වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
හැඩ මවන්න උඩින් පිපෙන උඩවැඩියා කුමාරී
නෙත සිත පිනවන චමත්කාර ඕකිඩ් මලක් නෙළා ගන්නට නම් ඔබේ ඕකිඩ් ගස නීරෝගි සරුසාර ගසක් විය යුතුමයි.
හැබැයි සොඳුරු මලින් බරවන සාරවත් ගසක වර්ධනයට අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්ම ඇත. එබැවින් ඒ කරුණු කාරණා මොනවාදැයි අද අපි සොයා බලමු.
දේශගුණික සාධක
ශාකයක නීරෝගි පැවැත්මට, උසස් වර්ධනයට මෙන්ම ගුණාත්මක බවින් පිරිපුන් මල් ලබා ගැනීමට ප්රශස්ත දේශගුණික තත්ත්වයක් තිබිය යුතුවේ.
උෂ්ණත්වය
සාමාන්‍යයෙන් දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ත් 30ත් අතර පැවතිය යුතු අතර රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ට වඩා අඩු නොවිය යුතුය.
ආර්ද්‍රතාවය
අපි ආර්ද්‍රතාවය යනුවෙන් අදහස් කරන්නේ වායුගෝලයේ තිබිය යුතු ජල වාෂ්ප ප්‍රමාණයයි. මෙය 70 - 75ත් අතර ප්‍රමාණයක තිබිය යුතුයි.
සූර්යාලෝකය
සූර්යාලෝකය පිළිබඳ කතා කරන විට ඕකිඩ් ශාකයට ගැළපෙන්නේ උදෑසන පතිත වන සූර්යාලෝකයයි. සාමාන්‍යයෙන් උඩවැඩියා තවාන් සකසන විට ඒ සඳහා දවස පුරාම ඒකාකාරී සූර්යාලෝකයක් ලැබෙන ස්ථාන තෝරාගන්න. එමෙන්ම විවිධ උඩවැඩියා ප්‍රභේද අනුව ශාකය වෙත ලබාදිය යුතු ආලෝක ප්‍රතිශතයන් වෙනස් වේ.
ඕකිඩ් ප්‍රචාරණය
ඕකිඩ් ශාකයේ ව්‍යාප්තිය එහෙමත් නැතිනම් ප්‍රචාරණය කොටස් දෙකකට අපිට වර්ගීකරණය කළ හැකියි. ඒ බීජ මඟින් කළ හැකි ප්‍රචාරණය සහ වර්ධක ප්‍රචාරණය වශයෙනි.
බීජ මඟින් කළ හැකි ප්‍රචාරණය
ඕකිඩ් ශාක සාමාන්‍යයෙන් ප්‍රධාන පෝෂක සහිත බීජ නිෂ්පාදනය නොකරයි. එබැවින් ඕකිඩ් ශාක බීජ තවාන් කිරීමෙන් පැළ ලබාගත නොහැකිය. එලෙස පැළ ලබා ගැනීමට නම් ඒ සඳහා රසායනාගාර පහසුකම් අවශ්‍ය වේ.
වර්ධක ප්‍රචාරණය
මේ වර්ධක ප්‍රචාරණය ද කොටස් කිහිපයකට කළ හැකි වේවි.
1. අග්රස්ථ කොටස් මඟින්
බොහෝ ඒකපාදි වර්ධන විලාසයක් සහිත ඕකිඩ් ශාක අග්රස්ථ කඳ කැබලි මඟින් වර්ධක ප්‍රචාරණය කළ හැකිය.
2. බෙදීම මඟින්
බහුපාදීය වර්ධන විලාසය ගන්නා ශාක අංකුර 2, 3ක් සහිත කොටස් රයිසෝමයෙන් බෙදා වෙන් කර සිටුවිය හැකිය.
3. වායව අංකුර මඟින්
ඩෙන්ඩ්‍රෝබියම් වැනි ඕකිඩ් ප්රභේදයන්හි පැරණි ව්‍යාජ බල්බවල තියන කොටසින් ඇතිවන වායව අංකුර වෙන්කර සිටුවිය හැකිය.
4. ව්‍යාජ බල්බ මඟින්
ඇතැම් උඩවැඩියා ශාකවල ඇති පරිණත පත්‍ර රහිත ව්‍යාජ බල්බ ඉවත් කර වැලි මත තවන් කිරීමෙන් නව අංකුර ලබාගත හැකියි.[email protected]