බන්ධන

කෙටි කතාව - අවසන් කොටස
ජුනි 2, 2025

 

ජංගියක් හැඳ සිටි කේඩෑරි කොලුවා ඇඟිල්ල කටේ රුවාගෙන අමුත්තිය දෙසත් අත වූ බඩු මල්ල දෙසත් විපරම් කරද්දී කිලිටි බාච්චු ගවුමකින් සැරසුණ මහලු වියට පා තබමින් සිටින තැනැත්තියක් දොර ළඟට පැමිණියාය.

 

"නෝනා කවුද?"

කුතුහලෙන් පිරුණු ගැහැනියගේ විමසීම්වලට පිළිතුරු දෙනවා වෙනුවට බඩු මල්ල ඇය අත තබා '' මම අරුන්දතී. මේ පාර්වතීගෙ අම්ම නේද?."

 

"අනේ දෙවියො මේ ඒ නෝනද. අපේ කෙල්ලගෙ කටේම තියෙන්නෙ නෝන ගැනමයි. අද ඇයි නෝන මේ පැත්තෙ. කෙල්ල අසනීපෙන් කියලා නෝන දන්නවනෙ. කොහොමද පාර හොයා ගත්තෙ."

 

"මම ඇතුළට එන්නද අම්මෙ."

 

"අනේ නෝනට ඉන්න පුළුවන් වෙයිද මන්දා, කෙල්ල දැන ගත්තොත් මට දොස් කියයි."

'' ඇයි බැරි '' අරුන්දති ඉස්සර වූවාය. කුඩා ගෙයි මේසයක්, පුටු කීපයක් හැර කිසිදු ගෘහ භාණ්ඩයක් නොවීය. බඩු මල්ල මේසය උඩ තැබූ ගැහැනිය පුටුවක් පිසදමා අරුන්දතීට ඉඳගන්නට සැලැස්සුවාය.

 

" පුතා මෙහෙට එන්න " ඇය අත පෑවත් කුඩා දරුවා ලැජ්ජාවෙන් ආච්චි පිටුපසට වී සිටියත් ඔහුගේ කුඩා ඇස් ඇය අසලටත් බඩු මල්ල දෙසටත් පාවෙන්නට විය. "ඔය බෑග් එකේ රස කෑමක් ඇති අරගෙන අයියටත් දීල කන්න. කෝ දැන් අයියා."

" ඒකා ඔය කොල්ලො එක්ක සෙල්ලමට ගිහින්. මෙයාට නම් මම යන්න දෙන්නෙ නැහැ. කොහොමද නෝන අපෙ කෙල්ලට නිතරම බලන්න යන්නත් බැහැනෙ. මේ වත්තෙ තව කෙල්ලෙක් වැඩ කරනවා. එයා තමයි බලලා ඇවිත් මට විස්තර කියන්නේ."

 

''පාර්වතී ඉක්මනට සනීප වෙයි. අම්ම බය නැතිව ඉන්න මම ඉන්නවානෙ එයාව බලා ගන්න."

 

'ඒක තමයි නෝනෙ මටත් තියෙන හයිය. අපිට කියල කවුරුත් ඉන්න එකක්යැ."

වත්තෙ එකිනෙකා ගෙතුළට කර පොවා කවුද? ඒ මොකටද ආවේ? විමසීම අරුන්දතී හිසරදයක් වුවත් මහලු ගැහැනිය ඔවුනට සතුටින් උත්තර දුන්නේ අභිමානයෙනි. “දුව දන්න නෝන කෙනෙක්. අපිව බලල කතා කරලා යන්න ඇවිත්” යනුවෙනි.

 

"ඔහොම තමයි නෝන වත්තෙ හැටි ඕනෑදේටයි එපා දේටයි හැමදේටම ඇඟිලි ගහනවා. කෙල්ල නම් කියන්නෙ කොහොම හරි ළමයි ලොකු වෙන්න ඉස්සර වත්තෙන් යන්න ඕ‍ෙන කියලයි."

 

පැය කීපයක් ඔවුන් හා ගත කර ඇය පිටව යන විට කුඩා දරුවා කුතුහලය පහව මිතුරු වී සිටියෙන් 'කවදද ආයෙ එන්නෙ " කෝල ලෙස ඇය අසලට විත් විමසද්දී

' ඉක්මනටම එන්නම්. පුතාට මොනවද මම එනකොට ගේන්නෙ."

' කේක්. රස කේක් ''

**************

පාර්වතී රෝහල් ගතව සිටි කාලයේ අරුන්දතීගේ සෙවුම් බැලුම් දරුවන් වෙත ලැබුණා සේම පාර්වතීගේ කටයුතුත් ඇය නොපිරිහෙලා ඉටු කළාය. "දැන් අරුන්දතීව වැඩිය දකින්නවත් නැහැනෙ. මොකද හදිසියේ වුණේ."

දිනක් සිරිනාථ විමසුවේ වෙනදා නිතරම රෝගීන්ගේ ප්‍රශ්න තමා වෙත ගෙන එන, ඉඩක් ලද විට පැමිණ කතාබහ කරන ඇය කලකින් නොදුටු නිසාය.

 

“මම දැන් පාර්වතීගේ ළමයි දෙන්නත් බලන්න නිතරම යනවා. පාර්වතී ගැනත් හොයල බලල උදවු කරන්න ඕ‍ෙන. ඉතින් ටිකක් අනිත් අය මඟහැරුණා ඩොක්ටර්."

 

"අසරණ වුණ වෙලාවක උදවු කරන එක හොඳයි. ඒත් මේව කරදර නැද්ද තමුන්ගේ නිදහසත් ඕ‍ෙනනේ."

"පව් ඩොක්ටර් පාර්වතීත් පුළුවන් කාලෙ හැමෝටම උදවු කළා. දැන් එයාටත් කවුරු හරි ඉන්න එපායැ. අනික දරුවො දෙන්නත් මට හරි ළෙන්ගතුයි. මම එනකම් බලාගෙන ඉන්නවා." "එහෙනම් අරුන්දතී නොබැඳම අම්ම කෙනෙක් වුණා, මාවත් වෙලාවක එක්ක යන්නකො ඔයාගේ දරුවො බලන්න. ආසයි දකින්නත්."

'' අපෝ ඩොක්ටර්ට යන්න පුළුවන් තැනක් නෙමෙයි. එහෙ ගියොත් ආපහු දුවගෙන එයි."

'' ඔයාට පුළුවන් නම් ඇයි මට බැරි මාත් දවසක එන්නම්කො.''

පාර්වතී රෝහලේ සිට නි‍ෙවසට ගියේ අරුන්දතිත්, සිරිනාථත් සමඟය. මහ මඟ වාහනය නවතා අරුන්දතී ඇය වත්තම් කරගෙන යද්දී මීට පෙර කීපවතාවක් ඇවිත් හුරුපුරුදු සිරිනාථ බෑග් මලු රැගෙන පිටුපසින් ගෑටුවේය. අනිත් වෛද්‍යවරුන් දන්නවා නම් තමාට සිනහ වෙන බව සිතුණත් අරුන්දතීට බැඳුණ කුමක් හෝ බැඳීමකින් ඇයව මඟහැර සිටින්න සිරිනාථට නොහැකිය. ඒ බැඳීම මෙසේ යැයි කියන්න නොහැකි වුවද ඉන් ලැබෙන ආස්වාදයට සිරිනාථ ඇලුම් කළේය. පාර්වතීට බෙහෙත්, නි‍ෙවසට අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගත්තේද ඔහුමය. එවිට අරුන්දතීගේ මුහුණේ පිපෙන සිනහවට ඔහු ඇලුම් කළේය.

කුඩා නි‍ෙවසේ තිර යොදා වෙන් කළ නිදන කොටසේ තිබූ එකම ඇඳේ කෘශව ගිය පාර්වතී දුබල ලෙස වැතිර සිටිද්දී අරුන්දතී සියතින්ම සෑදූ සුප් කෝප්පයක් ඇයට හෙමින් හෙමින් පොවද්දි කුඩා දරුවා යහන කොනක හිඳගෙනද ලොකු දරුවා තිර රෙද්දේ එල්ලීගෙන ද මව දෙස බලා සිටී. මහලු ගැහැනිය බංකුවක හිඳ කම්මුලට අත තබා සුසුම් හෙළයි. කුඩා කවුළුවෙන් එන මඳ හිරුඑළියෙන් කාමරයේ අඳුර යන්තමින් මැකුණද එතැන සිටින මුහුණු මත ඇඳුන අඳුර නම් හිරු එළියටවත් මකා දමන්න නොහැක. අපහසුවෙන් අරුන්දතීගේ දෑත අල්ලා ගත් පාර්වතී "මැඩම්ට පිං මගෙ දරු දෙන්නයි අම්මවයි බලාගන්නවට. කවුද මෙහෙම උදවු කරන්නේ."

 

දුබල ලෙස පවසද්දි නෙත් කොණින් ගලා හැලෙන කඳුළු බිංදු දෙස අරුන්දතී බලා සිටියේ අරමුණකින් තොරවය. පාර්වතී නි‍ෙවසට බස්සවා ආපසු යන ගමනේදි සිරිනාථ කියූ දෙය ඇගේ මනස් කුහරයේ තදින්ම පැළපදියම් වී තිබුණි.

 

"මේක අහල කලබල වෙන්න එපා අරුන්දතී. පාර්වතීව සනීප කරන්න බැහැ.''

"අනේ ඇයි ඩොක්ටර් එහෙම කියන්නෙ. පව් දරුවො දෙන්නා."

"මොනව කරන්නද දැන් ප්‍රමාද වැඩියි. කැන්සර් එක පැතිරිලා. දිගටම බෙහෙත් දිදී එයාගෙ වේදනාව නැති කරන එකයි දැන් කරන්නේ."

අරුන්දතීගේ හුස්ම හිරවනවා සේ වූයෙන් ඇය සිරිනාථගේ අත තදින් අල්ලා ගනිද්දි විමතියට පත් ඔහු "අරුන්දතී මොකද මේ මොකද වුණේ '' විමසමින් සොලවද්දී තමා හඬා වැටි අයුරු ඇයට සිහි විය.

නැවත වරක් අසාධ්‍ය තත්ත්වයේ සිටි පාර්වතීව රෝහල් ගත කරන්න යෙදුණේ සිරිනාථගේ

මැදිහත් වීමෙනි. ජීවිතේ අවසන් දවස් කීපය සමඟ සටන් කරමින් සිටි පාර්වතීගේ මළානික ඇස් පීවත් වීම යැද්දේය. එහෙත් ජීවිතය දෙන්න පුළුවන්කමක් නොවීය. අරුන්දතී සමඟ පැමිණි දෙදරුවන්ද මහලු මවද ඇය දෙස බලා සිටියේ දැන් නැඟිටිතැයි, දැන් නැඟිටිතැයි යන හැඟීමෙනි.

 

අපහසුවෙන් වචන පටලවමින් පාර්වතී අරුන්දතීගෙන් ඉල්ලුවේ තම දරුවන් බලාගන්නා ලෙසය. අරුන්දතී සිරිනාථ සමඟ පාර්වතීගේ ගෙපැලට ගොඩවුණේ සිතේ පොර බඳින දහසක් සිතුවිලි සමඟිනි. කෙතරම් කටුක වුණත් යථාර්ථයට මුහුණ දිය යුතුයි. අකමැත්තෙන් වුවද එය පිළිගන්න සිදුවෙනවාමය. දරුවන් දෙදෙනා වැලඳගෙන හඬන අරුන්දතීද බිම හිඳ වැලපෙන මව දෙසද සිරිනාථ බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්ය. මහලු ගැහැනියගේ විලාපය කන වැකුණු වත්තේ එකා දෙන්නා පාර්වතීගේ නි‍ෙවස දෙසට වැල නොකැඩී ඇදී එන්නට වූයේ විපතකදී තනි නොවන බව පසක් කරමිනි.

නිමි.!