමන්ට් එකේ 1994 වෙනකම් වැඩ කළා. තාත්තයි අම්මයි දෙන්නම නැති වුණාට පස්සේ මම රස්සාවට යන එක නවත්තලා ගෙදර ඇවිත් අම්මට තාත්තට පිං දෙන්න පිංකම් කරන්න පටන් ගත්තා. මම ඒ පිංකම් කරන්න මුදල් හොයා ගත්තේ ගෙදර තියෙන බුලත් කඩලා සහ ඉරටු සුද්ද කරලා සහ ගෙදර ඉඩමේ පොඩියට හැදෙන මඤ්ඤොක්කා අල හා කොළ එකතු කරලා විකුණලා ලැබෙන මුදලින්.මම දෙමාපියන්ට පිං දෙන්න1998දී දෙනගම පන්සලේ දොළොස් මහේ පහනක් හදලා පූජා කළා. ඊට පස්සේ දවසක තමා මං අම්මට තාත්තට පිං දෙන්න කියලා හිතාගෙන කතරගමට ආවේ. ඒ ආව වෙලාවේ කිරිවෙහෙර වැඳගෙන මම පහළ මළුවට එනකොට එවකට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැවේ සෝරත නා හිමියන් මට මුණ ගැහැණා. ඒ වෙලාවේ උන්වහන්සේ සමඟ මම කතා කළා. ඒ වෙලාවේ මම හිතාගත්තා අම්මා තාත්තා වෙනුවෙන් කිරිවෙහෙර පන්සලේ පින්්කමක් කරන්න ඕනි කියලා. කොහොම හරි ඒ කාලේ මම ගාමන්ට ගිය එකට මට පොඩි ගාණක් ලැබිලා තිබුණා. එදා ඉඳන් මම නිතර නිතර කිරිවෙහෙර පන්සලට ආවා ගියා පින්කම් වලට.සිල් ගන්නත් මම කිරිවෙහෙරට ආවේ.බස් පහසුකම් නැති නිසා මම කලින් දවසේ ඇවිත් කතරගම කිරිවෙහෙර ළඟ කොහෙටහරි වෙලා ඉඳලා උදේ තමා සිල් ගන්න සම්බන්ධ වෙන්නෙ.ඉතින් මට ඒ වෙලාවේ හිතුනා කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත යන මාර්ගය කැට ගල් අතුරලා සකස් කළා නම් හොදයි කියලා. කොහෙම හරි මම මේක හිතේ තියාගෙන මුදල් එකතු කරනකොට එවකට හිටිය කිරිවෙහෙර පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුණා.කොහොම නමුත් මගේ ආසාව මම අත්හැරියේ නෑ. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. මම මේ සඳහා බුලත් විකුණලා, ඉරටු සුද්ද කරලා මඤ්ඤොක්කා විකුණලා මුදල් එකතු කළා. එහෙම සල්ලි ටිකක් එකතු කරගෙන ඇවිත් මම කිරිවෙහෙර රාජමහා විහාරයේ දැන් ඉන්න අපේ කොබවක ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ හමුවෙලා මගේ ආසාව ගැන කිව්වා.නායක හාමුදුරුවෝ මට ඒකට අවස්ථාව සලසලා දුන්නා. කොහොම හරි මම මගේ මියගිය අම්මට තාත්ත පින් දෙන්න කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අසලට යන මාර්ගය කැටගල් අතුරා පිළිසකර කරලා 2021 අවුරුද්දේ ඇසළ පෝය දවසේ පූජා කළා. මට පුදුම සතුටක් තියෙන්නේ දැන් කිරිවෙහෙරට යන එන බැතිමතුන් මේ මතින් යනකොට. මගේ අම්මට තාත්තට ඒ පිනම ඇති. මට දැන් අවුරුදු 77ක් වෙනවා. අදටත් මම පුළු පුළුවන් විදිහට බුලත් විකුණලා ගන්න සල්ලි වලින් පින්දහම් කරනවා. මට දැන් වයසත් එක්ක මේ ගෙදර ඉඳන් වැඩ පල කරගන්න බෑ. ඒ නිසා මං දැන් වෙන කොහෙටහරි ගිහින් මගේ නිදහසේ අවසන් කාලය ගෙවන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ යැයි ඇය පැවැසුවාය.
මේ මාහැඟි පින්කම සිදු කළ ගිමාරා පිළිබදව ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නා හිමියන් පවසන්නේ මෙම පින්කම පිළිබඳ අතිශය පැසසුමට ලබා දෙමිනි.
මේවනවිට දෙස් විදෙස් බැතිමතුන් කිරිවෙහෙර වඳින්න පුදන්න යන්නේ ගිමාරා මහත්මිය විසින් සකස් කළ මාර්ගය මතිණි.ගිමාරා මහත්මිය බොහෝ දුප්පත් කෙනෙක් වුවද අදහස් අතින් ඉතාමත් පොහොසත් පින්වන්ත කෙනකු ලෙස හැඳින්වීම වරදක් නොවේ. කිරිවෙහෙරට යන මාර්ගය දිගේ දවසකට දෙනෝදාහක් දෙනා පින් මාවතට එක්වෙති. ඒ සියලු දෙනා අනුමෝදන් කරන පින ගිමාරාගේ මෑණියන්ට, පියාණන්ට සහ මළගිය නෑදෑ හිතවතුනට අනුමෝදන් වනු ඇත. ගිමාරාගේ වේදනාවේ මහන්සිය අද සතුටක් බවට පත්ව ඇත්තේ එලෙසිනි.
සටහන සහ ඡායාරූප
නුවන් ජයසේකර
සූරියවැව විශේෂ