වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
නිවෙසේදී බලශක්ති භාවිතය වෙන්නේ කොහොමද?

නිවෙසේදී බලශක්ති භාවිතය යැයි කීවොත් ඔබට එකවරම අවබෝධ නොවී යෑමටත් පුළුවනි. ඔබ පරිහරණය කරන විදුලිය, ගෑස්, වාහනයක් භාවිත කරන්නේ නම් ඒ සඳහා යොදා ගන්නා පෙට්‍රල්, ඩීසල් මේ සියල්ල අයත් වන්නේ බලශක්තිවලටයි.
නිවෙසේදී බලශක්ති භාවිතය අවම කර ගැනීම තුළින් ආර්ථිකයට ඇති යහපත් බලපෑම මෙන්ම ඉන් රටේ සමස්ත ආර්ථිකයට හා පරිසරයට ඇති හිතකර බලපෑම පිළිබඳ ඔබ දැන සිටිය යුතුම වේ. ඉන් නිවෙසේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණුවේ.
ඉවුම් පිහුම් කටයුතු
බොහොම සාමාන්‍ය දුප්පත් පහේ පවුලක පවා වැඩිම මුදලක් වැය වනුයේ ඉවුම් පිහුම් කටයුතු සඳහායි. මෙහිදී නාගරික ප්‍රජාව එල්.පී.එල්. ගෑස් වැඩිපුර භාවිත කරද්දී තවමත් ග්‍රාමීය ජනතාව වැඩි ප්‍රමාණයක් දර භාවිත කරයි. අහළ පහළින් සොයා ගන්නා දර භාවිත කරද්දී ඒ සඳහා යන වියදම ඉතාම අවම වේ. එහි යම් යම් අපහසුතා තිබුණත් තවමත් සියයට 45 ක පමණ ප්‍රජාව ඉවුම් පිහුම් කටයුතු සඳහා කරන්නේ දර යි. ආනයනික ඉන්ධන වෙනුවට ඔවුන් අපහසුතා මධ්‍යයේ වුවද අවටින් සොයා ගන්නා දර භාවිත කරමින් රටට මහත් ඉතිරියක් ගෙන දෙයි.
ඊට වඩා තරමක් ඉහළ ආර්ථිකයක් ඇති පවුලක් නිවෙසේ බලශක්ති භාවිතයේදී වැඩිපුර වියදම් කරන්නේ එල්.පී.එල්. ගෑස් සඳහායි.
ප්‍රවාහන අවශ්‍යතා
ඊට වඩා තරමක් ඉහළට ගිය පවුලක් මෝටර් සයිකලයක් භාවිත කරන්නේ නම් වැඩිපුරම බලශක්ති වියදම යන්නේ ඒ සඳහායි. එහෙත් පොදු ප්‍රවාහන සේවයේ පිහිට පතන පවුලකට නම් ප්‍රවාහනය සඳහා තමාගේම වාහනයක් භාවිත කරනවා තරම් මුදලක් වැය වන්නේ නැහැ. මෝටර් රථයක් භාවිත කරන්නේ නම් තවත් බලශක්තිය සඳහා යන වියදම ඉහළ යයි. මෝටර් රථය සුඛෝපභෝගී බවින් වැඩිවන තරමට එහි මිල මෙන්ම ඒ සඳහා වැය වන බලශක්තිය ද වැඩි වේ.
වායු සමීකරණ යන්ත්‍ර
නිවෙසේ වායු සමීකරණ යන්ත්‍රයක් සවිකර ඇත්නම් බලශක්තිය සඳහා යන වියදම ඉහළ බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහිදී ප්‍රවාහනය සඳහා වැය වන මුදලට සමාන මුදලක්ම විදුලි බිල සඳහාද එකතු වේ.
ගෘහිණියක් ලෙස ඔබ නිවෙසේ මුදල් කළමනාකරණය කරද්දී බලශක්තිය වැඩිපුරම වැය වන්නේ කුමන කාරණාවලටද යන්න සැලකිලිමත් විය යුතුවේ. පෙර පරම්පරාවේ උදවිය බැංකු පරිහරණය මෙතරම් සිදු නොවුණු කලෙක එදා මාසයේ නොයෙකුත් කර්තව්‍යයන් සඳහා යන මුදල් වෙන වෙනම ලියුම් කවරවලට වෙන්කර බහා තැබූවා. අදටත් මේ කාරණය බෙහෙවින්ම ප්‍රායෝගිකයි. අඩුම තරමේ මාසයේ වියහියදම් වෙන වෙනම ලියා තැබීම සැලසුම් සහගත ජීවිතයකට වැදගත් අංගයක් වේවි.
විශේෂයෙන්ම නගරබදව ජීවත්වන පවුල්වලට වර්තමානයේ වැඩිපුරම මුදලක් වියදම් වන්නේ පිටින් කෑම ගැනීමටයි. එතරම් ආර්ථික ශක්තියක් නැති අයම, මෙසේ පිටින් කෑම ගැනීමට හුරුවීමෙන් මාසයේ වියදම ඉහළ යයි. "රයිස් එකක් දාන්න. කොත්තුවක් දාන්න" යනාදී වශයෙන් මෙය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති තරම්. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වී නැති මෙවැනි පවුල් සෞඛ්‍ය අතින් පිරිහෙනවා සේම ආර්ථික අතින්ද පිරිහේ.
නිවෙසේ ගෘහිණිය අලස බවින් තොරව උදෑසනින් අවදිව උදෑසන ආහාරය සහ දහවල් ආහාරය උදෑසනින්ම පිළියෙල කිරීමෙන් වේල් දෙකක්ම එකවර පිළියෙල වේ. එහිදී කාලය කළමනාකරණය කරගැනීමට මෙන්ම මුදල් කළමනාකරණයද හොඳින්ම සිදුවේ. රැකියාවට යන සැමියාට උදෑසනම අවදිව උදේ සහ දහවල් ආහාරය පිළියෙල කරදීමෙන් පිරිසුදු පෝෂ්‍යදායි ආහාරයක් ගැනීමට අවස්ථාව සැලසේ. මුදල් ද කළමනාකරණය කරමින් නිෙවසේ ආර්ථිකයට ද දායක වන්නට අවස්ථාව සැලසේ. කාලයද කළමනාකරණය වේ.
කෝවිඩ්වලින් පසු බොහෝදෙනා නින්දට යෑමට පුරුදු වී ඇත්තේ බෙහෙන්ම රෑ බෝ වීය. ජංගම දුරකතනය අතැතිව යූ ටියුබ්, ෆේස් බුක් ඇතුළුව සමාජ ශාලා වෙබ් අඩවිවලම සැරිසරයි. නිවෙසේ කිසිවෙක් නිදා නොගන්නා කාලය පැය ගණනකට සීමා වේ. දූ දරුවන් සැමියා ඇතුළු පිරිස පාන්දර දෙක තුන වෙනකම් අවදි වී සිටියදී ගෘහිණිය පාන්දර හතර පමණ වන විට අවදිව ඉවුම් පිහුම් කටයුතුවල නිරත වෙයි. බල්බ් ආදිය දැල්ව තිබීමෙන් නිවෙසේ විදුලිය එකාකාරවම දැල්වේ. නින්දට යන කාලය කළමනාකරණය කරගැනීමද අද වන විට පවුලක අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. මෙයද බලශක්ති කළමනාකරණයට ඉවහල් වන්නකි.
උපදෙස් :
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්
ඉංජිනේරු හර්ෂ වික්‍රමසිංහ