මල්වරයේ දී ගැහැනු ළමයා හංගන්නේ ඇයි?

මැයි 12, 2025

 

ගැහැනු ළමයෙකු මල්වර වීම යනු ඇගේ පළමු ඔසප් වීමයි. ඔසප් වීම වැදගත් වන්නේ එය ගැහැනියගේ පළමු ඩිම්බ මෝචනය සනිටුහනන් කරන නිසාය. ඇයට ගැබ් ගැනීමේ හැකියාව ලැබීම නිසාය.

 

ඇයගේ පළමු ඩිම්බය නිකුත් වී එයින් ගැබ් ගැනීමක් නොවූ නිසා ගර්භාෂයට පැමිණ බිඳී යාමෙන් රුධිරය පිට වීම පළමු ඔසප් වීමයි. ඇත්ත වශයෙන්ම දැරියක ගැබ් ගැනීමේ හැකියාව මල්වරයට සති දෙකකට කලින් සිදු විය හැකිය. ගැහැනු ළමයාගේ ආරක්ෂාව සැපයිය යුත්තේ මල්වරයට පෙර සිටමය. ඇගේ කුඩා කාලයේ සිටමය. මල්වරය සිදු නොවී ගැබ් ගත් දැරියන් මට විවිධ පරිවාසවලදී මුණ ගැසී ඇති බව කියන්නේ මහත් කණගාටුවෙනි.

 

ගැහැනු ළමයෙකුගේ ආරක්ෂාව සහ ඇය මුළුගැන්වීම යනු දෙකකි.

 

සාමාන්‍යයෙන් ගැහැනිය සම්බන්ධ සමාජයේ සියලු චාරිත්‍ර පවතින්නේ ඇය මුළුගැන්වීමට, ඇය දෙවැනි තැනට දැමීමට මෙන්ම ඇය පහත් කිරීමටය. මල්වර චාරිත්‍ර බොහොමයක් සකස්ව පවතින්නේ ඇය සමාජයේ මුළුගැන්වීම සංකේතවත් කරමිනි.

 

ඇය කළුවර කාමරයක දමා තබන්නේ ඇයි? ඇය සමාජයෙන් වෙන් කරන්නේ ඇයි? ඇත්තටම නම් මේ දිනවල දැරියට කියා දිය යුත්තේ මේ සිදුවන ජීව විද්‍යාත්මක වෙනසයි. මින්මතු හැම මාසයකම මෙසේ රුධිරය පිටවීම සිදුවන බවත් එයට ඇය සූදානම් විය යුත්තේ කෙසේද යන්නත්ය. ඇය ගැබ් ගැනීමේ හැකියාවක් ඇති බවත් එය සිදුවන්නේ කෙසේද යන්නත් ඇය ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්නත් ඇයට ඉගැන්විය යුතුය.

 

ඇය පිරිමි නොදැක සිටීම, කළුවර කාමරයක සිර කිරීම, කිළි යැයි ආහාර සීමා කිරීම සමාජ මිථ්‍යාවන් පමණක් නොව ඇයට සිය ශරීරය, ලිංගිකත්වය ගූඪත්වයට පත් කර සැඟවීමකි. එය අමුතු දෙයක් කිරීමකි. පිරිමි යම්කිසි විශේෂ කණ්ඩායමක් කිරීමකි. එය එසේ නොවිය යුතුය.

 

ශරීරයේ සිදු වූ වෙනස, හෝමෝනමය වෙනස්කම් සිදු වීම නිසා ඇයට මානසිකව යම්කිසි ආතතියක් අැති කර තිබිය හැකිය. එම නිසා වැඩිහිටියන් ඇය රැක බලා ගත යුතුය. ඉන්පසුව විශාල මඟුලක් සුදානම් කර එන එන මිනිසුන්ට වන්දමින් ඇය පෙළීම නම් මහා විශාල ජෝගියකි.

 

කළ යුත්තේ මේ ජීව විද්‍යාත්මක කාරණය තේරුම් ගනිමින් එය සාමාන්‍යකරණය කිරීමයි. නිසි පරිදි සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ කෙසේ දැයි ඇයට කියා දීමයි. ඒවා අන්දවා ඇය පාසල් යැවීමයි. සනීපාරක්ෂක තුවා පාසල් වැසිකිලිවල නොමිලේ ලබාගැනීමට හැකි පරිදි තැබිය හැකි දිනයක ඇය වඩාත් හොඳින් ආරක්ෂා වනු ඇත.

 

දැරියකගේ මල්වරය ඇගේ ස්ත්‍රීත්වය සමාජය විසින් ගුඪත්වයට නංවන කරුණක් නොවන තැනට සමාජය පත්විය යුතුය. ඇය සමාජයේ මුළු ගැන්වීම සංකේතවත් නොවන ආකාරයේ එකක් විය යුතුය.

 

 

සංජීවනී රූපසිංහ

ජේ්‍යෂ්ඨ ‍ කථිකාචාර්ය දර්ශන අධ්‍යයන

කැලණිය විශ්වවිලය