වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ආදරය පරණ වෙන්න දෙන්න එපා
ආදරය ලෝකයේ පවත්නා මානුෂීය හැඟීමක් ලෙසයි සැලකෙන්නේ. ආදරය අත්නොවිඳි අයෙක් අප අතර නැහැ. මාපියන්ගේ, ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ, ලේ ඥාතීන්ගේ, හිතමිතුරන්ගේ ආදරයෙන් නොහිස් අපේ ජීවිත තුළ යම් කාලපරාසයක දී ප්‍රේම සම්බන්ධතාවක් ලෙසින් ගොඩනැගෙන ආදරයන් ද යෝජිත විවාහයන් තුළ ගොඩනැගෙන ආදරයන් ද හදවතට වඩාත් සමීප ෙවනවා. මේ වයසේ දී එය සිදු ෙවනවා කියා නිශ්චිත ව කියන්නට පුළුවන්කමක් නැහැ. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තුළ ඒ ආදරයට නියමිත කාලරාමුවක් නැහැ. නමුත්… අප කොයි කවුරුත් එවැනි ආදර සබඳතාවල කොටස්කරුවන් වූවා සහ වනවා කියන එක සත්‍යයක්.
ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද? ආදරය කියන්නෙ හැඟීමක්. අපිට තරුණ කාලේ සොබා දහමෙන්ම ලැබෙන පෙළඹවීමත් එක්ක අපිට විරුද්ධ ලිංගිකයන් එක්ක ඇතිවන ගනුදෙනුවට අපි කියනවා ආදරය කියලා. ඇත්තටම ඒක ආදරයමයි කියලා කිව්වට ශාරීරික පෙළඹවීමක් තමයි තියෙන්නෙ. ගැහෙන, පැහෙන, දඟලන ඇඟක් තියෙන ගැහැනු ළමයෙක් සහ පිරිමි ළමයෙක් විරුද්ධ ලිංගිකයෙක් එක්ක රසායනිකව ඇති කරගන්නා ප්‍රතික්‍රියාවට අපි ආදරය කියලා කියනවා. එතකොට ඒ වයසෙදී තරුණියෝ, තරුණයෝ, වැඩිහිටියෝ ඕනෙ කෙනෙක් දන්නවා. මේ ගැහෙන පැහෙන වයසෙදී තරුණකම කියන්නෙ වෙනම හැඟීමක්. වෙනම අවධියක්. ඒ කාලය හරියට පැහෙන බීකරයක් වගේ. වතුර පැහෙන බුබුළු දාන බීකරයක් වගෙ. ගැහැනු ළමයකුගෙ ඇඟක් පිරිමි ළමයකුගෙ ඇඟක් එක්ක අනාගත වර්ගයා බෝ කිරීමේ අපේක්ෂාව ඇතිව හෝ නැතිව ලිංගිකව බැඳෙනවා. මේක ලිංගික ආකර්ෂණය නිසා ඇතිවෙන දෙයක්.
එතකොට කාලයක් යද්දී මේ ලිංගික ආකර්ෂණය ඉවර වෙන්නේ ඇයි? ලිංගික සම්බන්ධතා මුල්කරගෙන ඇතිවන ආදරය ලිංගික විඳීම විඳලා ඉවර වුණාම ඉවර වෙනවා. නමුත් ඇත්තටම ඇති වෙන ආදරය බැඳීම සෙනෙහස කවදාවත් පරණ වෙන්නෙ නැහැ. දවසින් දවස දලු දදා වැඩෙනවා.
උදාහරණයක් විදිහට මාවම ගන්න පුළුවන්. මට දැන් වයස අවුරුදු 57ක්. කාලෙකට පස්සෙ පෙරේදා මට මගේ වයසෙම මගේ මිතුරෙක් හමුවුණා. පිරිමි කෙනෙක්, එයා මට කියනවා. "අනේ අමා ඔයා දල්ලක් වගේ කෙල්ලෙක්" කියලා. එතකොට මම එවෙලේ එයාට කිව්වෙ "ඔව් මම දල්ලක් වගේ කෙල්ලෙක් වෙලා හිටියා ඉස්සර කාලේ" කියලා. පස්සෙ මම එයා ඒ කියපු දේ ගැන ටිකක් කල්පනා කරලා බැලුවා. ඉතින් මං එයාට අායෙම කෝල් එකක් දීලා එයාගෙන් ඇහුවා ඇයි මට එහෙම කිව්වෙ කියලා. එතකොට එයා කිව්වෙ මම කිසිම දවසක දැකලා නැහැ ඔයා වෙහෙස වෙලා මහන්සියෙන් එපා වෙලා ඉන්නවා. ඒ ජීව ගුණයට මම හරි කැමැතියි. ඒ තරුණ කාලයේ තිබුණ ජීව ගුණයට මගේ හිතේ බැඳීමක් තිබුණා. හැබැයි ඒක ආදරය නෙවෙයි. අයිති කර ගන්න ආසාවකුත් නෙවෙයි. හැබැයි ඒ මොකක් හරි එකක් තිබුණා. ඉතින් ඒ කතාවෙන්ම මට පෙනුණ දේ තමයි ආදරේ පරණ වෙන්නෙ නැහැ කියන දේ.
ඉතින් පරණ වෙන්නෙ නැති ආදරයට අයිති වෙන්න ඕනෙත් නැහැ. ආදරයට අයිතිකාරකම ආවම තමයි ගොඩක් වෙලාවට වැරදී සීමා මායිම්වලට යන්නෙ. කායික ස්පර්ශයේදී අතපත ගෑම්, සිප වැළද ගැනීම්, සුවඳ බැලීම්, මෘදු මොළොක් ස්පර්ශ අතිනත බැඳගෙන ඉන්න ඒවා. මේවා ඔක්කොම තියෙනවා. විවාහ වෙලා කාලයක් ගියාට පස්සෙ ඔබම කල්පනා කරලා බලන්න කොච්චර දවසකින් ඔබේ සැමියාගේ හරි බිරියගේ හරි අත ඇල්ලුවේ නැද්ද? කොච්චර දවසකින් එයාගෙ කෙහෙ රැල්ලෙ ඔළුව හංගගෙන සුවඳ බැලුවෙ නැද්ද? කොච්චර දවසකින් එයාගෙ උරහිසේ ඔළුව තියාගෙන හිටියෙ නැද්ද? කොච්චර දවසකින් එයාට ආදරෙයි කියලා කිව්වෙ නැද්ද? ඉතින් ඒ කියන්නෙ ඒ ආදරය පරණ වෙලානෙ. ආදරය ප්‍රකාශ කරන්නෙ නැහැ. මගේ ආදරය තියෙන්නෙ හිතේනෙ. එහෙම කියනවා. හිතේ ආදරය තිබිලා මොනවා කරන්න ද. හිතේ ආදරය තිබිලා වැඩක් නැහැනේ. ඉතින් ආදරය පරණ වෙන්නෙ නැතුව ඉන්න දෙන්නම ලොකු කැපකිරීමක් කරන්න ඕනෙ.
ඉස්සෙල්ලාම බලන්න ඕනෙ ඇයි ආදරය පරණ වෙන්නෙ කියලා. ආදරය පරණ වෙන්න හේතු ගොඩක් තියෙනවා. පළමුවැනි එක අපිට අයිති වුණාම ඕනෙම දේක වටිනාකමක් නැති වෙනවා. ඒ කියන්නෙ අපි පාරේ යනකොට ගවුමක් දිහා බල බලා ගියොත් ඒ ගවුමට ආසනම් ඒක ගන්නවා. අඳින්න කළින් දවසේ, අදින පළවෙනි දවසේ ඒක හරි සීරුවට නවන්නෙ. අල්මාරියට දාන්නෙත් හරිම සීරුවට. ඒක හොඳන්නේ වෙනමම. හැබැයි වෙන ඇඳුම් එහෙම අරගෙන කාලයක් යද්දි අර කලින් තිබුණ ගවුමට තිබුණ සැලකිල්ල අඩු වෙනවා.
ඒ වගේ අපේ ජීවිතවලට මිනිස්සු යනවා එනවා. නවතින කෙනෙක් නැහැ. ජීවිතයේ තියෙන්නම මුණගැහීම් විතරයි. ඒ එන යන මිනිස්සු අතරෙ වැඩිපුර අපිත් එක්ක රඳන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපි එතැනට ආදරය කියලා නමක් දෙනවා. අපි කියනවා මම ඔයාට පණට වඩා ආදරෙයි කියලා. ඒ කියන්නෙ පණ දෙන්න බැරි හින්දා. අපිට ගොඩාක් වටිනා දෙයක් අපි කාටවත් දෙන්න කැමැති නැහැනෙ. ඉතින් ඒවා හරි අතාර්තික වචන. වචන ඕනෙ වෙලාවක සුළගේ යන්න පුළුවන්.
දවස උදේ, දවල්, හවස කියලා කොටස් තුනකට බෙදෙනවා. ජීවිතෙත් එහෙමයි. අපි හවස් වෙද්දි කියන්නෙ අපේ තරුණ කාලේ ගෙවිලා යනකොට අපේ ආදරයේ අවශ්‍යතාව අනිත් හැම කාලයකටම වඩා දැනෙනවා. ආදරය අයිති යෞවන යෞවනියන්ට විතරයි කිව්වට නැහැ ආදරය හැමෝටම ඕනේ. හවසට මහන්සිවෙලා ගෙදර එනකොට කතා නොකරන ගෘහභාණ්ඩ තියෙන්නේ ගෙදරකට කවුරුත් එන්න කැමැති නැහැනේ. එතකොට හිතෙනවා මම එනකොට මාත් එක්ක කතා කරන්න කවුරු හරි කෙනෙක් ගෙදර ඉන්නවනම් කියලා. සමහර වෙලාවට ගෙදර එද්දි ඉන්නේ මේසේ උඩ තේ කෝප්පේ තියපු බුම්මගත්ත බිරියක්. එතකොට තම තමන්ගේ කාමරවලට වෙලා දොරවල් වහගෙන ඉන්න දරුවෝ. මේ දේවල් එක්ක ආදරය පරණ වෙනවා.
මවුපියන්ගේ ආදරය, දරුවන්ගේ ආදරය, සහෝදරයන්ගේ ආදරය, යහළු හිත මිත්‍රයන්ගේ ආදරය වගේ ආදරයේ එක එක රටා තියෙනවා. ඕනෙම වෙලාවක යාළුකමක් ආදරයකට පෙරළෙන්න පුළුවන්. හැබැයි ආදරයක් යාළුකමකට පෙරළෙන්න බැහැ. අපි යාළුවෝ වගේ ඉමු කිව්වට එහෙම ඉන්න බැහැ. පෙම්වතාව පෙම්වතියව යාළුවෙක් විදිහට කවදාවත් ආශ්‍රය කරන්න බැහැ.
ආදරය පරණ නොවී තියාගන්න නම් ඔබේ ක්‍රමය වෙනස් කරන්න. උදේට නැඟිට්ටාම මම ඔයාට හරි ආදරෙයි කියන්න. කාමරය වෙනස් කරන්න. ලස්සන මල් වාස් එකක් තියන්න. තිර රෙදි මාරු කරන්න. එයා කැමැති කෑමක් හදන්න. එයා කැමැති දේශපාලනයට නම් දේශපාලනය ගැන කතා කරන්න. එයා කැමැති රගර්වලට නම් රගර් ගැන නොදන්නවා වුණාට ඇයි රගර් බෝලේ හැඩේ වෙනස් කියලාවත් අහන්න. හැමදාම උණුසුම් නැවුම් ගැහැනු ළමයෙක් විදිහට ඉන්න. කොච්චර වයස වුණත් ආදරය නැවුම්ව තියාගන්න. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. ගාමිණී වියන්ගොඩගේ පරිවර්තනයක් තියෙනවා "කොරෝනා කාලේ ආලේ" කියලා කෘතියක්. ඒ කෘතියේ පෙම්වතයි පෙම්වතියයි ලිංගිකව එකතු වෙන්නේ අවුරුදු 80කට විතර පස්සෙ. හැබැයි ප්‍රේමය පටන් ගන්නේ යොවුන් වියේදී. එයාලගේ ප්‍රේමය අවුරුදු 80ක් ගියාට පස්සෙත් නැවුම්. යුවළක් ආදරය කරලා ඇඳක නිදිය ගත්තම කියන්නෙ සාර්ථක ප්‍රේම කතාවක් කියලා. එයාට එයාව අයිති නැති වුණාම අසාර්ථක ප්‍රේම කතාවක්. ඒක හරිම මෝඩ කතාවක්. අයිති වුණේ නැහැ කියලා ප්‍රේම කතාව අසාර්ථක වෙන්නෙ නැහැ. අයිති වුණේ නැතුවත් ආදරය කරන්න පුළුවන්. ඒ හිතෙන්. අපි ඒක අයිති වුණා කියලා හිතන්නේ බදාගන්න ඕනෙ වුණාම, තුරුලු කරගන්න ඕනෙ වුණාම, ඉබින්න ඕනෙ වුණාම. ඒවා නැතුව ආදරය කරන්න බැරි ද?
මිහිරි තෙපුල් කතා කරපු ගැහැනු ළමයි ඇයි කාලයක් යද්දි "ඇයි අද තමුසේ එන්න පරක්කු" කියලා අහන තැනට වැටෙන්නෙ ඇයි? දරුවන්ගෙ වැඩත් එක්ක කම්පනයට පත් වෙන්නෙ ඇයි? කායිකව සූදානම් වුණාට මානසිකව සූදානම් නැහැ ආදරයේ ප්‍රතිඵල නෙළා ගන්න.
එතකොට සමහර බිරින්දෑවරුන් කියනවා "අර හස්බන්ඩ් නම් වැඩට යද්දි එයාගේ නළල ඉඹලා යන්නෙ ඒකට අපේ එක්කෙනා" කියලා. හැබැයි එහෙම හිතන්නත් එපා නළල ඉඹලා යන කෙනා නිදි යහනෙදි නිශ්චල කෙනෙක් වෙන්නෙ පුළුවන්. ලෝකෙට පේන්න නළල ඉඹලා යනවා වෙන්න පුළුවන්. සමහරවිට බිරියගේ උපන් දිනයට රත්තරන් තෑගි දෙන සැමියාට අනියම් බිරියක් ඉන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක ආදරයට විනිශ්චයක් දෙන්න එපා. ආදරය නැවුම් කරගන්න පුංචි පුංචි දේවල් කරන්න. කතාබහක යෙදෙන්න. කඩල ගොට්ටක් කකා චිත්‍රපටයක් බලන්න. දෙන්නත් එක්ක එකතු වෙලා රස කෑමක් හදන්න. තරු විසිරිණු අහස යට මිදුලේ ඉඳගෙන සොඳුරු මතක ආවර්ජනය කරන්න. ඉඳලා හිරිපොද වැස්සක තෙමෙන්න. මේ දේවල් ආදරයට එකතු කරන්න. එතකොට ආදරය හැමදාම අලුත් වගේ තියේවී.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී
ලිපි මාලාව