මේ තරුණිය ඇතුළේ ඔබත් ඉන්න පුළුවන්

වත්සලා ගමගේ
පෙබරවාරි 3, 2025

ලියන්නියක හෝ ලියන්නෙකු වීම අසීරුය. මන්ද එය පාඨක හදවත් වැලඳගත් යුතුය. ලියන්නියක ලියන්නෙකු වීම අපහසුය. මන්ද එය ඇතුළු හදවත විවර කරන්නාක් බඳුය. මේ කියන්න යන ඇයත් ආදරණීය හදවත්, අකුරු අතර අතරමං කරවන අකුරු ගළපන ලියන්නියක්. නමුත් ඇය වෙනස් දිශානතියක් ඔස්සේ පාඨකයාව වෙනස් මානයකට යොමු කරවන්නියක්.

ඇය වත්සලා ගමගේ. ඇඹිලි - බිලි ඇගේ කුලුඳුල් නවකතාවයි. ඇඹිලිපිටිය උපන් ගම වන ඇය වෘත්තියෙන් රජයේ පාසල් ගුරුවරියකි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙනි. ඇය ජනමාධ්‍ය විශේෂවේදි උපාධිධාරිනියක් වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඇය ඉන්පසු හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ‍ප්‍රකාශන හා මාධ්‍ය නිලධාරිනියක ලෙස ද කටයුතු කළා ය. 2012 වර්ෂයේ ශ්‍රී ලංකා ගුරු සේවය හා එක්වන ඇය ආදරණීය බිරියක් වගේම දියණියන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවකි.

 

ඇගේ කුලුඳුල් නවකතාව ඇඹිලි - බිලි ගැන පැවසුවේ මේ වගේ අදහසක්.

 

"මෙය ලිවීම ආරම්භ වෙන්නේ 2004 -2005 කාලවකවානුව තුළ. එය මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට වසර විස්සක පමණ කාලයක් ගත වුණා. මේ මගේ ප්‍රථම කෘතිය වුණත් එහි කෘති කීපයක බර සහ හරය ගැබ්ව ඇති බවයි මම දකින්නේ. මේ කතාවට පදනම් වෙන්නේ 1980 දශකයේ අවසානයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිද්ධ වෙන ආන්දෝලනාත්මක සිදුවීමක්. එය ජාතික මෙන්ම ජාත්‍යන්තරවද දැඩි අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා. අවුරුදු හත අටක කුඩා දැරියක ලෙස මම දෑසින් දුටු අවාසනාවන්ත සත්‍ය සිදුවීම් තමයි මෙහි කතා තේමාව වෙන්නේ. නමුත් මෙහිදී කිසිදු සමාජ, දේශපාලනික මතවාදයක් උලුප්පා දැක්වීමට උත්සාහයක් දරන්නේ නැහැ. මෙම කෘතිය පුරාම ප්‍රකට කිරීමට උත්සාහ කරන්නේ මනුෂ්‍යත්වයේ වටිනාකම. ප්‍රේමය, දයාව, කරුණාව ආදී මානව ගුණාංග තුළින් සමාජය ගොඩනැංවිය හැකි බව. විශේෂයෙන්ම ස්ථීරසාර ගතිගුණ ඇති තරුණියකගේ චරිතයක් තුළින් මගේ අරමුණ කෘතිය පුරාම දිවෙනවා."

 

 

කෘතියේ නම තරමක් විශේෂයයි. කෘතියට මේ වගේ නමක් පාදක කර ගන්න හිතුවේ ඇයි?

 

මෙහි අර්ථ රසයට වඩා ධ්වනිතාර්ථයටයි මගේ අවධානය යොමුවුණේ. කෙසේ නමුත් අර්ථකථනය කළ හැකි අර්ථ එහි තියෙනවා. ඇඹිලිපිටිය මුල්කර ගත් ප්‍රාණ පිදුම, බිලි අඹනව වගේ අරුත් ගැන නොහිතුනාම නෙමේ. දශක දෙකක්ම පොත සමඟ ජීවත් වූ නිසා මේ නම නිරායාසයෙන්ම මුවඟට නැඟුණක් කියන එක තමයි වඩා සාධාරණ.

ඒ නමට බොහෝ පාඨක ප්‍රතිචාර ලැබීම සතුටක්.

 

ඇබිලි - බිලි ලිවීමෙන් ඔබ සමාජයට කියන්න හැදුවෙ කුමක්ද?

 

මනුෂ්‍යත්වය පිළිබඳ මතවාදය කෘතියෙන් පැතිරවීමයි මගේ ප්‍රධාන අරමුණ. ලෝකයේ ඓතිහාසිකව සමාජ, ආර්ථික, දේශපාලන ගැටුම් ඕනෑතරම් ඇති වුණා. හිංසන, පීඩන සිදු වුණා. නමුත් මානව ධර්මතා වර්ධනය කර ගැනීමෙන් සමාජය තුළ හිංසනය අඩු කළ හැකියි. අනිත් පණිවුඩය කාන්තාව සම්බන්ධ එකක්. මෙය කාන්තාව පීඩාවෙන් සිටින සමාජයක්. සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටවල බොහෝ කාන්තාවන් දුක්මුසු ජීවිතයක් ගත කරන්නෙ. බොහෝ අයට අවශ්‍ය දියාරු, ළඳ බොළඳ බවක් කාන්තාව වෙත ආරෝපණය කිරීමට. එමඟින් ඇයව තම තමන්ට ඇවැසි ආකාරයට භාවිත කිරීමට. ඒ අනුව අධිෂ්ඨානශීලී, ස්ථීරසාර බලවත් ස්ත්‍රීත්වයක් මා විසින් ඉස්මතු කෙරෙනවා. මෙම නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන මිහිනි හරහා එම පණිවුඩය සමාජයට ඉදිරිපත් කරනවා.

 

ඔබ නවකතාවක් ලිවීමේදී අනුගමනය කරන විශේෂ උපක්‍රම තිබෙනවා ද?

 

නවකතාවක් රචනා කිරීමේදී මට වඩාත්ම වැදගත් වන්නේ එහි දෘෂ්ටිකෝණය. විශේෂයෙන්ම ඇඹිලි බිලි උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලිවීම මට පහසුවක් වුණා. දෙවනුව එහි සැකිල්ල පිළිබඳව සලකා බැලීමටයි මම කැමැති. සාරාංශගත සැකිල්ලක් මට අවශ්‍යයි. එය මට කතා වින්‍යාසය හා ආඛ්‍යානය සඳහා මඟපෙන්වනවා. ඉන් අනතුරුව එය නිදහසේ ලියාගෙන යාමයි මට පහසු.