මොකෝ පාන්දර ම අමුතු ආදරයක්..

MOTHER ' S BOY
ජුනි 2, 2025

සුජීව සිරිමෙවන් තරුණීට අරන් එන අලුත්ම නවකතාව -4 කොටස

 

පසුගිය සතියේ මකරන්දය සාහිත්‍ය අතිරේකයේ උපේඛා ද්‍රෞපදී රාජපක්ෂ සමඟ තරුරසී ප්‍රනාන්දු සිදුකළ සංවාදයෙහි සිරස්තලය " මම භාෂා දේශප්‍රේමියෙක් " ලෙස පළවූයේ අත්වැරැදීමකිනි. එය " මම භාෂා ප්‍රේමියෙක් " ලෙස නිවැරදි විය යුතු අතර සිදුවූ අපහසුතාවයන්ට සියලු පාර්ශ්වවලට අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.


" බබාගේ උපන්දිනේ ලබන සතියෙ මාර්තු දහ අට, ඔයාට නම් ඒවා මතකත් නෑනෙ.."

කාංචනාගේ හඬ එහා කෙළවරින් තෙපුල් දෙයි. ඈ තාමත් බබා කියන්නේ සාරාටයි. කලෙක සවන්පත් අස්වැසිලි දැහැනක ගිල් වූ හඬක් දැන් මෙසේ කරච්චලයක් බවට පත් වූයේ කෙසේ ද? නිගූට ඇත්තේ ඒ ගැන විමතියකි.

" හරි...හරි.. නෝක්කාඩු කියවිල්ල නවත්තලා මොනා ද කරන්නෙ කියන්ඩකො"

නිගූ ඒ වචන කියන්නේ ද සැරෙන් නොවෙයි. අසෙනි ළඟ නිසා ද විය හැකියි. එහෙත් කාංචනාගේ වචන ද බොරු නොවෙයි. නිගූට කාංචනාගේ ද සාරාගේ ද පමණක් නොව අම්මාගේ ද උපන් දිනය අමතක වෙයි. වරක් කැම්පස් එකේ දේශනයකට යා යුතුව තිබුණු දවසක නිගූ පාන්දර ම නැඟිටගෙන ඔෆීස් කාමරයේ පොත් අල්මාරි පීරමින් රෙෆරන්සස් වගයක් සොයමින් ළමයින්ට දීම සඳහා "ෆ'දර් රීඩින්ස්" ලැයිස්තුවක් හදමින් සිටියි. එකවරම කාමරයේ අගුල කැරකෙන හඬ අසා නිගූගේ අවධානය වෙනස් වෙයි. සාමාන්‍යයෙන් පාන්දරින් අවදිව නිගූ ඉස්සරහ කාමරේ වැඩ කරන විට හදිසියේ ම කෝපි කෝප්පයක් ද කැටුව කඩා වදින්නී අම්මායි. එහෙත් එදා අම්මා අක්කලාගේ ගෙදරයි. අම්මා සතියකට පෙර බණ්ඩාරගම අක්කලාගේ ගෙදර ගොස් ඇරලූයේ ද නිගූ ය. කාංචනා පාන්දර නිදි සුවයට අතිශයින් ලොල් ය. ඒ බව නිගූ හොඳින් දනියි. ඈ මේ පාන්දර නැඟිට එන්නට කිසිම හේතුවක් නැත. සාරා ද අම්මාගේ සනීප තුරුල්ලට ගුළි වන්නේ මේ පැය කිහිපයටයි. එහෙත් එකවර ම අගුල කරකැවී ඇරුණු දොරින් කාංචනා කාමරයට පිවිසෙයි.

නිගූ පොතක පේළි අතර බර කල්පනාවක රැඳ වූ නෙතිනි. කැරකෙන පුටුවට බර දී සිටි ඔහු ආපසු හැරෙන්නටත් පෙර කාංචනා නිගූගේ ගෙල පසුපසින් වැලඳ ගෙන ඔහුගේ කැරලි කෙහෙරැලි අතරින් ගෙල පිටුපස හාදුවක් තබයි. නිගූ මේ හාද්දට කොතරම් ලෝබ දැයි ඈ දනියි.
"මොකෝ මේ උල්කාපාතයක් වගේ කඩා වැටුණෙ...පාන්දර ම අමුතු ආදරයක්.. කොහොම ද ඔයා නැඟිට්ටෙ..?"

" ඔයා දන්නව ද අදට අපි බැඳලා අවුරුදු පහක්... ඒ කියන්නෙ අද අපේ ෆිෆ්ත් ඇනිවසරි එක"
කාංචනාගේ කටහඬ නිගූගේ කන්පෙති අග හිරිගඩු නංවා කිති කවයි.
"අහ් ... ඇත්ත ද? අයියෝ පහ ද තාම ගෙවුණේ.. මං හිතුවා ඊට වැඩිය ඇති කියලා"

"ඔව් ඉතින් අපි හම්බ වෙලා නම් ඊට වැඩියිනෙ. කැම්පස් එකේදිම ඉතින් අපේ පවුල් ජීවිතේ පටන් අරන්නෙ තිබ්බෙ.. ඒ කාලෙ ඉඳන්ම මං කළේ ලෙක්චර්ස් ඉවර වෙලා ආපු වෙලේ ඉඳන් තම්බන එක තමා.."
නිගූ එකවර පුටුව කරකවා කාංචනා තම ඇකයේ හිඳුවයි. ඈ ඔහුගේ ගෙල වටා අත් යවා මුහුණ ගෙල මත සඟවයි.
" හොඳ වෙලාවට අද අම්මා හිටියෙ නැත්තේ.. නැත්තම් එයත් මේ වෙලාවට නැඟිට ගෙනනෙ කෝපිත් හදන්."

නිගූ කිසිවක් නොකියා ඇයව සිප ගන්නට පටන් ගනියි. ළා රෝස පැහැති ඇගේ දුහුල් රෑ ඇඳුමේ එක් හීනි පටියක් උරිස්සෙන් පහළට එල්ලෙයි. නිගූ උපැස් යුවළ ගලවා තැබූයේ කොහේදැයිවත් නිච්චි නැත. ඔහු ඈ ඔසවාගෙනම කාමරයේ පසෙක තබා තිබුණු සෝපාව මතට ඇයව අත හරියි. ඇගේ පපුවෙහි හිස හොවා ගන්නා නිගූ භාවනාවක සමවැදී මෙන් ස්වල්ප මොහොතක් තම මුහුණෙන්ම ඇගේ ළැම පෙදෙස සුරතල් කරයි. තව නිමේෂයකින් ඔහු තුළ ඇති වන වියරු ශෘංගාරාවේශය රුදුරු රමණදඟයක් දක්වා දිග්ගැස්සෙන බව කාංචනා දනියි. සෝපාවේ එක් ඇන්දක් මත තබා තිබුණු පොත් ගොඩක් හඬ නඟා පෙරළෙයි. කාමරයේ දොර අඩවල් වූ ගමන්මය. නිගූ ඇගේ ගෙල පසෙක දසන් සලකුණු වන සේ වියරු හාද්දක් තබයි. ඔහුගේ පපුවෙහිත් ගෙලෙහිත් නිය සලකුණු වන සේ ඈ ඔහු මිරිකා තදින් තුරුලු කර ගන්නා අතර දෙතොල් පෙති ආයාසයෙන් විහිදා මායාමය සිනහවක් නංවයි.

"අම්මා...අම්මා..ඔයා කෝ..”

සාරාගේ හඬ ගෙතුළින් ඇසෙත් ම වහා නැඟිට ගන්නා ඈ ඒ මේ අත වූ සුන්බුන් ද අහුලාගෙන කාමරයෙන් පිටව අඳුරෙහි මැකෙයි. එබඳු විටෙක නිගූ ද ඈ පසු පස්සේ ගොස් ඇඳට වැටී දෙදෙනාට ම තුරුලුව තව පැයක් හමාරක් සනීප නින්දක පාවෙයි.

මිහිරක මිදී නිවී මැකී ගිය ඒ මල්බර සමය පිළිබඳ නිගූට දැන් ඇත්තේ ඇල්මැරුණු හැඟීමකි. එය යළි කවරදාක හෝ ආපස්සට ගොස් ආස්වාද කරන්නටවත් වැරදී ඇත්නම් හදාගන්නටවත් හැකි අතීතයක් නොවේ. ඒ අතීතය ඒ තරම් ගල් ගැහී තිබෙයි. ඔවුන් දෙදෙනා අතර කිසිදා පියවිය නොහැකි මේ විවරය සෑදී ඇත්තේ කාංචනාගේ කුරිරු වචන නිසා ම බව නිගූට සිතෙයි. එහෙත් ඒ ගැන ඇයට කියන්නට ඇත්තේ වෙන ම කතාවකි.
" බබාට දැන් දහයක්. එයාට ඕ‍ෙනලු යාළුවොත් එක්කම කේක් කපන්න.
මගෙ යාළුවෙක් කේක් එක හදා දෙන්නම් කිවුවා... මම කෑම ටිකක් හදනවා.. පේරන්ට්ස්ලත් එන හින්දා ඔයා ඉන්න ඕ‍ෙන.."

එවර කාංචනාගේ වචන සැර ගතිය අඩු වී ආයාචනාත්මක ස්වරූපයකට මාරු වී තිබෙයි. ඇයට උවමනා වන විට එබඳු මෘදු ස්වරයකට මාරු වීමට ඇති හැකියාව පිළිබඳ නිගූට ඇත්තේ කේන්තියකි.

"ඇයි උඹේ හොර මිනිහව ම ගෙන්න ගනින්කො ඒකටත්" කියන්නට සිතුණ ද තමා තුළම බුරා පැන එන මෘගයා දමනය කර ගන්නට ඔහුට හැකි වෙයි.

"හරි මං එනවා..මොනා ද එයාට ගේන්න ඕ‍ෙන"
" මොකුත් එපා.. ඔයා එන්නයි ඕනෙ."
දුරකතනය විසන්ධි වෙයි. අසෙනි තවමත් ඔහු වෙත ම රැඳ වූ නෙතිනි. හයිඩ්පාර්ක් කෝනර් ආර්පිකෝ රථ වාහන අංගනය පිරී යයි. අසෙනි නිගූගේ වමතින් අල්ලා ගනියි. නිගූ දෑස් පියා ගනියි. විපිළිසර තත්ත්පර කිහිපයක් ගෙවෙයි. යළි දෑස් විවර කර අසෙනි දෙස බලයි. ආයාසයෙන් නැඟෙන සිනහවක් දෙතොලතර මෝදු වෙයි.

"අපි යමු" නිගූ රථයෙන් බැස ආර්පිකෝ ගොඩනැඟිලි සංකීර්ණය වෙත හැරෙයි. අසෙනි ද වහා පැමිණ නිගූගේ සුරතෙහි දැවටෙයි.
" එපාර්ට්මන්ට් එකට මොනාහරි ගන්නව ද?"

තවත් කොටසකින් හමුවෙමු