විශ්ම විශ්වය

ජුනි 2, 2025

අරුම පුදුම එල්ලෙන මිනී පෙට්ටි

ලොව පුරා ජනවර්ගයක්ම සිය මියගිය පුද්ගලයින්ට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ වූ චාරිත්‍රයන් භාවිත කරනු ලබයි. අප කවුරුත් දන්නා පරිදි යමෙකු මියගිය විට සිරුර භූමිදානය කිරීම, ආදාහනය හෝ තැන්පත් කිරීම සිදු වෙයි. නමුත් මේ පවසන්නට යන්නේ මීට අවුරුදු දාහකට පමණ පෙර දකුණු චීනයේ ජීවත් වූ බෝ ජන වර්ගය (Bo people) සිය මියගිය ආදරණීයන්ට දක්වන අසාමාන්‍ය පුදුම හිතෙන සුළු චාරිත්‍රයක් ගැනයි.

 

චීනයේ සිචුවාන් පළාතේ Gongxian ප්‍රදේශය හරහා වැටී ඇති Yangtze නදියේ සංචාරය කරන්නෙකු එහි දෙපස ගල් කුළුවල රඳවා ඇති අමුතුම ආකාරයේ කළු පැහැති පෙට්ටි විශේෂයක් දක්නට ලැබේ. මේ අත්භූත දිගැටි හැඩති කළු පෙට්ටි බෝ ජන වර්ගයේ ආදී මුතුන් මිත්තන් සැතපී සිටින මිනී පෙට්ටි වෙයි.

ඔවුන්ගේ ජන වර්ගයේ අයෙක් මිය ගිය විට මෙවැනි කළු පෙට්ටියක බහා කඳු ශිඛරයක එල්ලා තැබීමේ චාරිත්‍රයක් ඔවුන් විසින් අනුගමනය කර තිබේ.

 

මෙම ස්ථානය බෝ ජන වර්ගයාගේ සුසාන භූමියකි. සැබැවින්ම එය අරුම පුදුම එල්ලෙන සුසාන භූමියකි. ඔවුන්, මළවුන්ට ගෞරවය දැක්වීම සඳහා මෙවැනි අරුම පුදුම චාරිත්‍රයක් තෝරාගත්තේ මන්දැයි කිසිවෙකු දන්නේ නැත. බෝ ජනයාගේ මුතුන් මිත්තන්ගේ එවැනි මිනී පෙට්ටි 130ක ප්‍රමාණයක් මෙම කඳු ශිඛරයෙන් හමු වී ඇත. ඒ අතරින් වසර තුන්දහසක ඈත අතීතයකට හිමිකම් කියන ඉපැරණිම මිනී පෙට්ටියක් පවා හමුවී ඇත.

 

පර්යේෂණවල නිරත වන විද්වතුන් මෙම එල්ලෙන සුසාන භූමිය පිළිබඳ විවිධ මත ප්‍රකාශ කර සිටියි. බොහෝ ආසියානු සංස්කෘතීන් විශ්වාස කරන්නේ දෙවියන්, ස්වභාවධර්මයේ ඇලී ගැලී ජීවත් වෙන බවයි. එම නිසයි ඔවුන් අහසට, පාෂාණවලට, කඳු වැටි සහ දිය ඇලි වැනි ස්ථානවලට වැඳුම් පිදුම් කරන්නේ. බෝ ජන වර්ගයා ද ඒ අනුව යමින් සිය ආදරණීයන් මිය ගිය පසු මෙලෙස ස්ථානයක ඔවුන් සතපවා ඇත්තේ ඔවුනට දෙවියන් වෙත ඉක්මනින් ප්‍රවේශවීමට ඉඩකඩ ලබාදීමේ අරමුණෙන් බවයි ඔවුන් පැව‍ෙසන්නේ.

 

මෙම කළු පැහැති දිගැටි මිනී පෙට්ටි Nanmu නැමති ලෙහෙසියෙන් දිරා නොයන සාමාන්‍ය දැවවලට වඩා බරින් අධික දැව වර්ගයකින් නිපදවා තිබේ. එවැනි අධික බරින් යුතු මෙවැනි ඉහළ ස්ථානයකට ගෙන ගියේ කෙසේද යන්න අදටත් අබිරහසකි.

------------------

මිනිසුන්ව ගල් කළ ගිනිකන්ද

 ලෝකෙ වටේ සවාරි ගහන අය අතරේ පුළු පුළුවන් විදිහට හැමෝම වගේ උත්සාහ කරන්නෙ ලස්සන දේවල් දකින්න, විඳින්න. ලෝකයේ ලස්සන ගැන කතා කරද්දී ඒ ලස්සන ඇතුළේ සැඟවීගිය නොවිසඳුණ අභිරහසුත් ඕනෑතරම් තියනවා. අද කියන්න යන්නෙත් ඒ වගේ හරි පුදුම දේවල් කිහිපයක් ගැන.

ක්‍රිස්තු වර්ෂ 79 දී ඉතාලියේ විසුවියස් ගිනිකන්ද පුපුරා ගියේ එදා මෙදාතුර සිදු වූ දරුණුතම ගිනිකඳු ව්‍යසනයක් ලෙස ඉතිහාස පොතට එක් කරමිනි.

 

එම පිපුරුම හිරෝෂිමා පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයක් බලසම්පන්න විය. එහිදී විසුවියස් ගිනිකන්ද අළු සහ ද්‍රව පාෂාණ ලාවා තත්ත්පරයට ටොන් මිලියන 1.5ක් පමණ මුදා හළේය. එය සැතපුම් 20.5ක් පමණ දුරට ගලාගෙන ගියේ හමුවන සියල්ල පාෂාණභූත කරමිනි. හෙණ හඬ නංවමින් පුපුරා ගිය ගිනිකන්දෙන් ගලා ආ ලාවා ප්‍රවාහවලට අසුවී ගිනිකන්ද පාමුල වූ පොම්පෙයි නගරය පණ පිටින් වැළලී ගියේය. 16,000ක් පමණ ජනයා ඒ අතර විය. සියවස් ගණනාවකට පසු පොළොව යට සැඟවී සිටි පොම්පෙයි නගරය නැවත පාදා ගන්නට විද්‍යාඥයින් සමත් විය. එහිදී ලාවා සහ ගිනි අළුවලින් පිළිම වී සිටි පොම්පෙයි වැසියන්ගේ සිරුරු රාශියක් මතුකර ගැනීමට හැකි විය. අද වන විට මෙම මිනිස් පිළිම ඉතාලියේ නේපල්ස් ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තැම්පත් කර ඇත.

--------------------

ලුණු සොයන එළුවෝ

යුරෝපයේ ඇල්ප්ස් Alpine Ibex කියලා හරි අපූරු එළුවන් විශේෂයක් ජීවත් වෙනවා.

 

උස් ගල් වැටි තරණය කරමින් කඳු නගින්නම උපන් හපන් මේ Alpine Ibex එළුවන් බොහෝ වෙලාවට දකින්නට ලැබෙන්නේ ඇල්ප්ස් කඳුවැටියේ අඩි 2,000 ට වඩා උස් බිම්වලයි. හැබැයි Alpine Ibex එළුවන් හැමදාම ඇල්ප්ස් කඳු මුදුන්වල ජීවත් වෙන්නවා දකින්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ කඳු මුඳුන්වල කෑම බීම සීමිතයි. ඉතින් ගිම්හානයේ සහ වසන්තයේ මේ එළුවෝ ආහාර සොයාගෙන උස් කඳුවල ඉඳලා පහත් බිම් වල ඇති සාරවත් තෘණ භූමි කරා පැමිණෙනවා.

ශීත කාලය පැමිණෙන විට මේ එළුවන් ආපසු කඳු ශිඛර කරා සංක්‍රමනය වෙනවා. අනෙකුත් ශාකභක්ෂකයන්ට වගේම ලුණු සහ අනෙකුත් ඛනිජ ලවණ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය නිසා ඒවා සොයායන මේ එළුවන් බොහෝ විට කරන්නේ පාෂාණ මතුපිට ලෙව කෑමයි. ඒ නිසා ඔවුන්ගේ ප්‍රියතම ස්ථානයක් තමයි ඇල්ප්ස් කඳුකරයේ ඇති ජලාශ හරහා බැඳි වේලි. ඉතා විශිෂ්ට කඳු නගින්නන් වන Ibex එළුවන් සමබරතාව රැකගනිමින් මෙම වේලි තරණය කරන ආකාරය නම් පුදුම සහගතය.

-------------

අද්භූත වනයේ ඇද වුණු ගස්

පෝලන්තයේ බටහිර පොමරේනියා ප්‍රදේශයේ දක්නට ලැබෙන මේ ඇද වුණු ගස් සහිත වනාන්තරය, පරිසරයට එක් කරන්නේ අපූරු සුන්දරත්වයක්.

1930 වර්ෂයේ පමණ සිටුවන්නට ඇතැයි සැලකෙන 400ක් පමණ වන පයින් ගස් මෙලෙස ඇද වී ගොස් ඇති අතර එසේ වීමට හේතුව අද දක්වා අබිරහසක්.

මෙය බොහෝ දුරට අධික හිම පතනය වීම නිසා හෝ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විය හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරනු ලබනවා.