වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
අපේ කෙල්ලෝ බොක්සිං වළල්ලේ ලෝකඩ පදක්කම් ගොන්නක්ම දිනති

ආසියානු බොක්සිං සම්මේලනයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය වසර 57කට පසුව ආසියානු බොක්සිං තරගාවලියක් සංවිධානය කරන ලදී. මේ තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය 18 වැනිදා අවසන් විය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ආසියානු වයස අවුරුදු 22ට අඩු සහ යොවුන් තරගාවලියේ පූර්ව වටයේ තරග සියල්ල අවසන් වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු තරග කළෝය. තරග කළ සියලු දෙනාම ලෝකඩ පදක්කම හිමිකරගත් අතර කිසිවෙකුටත් රන් පදක්කමක් හිමි ෙනාවීය.
මෙහිදී කිලෝග්‍රෑම් 48 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදුණු නෙත්මි පෙරේරා ඉන්දියානු ක්‍රීඩිකා මහී ශිවාච හමුවේ පරාජයට පත් විය. කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග කළ සචිනි ප්‍රනාන්දු වියට්නාම ක්‍රීඩිකා ස්නොක් ට්‍රාන් හමුවේ පරාජයට පත් වූයේ තියුණු තරගයක් ලබා දෙමිනි. එසේම කිලෝග්‍රෑම් 52 බර පන්තියේ ක්‍රීඩිකා යසිනි ප්‍රනාන්දු කසකස්ථාන ක්‍රීඩිකා මිර්සාකූල් ටොම්රිස් හමුවේද, කිලෝග්‍රෑම් 54 බර පන්තියේ තරගයේදී හිතේශලා සංදීපනී වියට්නම ක්‍රීඩිකා ඒගෝ මායි හමුවේ පරාජයට පත්විය.
කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරග කළ කීර්තනා උදය කුමාර් කසකස්ථාන ක්‍රීඩිකා ටුර්සින්බෙක් අතර් හමුවේද පරාජයට පත්වීමත් එම බර පන්තිය යටතේම තරග කළ දෙව්ම් සංජනා ඉන්දීය ක්‍රීඩිකා අයි. ශිමන්තිමද පරාජය විය. තවද කාන්තා ඉසව්වේ කිලෝග්‍රෑම් 63බර පන්තියේ තරගයේදී පාකිස්ථානු ක්‍රීඩිකා නූර්මෝවා විල්නෝසා පරාජයට පත්කළ කසකස්තානු ක්‍රීඩිකා අරුසාන් සන්ගබගේවා අවසාන තරගය සඳහා හිමිකම් කීමට සමත් විය. ඇය එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නායකරත්න සමඟ අවසාන මහා තරගයට තරග වැදීමට නියමිතය.
එසේම පසුගියදා යොවුන් බාලක අර්ධ අවසාන පූර්ව තරගාවලියේදී සත්සර වර්ණකුලසූරිය සහ හංසජිත් ජයතිස්ස ද, බාලිකා තරගාවලියේදී පවනි. මුතුගල සහ සබ්‍රිනා රහිම් ක්‍රීඩිකාවද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. තවද සති අන්තයේ පැවැති 22න් පහළ අර්ධ අවසාන පූර්ව වටය තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු අවසාන පූර්ව වටය තරඟ සඳහා සුදුසුකම් ලැබීය. එහිදී කිලෝග්‍රෑම් 51 බර පන්තියේ තරග කළ උමයංග මිහිරාන් පසුගිය තරගාවලියේදී ලෝකඩ පදක්කම් ලාභියා වූ කසකස්ථාන ක්‍රීඩක එර්ගෙශොව් බෙක්සාම් ලකුණු 4-0 ලෙස පරාජයට පත් කළේය. එසේම කිලෝග්‍රෑම් 54 බර පන්තියේ තරග කළ අෂේන් කරුණානායක වෙතින් මැලේසියානු ක්‍රීඩක මොහොමඩ් රිසල් පරාජයට පත්විය. තවද කිලෝග්‍රෑම් 60 බර පන්තියේ තරග වැදුණු දේශාන් ජයසුන්දර පිලිපීන ක්‍රීඩක පෞලෙට් මටෙම් පරාජයට පත්කරමින් අවසාන පූර්ව වටයට හිමිකම් කීමට සමත් විය. ඔවුන් තිදෙනාම තරග කරන අවසාන පූර්ව වටයේ තරග 21 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබයි.