කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතු බලශක්තිය

ජූලි 21, 2025

ඕනෑම නිවෙසකට බලශක්තිය යනු අත්‍යවශ්‍ය දෙයකි. අපේ නිවෙස්වල ප්‍රධානම බලශක්ති ප්‍රභවය වන්නේ විදුලියයි. මීට අමතරව ගෑස් සිලින්ඩරය, සූර්ය පැනල ආදියෙන්ද බලශක්තිය නිපදවෙයි.

අතීතයේ අපේ මුතුන්මිත්තන් ගත කළ ජීවන රටාවට අනුව නම් බලශක්තිය නිවෙසට එතරම්ම අත්‍යවශ්‍ය කාරණයක් නොවුණි. එහෙත් අද වන විට ඒ සියල්ල කණපිට හැරී ඇත. බලශක්තියෙන් තොර නිවෙසක් පිළිබඳ සිතා ගැනීමටවත් නොහැකිව තිබේ. එදා ගෘහිණිය මුළුතැන්ගෙයි කටයුතු සියල්ලම පාහේ කරගත්තේ දෑතේ ශක්තියෙනි. ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කළේ දරයි. දර භාවිතයෙන් ඉවුම් පිහුම් කටයුතු කරන නිවෙස් අදත් දැක ගන්නට තිබුණත් එය බොහෝ සෙයින් අඩුව තිබේ.

 

මුළුතැන්ගෙයි පටන් සෙසු කර්තව්‍යයන්වලදී විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගෙන තිබේ. නිවෙසේ සියලුම සාමාජිකයන් එදිනෙදා කටයුතු සඳහා මේවා භාවිත කරයි.

රටක් වශයෙන් ගත් කල රජයකට බලශක්තිය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට සිදුව තිබේ. විදුලි බලාගාරවලින්, ඉන්ධනවලින් විශාල විදුලිය ප්‍රමාණයක් ජනනය වේ. මෙම විදුලි පරිභෝජනය වෙනුවෙන් රජයට විශාල විදේශ විනිමයක් දරන්නට සිදුව තිබේ. විදුලිය අරපරිස්සමින් භාවිත කිරීම අපගේ පරම යුතුකමකි.

නිවෙසේ වැඩ පහසු කරන උපකරණ භාවිත කළ යුතුවේ. බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කල බලශක්ති කාර්යක්ෂමතාව ගෙන එන උපකරණ භාවිතය කෙරෙහි වැඩි ඉඩකඩක් තැබිය යුතුයි. එක් නිවෙසකින් කිලෝවොට් එකක බලශක්තිය කළමනාකරණය කළත් රටක් වශයෙන් ගත්විට මොනතරම් බලශක්තියක් කළමනාකරණය වේද?

බලශක්ති කාර්යක්ෂමතාව ගෙන එන උපකරණ භාවිතයෙන් රටකට මෙන්ම නිවෙසටද වාසි අත්පත් වේ. රටකට විදේශ විනිමය ඉතිරිවද්දී නිවෙසේ විදුලි බිලට දැනෙන වෙනසක් අත්පත්වේ.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය නි‍ෙවසේ භාවිත කරන ශීතකරණය, වායු සමීකරණ යන්ත්‍ර, විදුලි බල්බ ඇතුළු විවිධ විද්යුත් උපකරණ සඳහා බලශක්ති කාර්යක්ෂමතාව ඇතුළත් කළ ලේබලයක් හඳුන්වා දී තිබේ. අදාළ උපකරණය කොතරම් බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතුදැයි එහි සඳහන්වේ. විද්යුත් උපකරණ මිලදී ගනිද්දී එම ලේබලය ඇති උපකරණ මිලදී ගැනීම ඉදිරියේදී අත්‍යවශ්‍ය කාරණයක් වේවි.

උදාහරණයක් ලෙස සාමාන්‍ය බල්බයක් පරිහරණය කිරීමට වඩා LED බල්බයක් සාමාන්‍යයෙන් මිලෙන් වැඩි වුවත් එහිදී බලශක්ති කාර්යක්ෂමතාව නිසා විදුලි බිලේ අඩුවීමක් මෙන්ම බලශක්ති කළමනාකරණයක්ද සිදුවේ.

නිවෙස්වල අනවශ්‍ය ලෙස බලශක්තිය භාවිත වන්නේ නම් එය කළමනාකරණය කර ගැනීමට වග බලා ගත යුතුවේ. අනවශ්‍ය ලෙස, අනවශ්‍ය වේලාවන්හිදී බල්බ් දැමීම, ෆෑන් දැමීම ආදිය සිදුවේ නම් ඒවා කළමනාකරණය කරගැනීම නිවෙස තුළදීම කරගත යුතු දෙයකි. සූර්ය පැනල භාවිතය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම ද බලශක්ති කළමනාකරණය කර ගැනීමකි.

නිවෙසේදී බලශක්තිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම මුදල් ඉතිරි කර ගැනීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට උපකාරි වේ.

විදුලි උපකරණ කළමනාකරණය

උපාංග විසන්ධි කරන්න - භාවිතයේ නොමැති විට ඉලෙක්ට්‍රොනික උපකරණ (රූපවාහිනී, චාජර්, පරිගණක) ක්‍රියා විරහිත කර විසන්ධි කරන්න.

බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිතා කරන්න - ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත උපකරණ තෝරන්න.

ආලෝකකරණය

LED වලට මාරු වන්න - LED බල්බ තාපදීප්ත බල්බවලට වඩා සියයට 80ක් දක්වා අඩු ශක්තියක් භාවිත කරයි.

විදුලි පහන් නිවා දමන්න - කාමරයෙන් පිටවන විට සෑම විටම විදුලි පහන් නිවා දමන්න.

ස්වාභාවික ආලෝකය භාවිත කරන්න - කෘත්‍රිම විදුලි පහන් භාවිත කිරීම වෙනුවට දිවා කාලයේදී තිරරෙදි විවෘත කරන්න.

සිසිලනය සහ උණුසුම

විදුලිපංකා භාවිත කරන්න - Pedestal fan හෝ මේසය මත fan මෙන්ම Cevilian fan පවා වායුසමීකරණ යන්ත්‍රවලට වඩා බෙහෙවින් අඩු ශක්තියක් භාවිත කරයි.

වායුසමීකරණ යන්ත්‍රයේ උෂ්ණත්වය සකසන්න - වායුසමීකරණ යන්ත්‍රය 24–26°C (75–78°F) හි තබා ගන්න.

මුළුතැන්ගෙයි ඉඟි

*පිසීමේදී භාජන ආවරණය කරන්න - තාපය උගුලට හසු කර ආහාර වේගයෙන් පිසියි.

*මයික්‍රෝවේව්/ Pressure cooker ඥානවන්තව භාවිත කරන්න - උදුන්වලට වඩා උණුසුම සඳහා මයික්‍රෝවේව් අඩු ශක්තියක් භාවිත කරයි.

*ශීතකරණය අධික ලෙස පුරවන්න එපා - කාර්යක්ෂම සිසිලනය සඳහා වාතය සංසරණය විය යුතුය.

ඉදිරියේදී කාලය අනුව වෙනස්වන විදුලි බිලක් හඳුන්වාදීමට නියමිතය. ඒ අනුව විදුලිය වැඩිපුර වැය වන Peak hours වලදී එක් ඒකකයක් සඳහා වන මුදල වැඩිවන අන්දමිනුත්, වැඩිපුර වැය නොවන වෙලාවන්වලදී එක් ඒකකයක් සඳහා වැය වන මුදල අඩු අගයක් වන ලෙසත් විදුලි බිල සැකසෙනු ඇත. මෙයින් බලාපොරොත්තු වන්නේ බලශක්ති කළමනාකරණය කර ගැනීමකි. මේ සඳහා Smart meter එකක් සවි කෙරෙනු ඇත.

 

උපදෙස් :

ශ්‍රී ලංකා සුනිත්‍යය බලශක්ති අධිකාරියේ සභාපති

මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර