වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සතුට තියෙන්නෙ කොතැනද?
ඇත්තටම සතුට තියෙන්නේ කොතැනද? මිනිස්සු සතුටින් ඉන්න දන්නවද? මේ ප්‍රශ්න දෙකට කොච්චර උත්තර හෙව්වත් තියෙන්නේ එක උත්තරයි. සතුට තියෙන්නේ තමා තුළම පමණයි. ඇත්තටම සතුට කියන්නේ තෝරගැනීම කියන එක. සතුට කියන එක ඇත්තටම ලැබෙන්නේ අපේ ජීවිතේ එදිනෙදා සිද්ධ වෙන දේවල්, අපිට ලැබෙන දේවල් නිසා නෙවෙයි කියලා ඇත්තටම සතුටින් ඉන්න මිනිස්සු දන්නවා. හැබැයි අනික් පැත්තට ගත්තොත්, සතුටින් නැති මිනිස්සු හැමතිස්සෙම ඊළඟට සතුට හොයාගන්න පුළුවන් “තැනක්” හොයන්න. හැබැයි ඇත්තටම ඒ තැන්වලින් සතුටක් හොයාගන්න පුළුවන්ද? අන්න ඒ ගැනයි අද කතා කරන්නේ.
සතුට සල්ලිවලට ගන්න පුළුවන්ද?
අපි අහලා තියෙනවා සතුට සල්ලිවලට ගන්න බැහැයි කියලා. හැබැයි සමහරු කියනවා, අපිට සතුටු හිතෙන දේවල් සල්ලි දීලා ගන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක ඇත්තද? ඊළඟට අපි සල්ලි දීලා ගන්න අලුත්ම අලුත් ෆෝන් එකෙන් හරි, කාර් එකෙන් හරි ඇත්තටම අපිට සතුටක් ලැබෙනවද? ඇත්තටම නෑ. උදාහරණයක් විදිහට හිතන්න අපි අලුත්ම අලුත් ස්මාට්ෆෝන් එකක් ගත්තා කියලා. දැන් අපි ඒ ස්මාට්ෆෝන් එක නිසා සතුටු වෙනවා. හැබැයි ඒ සතුට කොයි තරම් කාලෙකටද? ගොඩක් වෙලාවට, අපිට ඊළඟට එන අලුත් මොඩ්ල් එකේ ස්මාට්ෆෝන් එකක් දැක්කහම මේ සතුට නැතිවෙනවා. ඔන්න ඊළඟට තව අලුත්ම මොඩ්ල් එකේ ස්මාට්ෆෝන් එකක් ගන්න ඕෙන වෙනවා.
හැබැයි අපිට ගත්ත ස්මාට්ෆෝන් එකෙන් අපිට ලැබෙන අත්දැකීමෙන් සතුටු වෙන්න පුළුවන් නම්, ඇත්තටම ඊට වඩා අලුත් මොඩ්ල් එකක් මාකට් එකට ආවා කියලා ඒක පස්සේ යන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපිට තියෙන ස්මාට්ෆෝන් එකෙන් ලැබෙන අත්දැකීමම සතුටක්.
එහෙම නැතිනම් අපි එකක් පස්සේ එකක් සල්ලි වියදම් කරලා ගනිමින් සතුට හොයනවා. හැබැයි කවදාවත් තිරසර සතුටක් හොයාගන්න ලැබෙන්නේ නෑ.
ඊළඟ පඩියෙන් සතුටක්
සල්ලිවලට කවුද අකමැති? සල්ලි ලැබෙනවට කවුද අකමැති? ඉතින් අපි ඊළඟ මාසේ පඩිය අතට එනකල් බලාගෙන ඉන්නවා “සතුටු” වෙන්න. හරි, පඩිය අතට ලැබුණහම සතුටුයි තමයි. හැබැයි ඒ සතුට කොයිතරම් කල් රඳා පවතිනවද? පඩිය දිය වෙලා යනකොට ඒ සතුටත් දිය වෙලා යන්නෙ නැද්ද? ඇත්තටම අපි ගොඩක් දෙනෙක්ගේ වත්කම වගේ කීප ගුණයක වත්කම් තියෙන තනි මිනිස්සු පවා සෑහෙන්න අසතුටින් ඉන්නවා. ඉතින් මාසෙක පඩිය හරි ලාභය හරි ලැබෙන එකෙක් සතුට හොයාගන්න පුළුවන් නම්, ඇයි මේ ලෝකේ මෙච්චර සල්ලි තියෙන මිනිස්සුත් අසතුටින් ඉන්නේ? උත්තරේ සරලයි. අපි සතුට හොයන්න ඕෙන අපිට ලැබෙන පඩියෙන්වත් නැතිනම් ප්‍රොෆිට් එකෙන් නෙවෙයි. අපි සතුටු වෙන්න ඕෙන මහන්සියෙන් වැඩ කරලා, අපි ආස කරන දෙයක් කරලා සාර්ථකත්වයක් ලබාගන්නකොට, අපිට ඒකට ලැබෙන ගෙවීමෙන්. අන්න එතකොට, අපිට අපි ගැනත් සතුටුයි, අපි උපයපු දේ ගැනත් සතුටුයි!
ෆිට් එකේ ඉමුද?
නීරෝගීව, සෞඛ්‍ය සම්පන්නව, ශක්ති සම්පන්නව ජීවත් වෙන්න කවුද අකමැති? එතකොට ලස්සන, මිනිස්සුන්ට ආස හිතෙන විදිහේ ශරීරයක් නිර්මාණය කර ගන්න කවුද අකමැති? ඇත්තටම හැමෝම ඒකට ආසයි. හැබැයි අපිට එහෙම ලස්සන, නීරෝගී ශරීරයක් නිර්මාණය කර ගත්තා, පවත්වාගෙන ගියා කියලා සතුට හොයාගන්න පුළුවන් වෙයිද? ඇත්තටම නෑ. අපි සදාකල් එකම විදිහට ඉන්නෙ නෑ. මේ ලෝකේ හදිසි අනතුරු නිසා සදාකාලික ආබාධ එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එතකොට උපතින්ම රෝගී තත්ත්වයන් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. දැන් මේ වගේ මිනිස්සු අතරත්, සතුටින් ජීවත් වෙන කොයි තරම් අය ඉන්නවද? ආන්න ඒකයි රහස. අපි පුළුවන් තරමින් නීරෝගීව, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන එක, ලස්සන හැඩකාර ශරීරයක් පවත්වාගෙන යන එක වෙනම දෙයක්. හැබැයි ඒක අපේ සතුටේ පදනම කර ගන්න එක තේරුමක් නෑ. අපිට සතුටු වෙන්න පුළුවන් අපි නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් දරණ උත්සාහයේ එක්ස්පීරියන්ස් එකෙන්. ඒ ඇති.
සතුට ලැබෙන ආදරයක්
මෙන්න මේක මිනිස්සු සතුටු වෙන්න කියලා කරන ලොකුම මෝඩකමක්. ඇත්ත, අපි කාත් එක්ක හරි ආදරය කරන්න පටන් ගත්තහම ඒක හරිම ආශ්වාදයක්, සතුටක්. ඒත් ඒකෙන් ලැබෙන සතුට සදාකාලිකද? අපි අපේ සතුට වෙනුවෙන් ගැහැනියක් හරි පිරිමියෙක් හරි තෝරාගත්තට පස්සේ, ටික කාලයක් යනකොට ඒ කෙනා සාමාන්‍ය දෙයක් විදිහට පේන්න ගන්නවා. ඊට පස්සේ ඊට වඩා හොඳයි කියලා අපිට දැනෙන ගැහැනු හරි පිරිමි හරි පේන්න පටන් ගන්නවා. එතකොට අපි ඒ වගේ කෙනෙක්ව තෝරගන්න උත්සාහ කරනවා, ආයෙමත් නැතිවුණු සතුට හොයාගන්න. මේක ඉතින් සදාකාලික චක්‍රයක් විදිහට දුවනවා.
හැබැයි හිතන්න, අපිට ආදරේ කරන මනුස්සයා ගැන අපිට පරාර්ථකාමීව, මානව භක්තියෙන් යුතුව හිතන්න බැරිද කියලා? ඒ කෙනාත් එක්ක සතුටින් ඉන්න “තෝරාගන්න” බැරිද කියලා? ආන්න ඒක තමයි කල් පවතින සතුට කියන්නේ.
කෙනෙක්ව ගොඩ දැමීමත් සතුටක්
අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අපි හැමෝම දෛනිකව ප්‍රශ්න එක්ක හැප්පෙනවා. ඒ ප්‍රශ්න විසඳාගන්න උත්සාහ කරනවා. හැබැයි ගොඩක් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ප්රශ්නවල වගකීම ගන්න කැමති නැහැ කියන එකත් බොරුවක් නෙවෙයි. එක්කෝ ඒ ප්රශ්නවල දෝෂාරෝපණය තවත් කෙනෙක් මත පටවන්න උත්සාහ කරනවා. එහෙම නැතිනම්, තවත් කෙනෙක් ලව්වා තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න උත්සාහ කරනවා. මෙන්න මේ දෙකම ගැටලුකාරීයි. ඒකෙන් සතුටක් ලැබෙනවද? ඔව්, තමන්ගේ ප්‍රශ්නයක් වෙනත් කෙනෙක් විසඳලා දුන්නහම සතුටක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම සතුටක් නෙවෙයි. එතැනින් පස්සේ අපිට තවත් ප්‍රශ්න එනවා. කිසිම කෙනෙක් සදාකල් අපේ ප්‍රශ්න විසඳ විසඳ ඉන්නෙ නෑ. අන්න ඒ නිසා කළ යුතු වන්නේ, තමන්ගේ ජීවිතේ වගකීම තමන් අතට ගන්න එක. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳන එක. අන්න එතකොට, අපිට අපි ගැන සතුටු වෙන්න තෝරගන්න පුළුවන්. අපි ගැන අපිට දැනෙන සතුට වඩාත් දීර්ඝ කාලීනව පවතිනවා.
ලෝකේ හැටි ඔහොම තමයි
ගොඩක් අය හිතනවා ඔන්න ඔහේ ලෝකේ තියෙන දේවල් ඒ විදියටම භාර ගන්න එක, උපේක්ෂාව කියලා. එතකොට ඒ උපේක්ෂාවෙන් සතුටක් ලැබෙනවා කියලා. ඇත්තටම එහෙමද? ඇත්තටම නම්, ලෝකේ තියෙන ධර්මතාවයන් අපිට උපේක්ෂාවෙන් භාර ගන්න පුළුවන්. දුක සැප මේ ලෝකේ සමබර වෙනවා, සමහර වෙලාවට දුක වැඩි වෙනවා. උපදින කෙනෙක් මේ ලෝකේ නියත වශයෙන්ම මිය යනවා. ඕවා ධර්මතාවයන්. හැබැයි ඇත්තටම මේ ලෝකේ අනික් හැම දෙයක්ම ඒ විදියටම භාර ගන්න එකෙන්, කෙනෙක්ට පොඩි සතුටක් දැනෙන්න පුළුවන් තමන් උපේක්ෂාවෙන් ජීවත් වෙනවා කියලා. හැබැයි ඒ සතුට පවතින්නෙ නෑ. මොකද, මේ ලෝකේ තමන්ට වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට තමන් ගන්න තීරණ මත තමන්ගේ ජීවිතේ වෙනස් වෙනවා. අන්න ඒක දකින මනුස්සයෙක් ඔහොම තමයි ලෝකේ හැටි කියලා ඉන්නෙ නැතුව, තමන්ට හොඳ විදිහට තමන් අවට ලෝකය සුභවාදීව වෙනස් කරන්න ධනාත්මක තීරණ ගන්නවා. අන්න ඒ හැකියාව මත සතුටු වෙන්න තෝරා ගන්නවා.
පිස්සුවෙන් වගේ සතුට හොයන් යන අයට මේ පුංචි දේවල්වලිනුත් සතුටු වෙන්න පුළුවන්. හැබැයි සතුට හොයා යන ගමනේදී සතුට තියෙන්නේ තමා තුළමයි. සතුට කියන්නේ තමන් කරන කියන දේවල්මයි කියන එක අවබෝධ කර ගැනීම තමයි ලොකුම සතුට වෙන්නේ.