ඔන්ලයින් බිස්නස් එක ගොඩ දාගමු

සැප්තැම්බර් 23, 2024

පාරිභෝගිකයන් සමඟ විනිවිද පෙනෙන පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීම ව්‍යාපාරයක තිබිය යුතුම දෙයක්. අහිදී ව්‍යාපාරයේ පිළිවෙත්, ප්‍රතිපත්ති මිලකරණය ආදී තොරතුරු විනිවිදභාවයෙන් යුතුව හෙළි කළ යුතුය. නිෂ්පාදන හෝ සේවා පිළිබඳ තොරතුරු, ඒවා පාරිභෝගිකයා වෙත යැවීමට වැයවන පිරිවැය, පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ, පාරිභෝගිකයන්ට සහාය වන ආකාරය, විකල්ප නිෂ්පාදන පිළිබඳ පැහැදිලි සහ නිවැරදි තොරතුරු සපයන්න. පාරිභෝගිකයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන රැවටෙන සුළු අලෙවිකරණ ක්‍රම භාවිත කිරීමෙන් වළකින්න. වැදගත් තොරතුරු සැඟවීමෙන් වළකින්න. අන්තර්ජාලය හරහා ප්‍රචාරණ කටයුතු සිදුකරන බොහෝ ආයතන පාරිභෝගිකයාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට රැවටිලිකාර ප්‍රචාරණ ක්‍රමවේද අනුගමනය කරමින් බලපෑම් ඇති කරයි. එමෙන්ම භාෂාව සූක්ෂම ලෙස භාවිත කරමින් සැබෑ තොරතුරු සඟවා ව්‍යාජ තොරතුරු ලබා දේ. එවැනි කටයුතු නිසා පාරිභෝගික විශ්වාසය බිඳ වැටේ.

පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගත හැකි තවත් ක්‍රමවේදයක් වන්නේ වෘත්තීය පෙනුමක් ඇති වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. වෙබ් අඩවිය භාවිත කිරීමට පහසු, පරිගණකයට සහ ජංගම දුරකථනයට එක ලෙස භාවිත කළ හැකි, සැරිසැරීමට පහසු සහ ආරක්ෂිත වෙබ් අඩවියක් විය යුතුය. පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා වෙබ් අඩවියට උසස් තත්ත්වයේ රූප, නිෂ්පාදන විස්තර ආදිය ඇතුළත් කළ යුතුය.

සෑමවිටම ධනාත්මක පාරිභෝගික සමාලෝචන ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. 

ඔබගෙන් මිලදී ගැනීම් සිදු කළ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට දිරිමත් කරන්න. ඔබගේ ව්‍යාපාරික ගිණුම්වල පාරිභෝගික සමාලෝචන තබන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. එයින් ඔබගේ භාණ්ඩ හා සේවාවල ඇති ගුණත්වය පිළිබඳ සහතිකයක් ලැබෙනු ඇත. සෘණාත්මක සමාලෝචනවලට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්න.

ඔබ වෙත ගෙවීම් කරන ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය තොරතුරු ආරක්ෂා කිරීමට උපකාරීවන ආරක්ෂිත ගෙවීම් ක්‍රම ඉදිරිපත් කරන්න. අනාරක්ෂිත ගෙවීම් ක්‍රම ඉදිරිපත් කිරීමෙන් ඔවුන් තුළ ඔබ පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටේ. ඔබ තෝරාගත් ගෙවීම් ක්‍රමවල ඇති ආරක්ෂක බව ඔබගේ වෙබ් අඩවියේ සඳහන් කර තබන්න.

ඔබගෙන් භාණ්ඩ සහ සේවා මිලදී ගන්නා අන්තර්ජාල පාරිභෝගිකයන්ගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන්න. ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ගෙවීම් පිළිබඳ තොරතුරු ඇතුළු අනිකුත් සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර තබන්න. පාරිභෝගික තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ ගත් පියවර ඔබගේ පාරිභෝගිකයන්ට පැහැදිලිව සන්නිවේදනය කරන්න.

  ඔබ සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු විසඳීමට ඉක්මන් පියවර ගන්න. ඔවුන්ට සහාය වන්න. ක්ෂණික ප්‍රතිචාර දක්වන්න. සන්නිවේදනය සඳහා ඔබගේ විද්යුත් තැපැල් ලිපිනය, මඪඤඥධ ඇමතුම්, දුරකතන ඇමතුම් ආදී විකල්ප ඉදිරිපත් කරන්න.