තාම ඔයාට Linkedln ප්‍රොෆයිල් එකක් නැද්ද?

ජූලි 21, 2025

දැන් කාලේ හැමෝම සෝෂල් මීඩියාවල හිටියට Linkedln ගැන ලොකු අවබෝධයක් නැහැ. Linkedln කියන්නේ වෘත්තීය ජීවිතයේ ලොකු ගමනක් යන්න හොඳ ආරම්භයක්. හැබැයි ඒකට හරි යන හොඳ ප්‍රොෆයිල් එකක් හදාගන්න තරමක හෝ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් මේ හදන ප්‍රොෆයිල් එකෙන් කිසි වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රොෆයිල් එක මේ විදිහට හදන්න පටන් ගමු.

ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක්

 

කෙනෙක් ඔබේ LinkedIn ප්‍රොෆයිල් එක බලන්නේ වෘත්තීමය උනන්දුවකින්. ඒ නිසා LinkedIn එකේ ප්‍රොෆයිල් පික්චර් එක විදිහට හැමවෙලාවකම මෑතකදී ගත්තු, හොඳ කොලිටියේ වෘත්තීය පෙනුමක් තියෙන ෆොටෝ එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ටයි කෝට් දාගෙන ඉන්න එකක්ම වෙන්න ඕනෙ නෑ. බුම්මගෙන ඉන්න ෆොටෝ එකක් වෙන්න ඕනෙත් නෑ. සරල ඇඳුමකින් ඉන්න එකක් වුණත්, හොඳ හිනාවකින් යුක්තව, ෆොටෝ එකකට පෙනී ඉන්න ඉරියව්වක් තියෙන ෆොටෝ එකක් පාවිච්චි කරන්න.

ප්‍රොෆෙෂනල් හෙඩිමක්

 

සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ඔය කෙටි වාක්‍යයකින් තමන් ගැන ලියන්න දෙනවනේ. ඕකට ගොඩක් අය නොයෙක් නොයෙක් වදන් එකතු කරනවා. එක්කෙනෙක් ‘තවත් සරල එක මනුස්සයෙක්’ වගේ එකක් දානකොට තවත් කෙනෙක් දානවා ‘I’m a dreamer’ කියලා. තවත් කෙනෙක් ඉන්ස්ටග්‍රෑම් එකේ අර බයෝ එක ලියන්න තියෙන තීරුවේ දාන්න පුළුවන් ‘I’m a crazy girl’ කියලා.

හැබැයි LinkedIn හෙඩින් එකට ඔය එකක්වත් දාන්න බැහැ. ඒකට ඕනෙ කරන්නේ තමන්ව කෙටියෙන්, නියම විදිහට, වෘත්තීමය විදිහට හඳුන්වන්න පුළුවන් වාක්‍යයක්. මේකට පහසුම ක්‍රමය තමයි තමන්ගේ වෘත්තීය තනතුර මොකක්ද කියන එක මේ LinkedIn හෙඩිමට පාවිච්චි කරන එක. තනතුරු සහ තත්ත්වයන්, අධ්‍යාපන සුදුසුකම් වගේ කිහිපයක් දේවල් වුණත් මේ හෙඩින් එක ඇතුළේ සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට A software engineer by day, a blogger by night” වගේ එකක් පාවිච්චි කළත් කමක් නැහැ. හැබැයි කොන්දේසිය තමයි තමන් කරන දේ ගැන කී වර්ඩ්ස් මේ හෙඩින් එක ඇතුළේ තියෙන්න ඕනෙ කියන එක. එතකොට LinkedIn සර්ච් කරලා යම් වෘත්තියක් කරන අයව හොයන අයට වුණත් වැඩේ පහසුයි.

ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් සමරි එකක්

 

ගොඩක් වෙලාවට මේ LinkedIn ප්‍රොෆයිල් සමරි නැතිනම් ඉන්ට්‍රොඩක්ෂන් කොටස ගොඩක් දෙනෙක් පුරවන්නේ නෑ. හැබැයි මේ කොටසත් වැදගත්. LinkedIn එකේ ප්‍රොෆෙෂනල් ප්‍රොෆයිල් සමරි එකක් ලියන කොට ඒකෙන් ආමන්ත්‍රණය කරන්න ඕනෙ තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එක බලලා තමන්ට වැඩක් භාරදෙන්න හරි, ජොබ් එකකට හයර් කරන්න හරි හිතන කෙනෙක්ට.

මේ සමරි එක ලියන්න පුළුවන් තමන්ගේ වෘත්තිය සහ විෂයය ක්ෂේත්‍රය, ඒ විෂයය ක්ෂේත්‍රයේ තමන්ට තියෙන දැනුම සහ ඒ දැනුමෙන් තමන්ට කරන්න පුළුවන් මොනවද කියන දේ ඇතුළත් කරලා. සරලයි. බලන කෙනෙක්ට ඔබේ හැකියාව මොකක්ද කියන එක තේරුම් ගන්නත් පහසුයි.

ප්‍රොෆෙෂනල් වර්ක් හිස්ට්‍රි එකක්

 

ඔබ වැඩ කරලා තියෙන්නේ කොයි වගේ තැන්වලද, ඔබ ඒ තැන්වල මොනවාද කරපු වැඩ කියන එක තේරුම් ගන්න එක, ඔබව හයර් කරන්න හිතන බොස් කෙනෙක්ට හරි මානව සම්පත් නිලධාරියෙක්ට හරි අත්‍යවශ්‍යයි. ඒ නිසා තමන් මෙතෙක් ‍රැකියා කරලා තියෙන තැන් ගැන කෙටියෙන් ඒත් විස්තරාත්මකව සඳහන් කරන්න. මෙතැනදී වැඩ කරපු ආයතනය යටතේ ඔබ දරපු තනතුර, ඔබේ සේවා කාලය වගේ හැමදේම ඇතුළත් කරන්න අවකාශයන් LinkedIn එකෙන් දීලා තියෙනවා. මේ ඉඩ ප්‍රයෝජනයට ගන්න එක වැදගත්. එතකොට යම් ආයතනයක් LinkedIn ජාලයේ තියෙනවා නම් ඔබ නම ටයිප් කරපු ගමන් ඒ ආයතනයේ නම, ලෝගෝ එකත් එක්කම පෙන්නනවා.

කන්ටැක්ට් ඩීටේල්ස්

 

කන්ටැක්ට් ඩීටේල්ස් නැතිනම් තමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු මොනවාද කියන එක ප්‍රොෆයිල් එකකට වැදගත්. ඕනෙ නම් කෙනෙක්ට ඔබේ LinkedIn ප්‍රොෆයිල් එක බලලා ඒ හරහාම ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා තමන්ගේ දුරකතන අංකයක්, ඊමේල් ඇඩ්‍රස් එකක් නොදා ඉන්න එක හරියන වැඩක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ ප්‍රයිවට් දුරකතනය ප්‍රසිද්ධියේ දාන්න බැරි නම් ඒ වෙනුවෙන් වෙනම දුරකතන අංකයක් තියාගන්න.