වැරදිම විතරක් හොයන්න එපා

ජූලි 21, 2025

අපි හැමෝම මිනිස්සු. මිනිස්සු අතින් තමයි වැරදීම් වෙන්නේ. ඉතින් ජීවිතය ගෙනියද්දී අපි අතින් වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි අපි කරන හොඳ දේවල් එක්ක සාපේක්ෂව බලනකොට වැරදීම් අඩුයි. හොඳ දේවල් වැඩියි. අපි කොච්චර හොඳ කළත් ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට මතක තියෙන්නේ සහ කතා කරන්නේ වැරදි ගැන විතරමයි.

 

අපි අපේ ජීවිත කාලෙත් එක්ක පහුකරගෙන ආපු කාලය දිහා බැලුවම අපිට අගයක් නැති තැන්වල අපි කොච්චර රැඳිලා ඉඳලා තියෙනව ද? අපිට වටිනාකමක් නැති තැන්වල අපි කොච්චර රැඳිලා ඉඳලා තියෙනව ද? අපිට ආදරයක් නැති, සෙනෙහසක් නැති, රැකවරණයක් නැති, අපිව අගය කරන්නේ නැති තැන්වල අපි රැඳුණු නිසා අපි කොච්චර පීඩා විඳ දරාගෙන තියෙනව ද? ඒ දේවල්වලින් ඇතිවන පීඩාව ගැන මම හොඳටම දන්නේ ඒ විදිහට විඳ දරාගෙන ඉඳලා ඉඳලා අන්තිමට මානසික තත්ත්වවලට මුහුණ පෑ අය මාව සොයාගෙන එන නිසා.

 

මේ ළඟදී දවසක ආවා අවුරුදු 65ක විතර කඩාගෙන වැටුණු මුහුණක් තියෙන කාන්තාවක්. ඇය විශ්‍රාමික ගුරුවරියක්. එයාට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ලංකාවේ. ඉතුරු තුන්දෙනාම ධනවත් රටවල් තුනක ලොකු තනතුරු දරන අය. ඉතින් ඇය මට කිව්වා "එයාලා සල්ලි එවනවා. මාව සැප පහසුවට තියන්න ඕ‍ෙන තරම් වියදම් කරනවා. හැබැයි එයාලා මට කතා කරන්නේ ඉඳලා හිටලා. එයාලට මතක නැහැ මම රස්සාවකුත් කරන ගමන් තනියම දරුවෝ 4 දෙනෙක් උස්මහත් කරන්න විඳපු දුක්ගැහැට."

 

ඉතින් ඒ අම්මා මාත් එක්ක එයා ඒ කාලේ කරපු හැමදේම කතා කරනවා. එයා උදේම නැඟිටලා ඉව්වා. ඉස්කෝලෙට යද්දී එයාට කෑම පාර්සලයකුයි, දරුවන්ට කෑම පාර්සල් 4කුයි ලෑස්ති කළා. ගෙදර ඇවිල්ලා ආයේ කෑම හදනවා. රෙදි ටික හෝදනවා. කඩේට ගිහින් බඩු ගන්නවා. හැබැයි ඒ දරුවෝ අම්මට සැලකුවේ එයාලගේ වැඩ කරන්නම ඕනේ කෙනෙක් විදිහට. දැන් ඒ අම්මට දණහිස් අමාරුවක් තියෙනවා. ලෝකේ තියෙන මිල අධිකම බෙහෙත් අම්මට එවනවා.

 

නමුත් ඒ අම්මා ආසයි "අපි වෙනුවෙන් අම්මා මෙච්චර දෙයක් කළානේ" කියලා අහන්න. හැබැයි ඒ ළමයි සමහර වෙලාවට මෙන්න මෙහෙම කියනවා. "අපිට කොහෙන්ද ඉතින් හොස්ටල් එකයි, ගෙදරයි ඇරුණම ට්‍රිප් යන්න කාලයක් තිබුණේ නැහැනේ". ඒ වගේ අම්මා අතින් වෙච්ච පොඩි පොඩි වැරදි කියනවා. ඒ අම්මා මට කියනවා "මැඩම් ඒ දවස්වල මට සල්ලි තිබුණේ නැහැ ට්‍රිප්වලට වියදම් කරන්න. මම හරි අමාරුවෙන් හැමදේම කරගෙන ගියේ. අපේ ජීවිත හරි නූලට ගියේ. එක මාසෙක මරණයක්, මඟුලක් වුණොත් ඒ මාසේ ඉතුරු වියදම පිරිමහ ගන්න මම අපමණ දුකක් වින්දා. ඉතින් කවුරුත් ඒක දන්නේ නැහැ. අම්මා උයන කෑම එක රහයි, අම්මා මට මේ දේ කරලා දුන්න එක පහසුයි කියලා එයාලා මට කවදාවත් කියලා නැහැ. ඒගොල්ලෝ නවාතැනට යනකොට කොට්ට උර, බෙඩ් ෂීට්, කෑම බීම හදන්න සමහර සති අන්තවල පැය 48ම වැඩ කරලා තියෙනවා. දරුවෝ පිටරට යද්දි මාස දෙක තුනක් තියාගෙන කන්න කෑම හදන්න මම ගොඩක් මහන්සි වෙලා තියෙනවා. හැබැයි ඒ කවුරුත් ආපහු හැරිලා බලලා මං වෙනුවෙන් අම්මා මේ දේ කළානේ කියලා කිව්වේ නැහැ". ඇයට ඕනේ වුණේ පුංචි අගය කිරීමක් විතරයි. තමන්ගේ සතුට ගැන හිතන්නේ නැතුව මුළු ජීවිතයම දරුවෝ වෙනුවෙන් කැප කරපු අම්මෙක් ඒ වගේ අගය කිරීමක් ලබන්න ආසයි.

 

තව කාන්තාවක් මාව හමුවෙන්න ආවා. එයා කියන්නෙත් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන අම්මගේ වැඩත් කරලා, ඔත්පල වෙලා ඉන්න මාමණ්ඩිගේ වැඩත් කරලා, ගෙදර උයලා පිහලා, දරුවනුත් බලාගෙන, මහත්තයාගේ වැඩත් කරලා ඔක්කොම කරද්දි හස්බන්ඩ් ඔෆිස් ගිහින් ගෙදර ආපු ගමන් හොයන්නෙම අඩුපාඩු කියලා.

"මම මෙච්චර දේවල් කරනවනේ කියලා කවදාවත් මට අගය කිරීමක් ලැබිලා නැහැ. මට ඒක හරිම දුකයි." ඒ විදිහට ඇයත් මං ළඟට ඇවිල්ලා දුක කියනවා.

 

මම එයාලට උගන්වන්නේ, තව කෙනෙක්ගේ අගය කිරීම බලාපොරොත්තු වෙන්නේ නැතුව වැඩ කරන්න කියලා. හැබැයි මම පුරුදු වෙලා ඉන්නවා ත්‍රීවිලරයකින් ගිහින් බැස්සත් ඩ්‍රයිවර් මහත්තයට "ස්තූතියි" කියන්න. ෂෙඩ් එකට ගිහින් කාර් එකට තෙල් ගහන කෙනාට ස්තූතියි කියන්න. සමහර මිනිස්සු ඒක හරි පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. මොකද ශ්‍රී ලංකාවේ අයට ඒක පුරුදු නැහැ.

 

මම හැමදාම දවල් කෑම එක දිගහැරලා කනකොට හැමදාම මට කෑම හදලා දෙන කලාට කතා කරලා කියනවා, "කලා අද කෑම එක ගොඩක් රසයි. ගොඩක් ස්තූතියි." කියලා. එහෙම කියන්න බැරි වුණ සමහර දවස්වලට කලාම මට කතා කරලා අහනවා "නෝනා තාම බත් කෑවේ නැද්ද?" කියලා. ඉතින් ඒ කියන්නේ ඇයත් ඒ අගය කිරීම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එකනේ.

 

අපි වෙනුවෙන් මේ ලෝකේ කවුරුහරි ඉන්නවා කියන එක. අපිව අගය කරන එක වචනයෙන් කියන්න බැරිතරම් ලොකූ දෙයක්. අගයක් ලැබෙන්නේ නැතුව ජීවත් වෙන අය ඔහේ ජීවත් වෙනවා. ඒ ජීවත් වීම හරිම වෙහෙසකාරීයි. ඒ අය මේ ලෝකේ ඉන්නේ ඇයි කියලවත් ඒ අය දන්නේ නැහැනේ. ඒ නිසා අගය කරන්න ඕන තැන අගය කරන්න. වැරදීම් වෙනකොට මිනිස්සුන්ට ඇත්තටම සමාව දෙන්න.

 

කලා සමහර දවසට මාළු එකට ලුණු වැඩියෙන් දාලා. සමහරදාට පරිප්පු එකට ලුණු දාලා නැහැ. මැල්ලුම් එකේ කපපු නැති මිරිස් කරලක් තියෙන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ගෙදර එහෙම වුණාම ඒක ලොකු කරලා ගෙදර ඇවිත් කියනවා. අම්මෝ ලුණු වැඩියි, කටේ තියන්න බැහැ. බල්ලෙකුට කන්න බැහැ කියලා. හැබැයි රසට උයන දවසට ඒකෙ හොඳ කියන්නෙත් නැහැ. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. අපිත් අපේ පැත්තෙන් වෙන වැරදීම් හදාගන්න ඕනේ. එකම වැරද්ද දෙතුන් සැරයක් වෙනකොට ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ඒක හිතාමතා කරන දෙයක්. වැරදීමක් වෙන්න පුළුවන් එකපාරයි නැත්නම් දෙපාරයි.

අපේ වැරද්දකදී ප්‍රතිචාර දක්වන විදිහ සෞම්‍ය නම්, "ඔයා අතින් මේ වැරද්ද වෙලා තිබුණා. ඊළඟ සැරේ නම් මේක කරන්න එපා" කියලා කියන්න පුළුවන්නේ. කෑගහලා, රණ්ඩු වෙලා, හිත බිඳගෙන කටයුතු කරද්දී ප්‍රතිචාරය දීපු කෙනා සහ ලබපු කෙනා දෙදෙනාම පීඩනයට පත් වෙනවා. ඒ නිසා වැරද්දක් වුණාම දරුවකුට වුණත් කියලා දෙන ක්‍රමයක් තියෙනවා. "අනේ පුතා මීට පස්සේ මේක කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙවෙයිනේ." කියලා ආදරයෙන් කියන්න. බස් එකේ හිටගෙන මහන්සි වෙලා එන ළමයට, "මොකද ඔච්චර පරක්කු" කියලා ඇඟට කඩාගෙන පැන්නට වැඩක් නැහැ. මොකද එයාට මහපාර පාලනය කරන්න බැහැ. ඒ නිසා දෙයක් කියන්න කලින් හිතලා බලන්න.

 

වර්තමාන කාන්තාව ගෙදර වැඩ විතරක් නෙවෙයි කරන්නේ. එයාට දරුවන්ගේ වැඩ, සැමියාගේ වැඩ කරන අතරතුර ආර්ථිකයටත් උර දෙන්න වෙනවා. එයාට අගය කිරීමක් ලැබෙන්න ඕනේ වගේම එයාගේ අතින් වැරදීම් වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. උදේට කලබලෙන්නේ උයන්නේ. එක ළමයෙක් අඬනවා. හොදිවලට ලුණු දැම්ම ද මතක නැහැ. එයා යන්තරයක් නෙවෙයිනේ. මනුස්සයෙක්නේ.

 

මිනිස්සු හැඟීම් හිර කරගෙන දුකෙන් කල්පනා කර කර ඉන්නවා. දුක, කාලයක් තිස්සේ දරාගෙන ඉඳලා විෂාදය වගේ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔබට වැරදි කරන මිනිස්සුන්ට සමාව දෙන්න, සමාව දෙන්න පුළුවන් ශක්තිමත් හිතක් තියෙන මිනිස්සුන්ට විතරයි. දුර්වල කෙනකුට තව කෙනෙක්ට සමාව දෙන්න බැහැ. ඒ වගේම අනෙක් කෙනාගේ අතින් වෙන වැරදි මගෙනුත් වෙන්න පුළුවන්. අනිත් කෙනා වැරදි කරද්දි ඒක නරකට දකින්නයි, තමන් වැරදි කරද්දි එක හොඳ විදිහට දකින්නයි බැහැ. කවුරු හරි කෙනෙක් තමන්ට හොඳක් කළාම ඒක ගලේ කෙටුවා වගේ මතක තියාගන්න. වැරදි කරපු මිනිස්සුන්ගේ වැරදි වැල්ලේ ලියන්න. වැල්ලේ ලිව්වම ඒවා මැකිලා යනවා. ඒ වගේ ඒ මිනිස්සුන්වත් හිතෙන් මකලා දාන්න. එතකොට අපේ ජීවිතයේ ගොඩාක් ඉහළට යන්න පුළුවන්. එතකොට දවස අවසානයේ අපිට සතුටින් නින්දට යන්න පුළුවන්.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව