වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ආදරණීය දෝණී
තාත්තගේ ආදරය කළු ගලක් වගේ වුණාට අම්මගේ ආදරය මෘදු මලක්
මේ දවස් ටිකේම නා කපන වැස්ස.උදේ පටන් ගන්න චුරුචුරුව හවස් වෙනකල්ම ඉවරයක් නෑ.හැම වෙලාවෙම අම්මා ඉන්නේ ඔයා ගැන හිත පුරවාගත්ත බයකින්."වැස්සෙ තෙමිල හතියවත් හදාගනී ද දන්නෙ නෑ" අම්මා කොත්තමල්ලි මුට්ටිය තියෙන ගමන් ආච්චි එක්ක කියනවා මං අහගෙන. ඔයා පන්තියට ගිය වෙලාවෙ ඉඳලා තත්ත්පරෙන් තත්ත්පරේ අම්මගේ මූණ තියෙන්නේ ඔරලෝසුවේ මූණතේ."දැන් නම් පන්ති ඇරිලා ඇති..කුඩේ ගෙනිච්චද දන්නෙ නෑ" අම්ම එක එක දේවල් කියමින් හිත ඔයා ළඟ.
වැස්ස නිසා වෙන්න ඇති. ඔයා වෙනදට වඩා අද ප්‍රමාදයි. ඒ ප්‍රමාදය සහ ආදරය ගෙදර පුංචි කලබැගෑනියක් බවට පත්වෙලා."සමාජෙ ඉන්න ඕන හැටි කවුරුත් මට කියල දෙන්න ඕනෙ නෑ"ඒ අස්සෙ ඔයා කියනව මට ඇහුණා.
අම්මා කඳුළු පුරෝගෙන ආයෙමත් කොත්තමල්ලි හට්ටිය රත් කරන්න පටන් ගත්තා.
අපි ඒ කාලේ හිටියේ පුංචි ලෑලි ගෙදරක. හරියටම අවුරුදු දාසයකට ඉස්සර. ඒ ලෑලි ගෙදරට කෑලි කපන වැස්සෙ තමයි ඔයාව පැනෙල් රෙදි දහයකින් විතර ඔතාගෙන අරගෙන ආවේ. එදා ඒ ලෑලි ගෙදරම කිරි සුවඳින් වගේම වාසනාවෙන් පිරුණේ ඔයා නිසයි.කාලයා අපට ගොඩක් දේවල් දුන්නා. ජීවිතය, ආදරය, අත්දැකීම් .... මේ හැමදේම අස්සේ ඔයා ක්‍රමානුකූලව ලොකු මහත් වුණා.
ඔව් දැන් ඔයාට ලෝකය තේරෙනවා.අම්මා පුංචියට එකතුකරපු සල්ලිවලින් ඔයාට උපන්දිනේට අරන් දුන්නු ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයා අපි නොදකින ලෝකය එක තත්ත්පරේට දකිනවා. ඒක ඇත්ත.ඒත් දෝණී අම්මයි තාත්තයි ඔයා නිතරම ඇහැ යට තියන් පරිස්සම් කරන්නේ ඔයා හොඳ නැති නිසා නෙවෙයි. මේ ලෝකය හරිම නපුරු අමානුෂික නිසා.
ගෙදරින් එළියට ගිය වෙලාවෙ ඉඳන් අම්මා ඔයා ගැන කල්පනා කරන්නේ එයාගෙ ජීවිතයම ඔයා නිසා. ලෝකේ හැම මිනිහම එක්ක ගැටිලා අත්දැකීම් එකතුකරගත්ත මට ඔයා ගැන ලොකු බයක් නැතිවුණාට ගෙදරම හැදුණු අම්මා ඔයා ගැන හරි බයයි. ඒ නිසාම පුංචි දේත් හාරමින්, අවුස්සමින් අම්මා ඔයාගේ පස්සෙන්ම එන්නේ එයාගේ ලෝකෙම ඔයා නිසා.
පුංචි හීරීමක්, පුංචි හෙම්බිරිස්සාවක් ඔයාට හැදුණම අම්මා කලබල වෙන්නෙ ඔයාට රිදෙයි කියල එයා දන්න නිසා.
මගේ දෝණී දැන් ලොකු දුවක්.ඔයා අපි එක්ක අපේ හුරතලේ අස්සේ ඉන්නෙ තව ටික කාලයයි.තාත්තට ඒක තේරුණාට අම්මට තාම ඔයා එදා පැෙනල් කෑලි දහයක විතර ඔතං ආපු පුංචි දූ සිඟිත්ත.තාත්තා මෙහෙම ලියන්නේ ඔයාට කියන්න කාරණා කිහිපයක් ම තියෙන නිසා. ඔයා දකින තරමට ඔයාට මුණගැගෙන හැමෝම සුන්දර පිවිතුරු අය නෙවෙයි. මඟතොටේ හමුවෙන හැමෝම ඔයත් එක්ක හිනාවෙලා ඔයාගේ දියුණුව පතන අයත් නෙවෙයි. අන්න ඒක නිසා ඔයාට අම්මගේ වගේම තාත්තගෙත් රැකවරණය වගේම උණුහුමත් තාමත් ඕනෙ.
ඔයාගේ කියමනට ඇස්දෙකේ කඳුළු පුරොගෙන හිටිය අම්මා කොත්තමල්ලි කෝප්පෙත් අරන් ඔයාගේ කාමරේට යනවා මං බලාගෙන හිටියා.
අම්මා ඒක හැදුවෙ ඔයාටම කියලා ඔයා දැනගන්න ඇත්තේ පස්සේ.උදේ බලනකොටත් කොත්තමල්ලි කෝප්පේ එහෙමම. අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් දෙයක් හදන්නේ ආදරය, කරුණාව වගේම මෛත්‍රිය ආදරය මුසු කරලා. ඒක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අම්මගෙ හිතට වාවගන්න බැරි තරම් දුකක්. තාත්තගේ ආදරය කළු ගලක් වගේ වුණාට අම්මගේ ආදරය මෘදු මලක්. ඔයත් කවදහරි අම්ම කෙනෙක් වුණදාට ඒක ඔයාට තේරේවි.
ඒක නිසාම කවදාවත් අම්මගෙ හිත නොරිද්දන්න වගබලාගන්න. අන්න එතකොට ඔයාටත් අම්ම කෙනෙක් වුණදාට පසුතැවීමක් නැතුව ජීවිතය ගත කරන්න පුළුවන් වේවි.
ඔයා දන්නව ද ඔයා ලොකුයි කියලා හිතන් හිටියට මේ ලෝකේ, ඔයා තාම යකඩ හීන තියෙන පුංචි මලක්....
මීට තාත්තා.