පොඩ්ඩන්ටත් දැන් සීනි

පෙබරවාරි 6, 2023

 

අවුරුද්දේ සිට අවුරුදු 18 දක්වා දක්වා දියවැඩියාව සෑදීමට ජානමය වශයෙන් හැකියාවක් තිබුණත් එය සෑදෙන්නේ ඇතැමෙකුට පමණි. අප ජීවත්වන පරිසරයේ ඇති ආසාදනයක්, රසායනිකයක් හෝ එවැනි කවරම හෝ හේතුවක් නිසා දියවැඩියාව සෑදේ.

බෝ නොවන රෝග අපේ ජීවිතවලට කරන බලපෑම් එන්න එන්නම වැඩිවී තිබේ. ඒ සඳහා බාල මහලු භේදයකුත් නැති තරම්ය. දරුවන්ව බිල්ලක් කරගනිමින් ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරන්නට දියවැඩියාව හෙවත් රුධිරයේ සීනි මට්ටමට හැකි වී තිබීම සුළුකොට තැකිය නොහැකි කාරණයකි.

 

ළමයින්ට වැලඳෙන දියවැඩියාව වර්ග කිහිපයක් තිබේ. ඉපදී සති දෙක තුනේදී නිරීක්ෂණය කළ හැකි දියවැඩියා වර්ගයක් තිබේ. මෙය ඍජුවම ජානවල වෙනස්කම් නිසා සිදු වන්නකි. ඒ සඳහා බලපානුයේ කුමන ජානය දැයි සොයා ගැනීමට තරම් දැන් තාක්ෂණය දියුණු මට්ටමක පවතී. ඒ අනුව ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීම ඇරැඹේ. Neonatal Diabetes යනු ඒ තත්ත්වය යි.

ටයිප් 1 සහ ටයිප් 2 වර්ගයේ දියවැඩියාව වැඩිහිටියන් අතර මෙන්ම දරුවන් අතරද වැඩිපුර දක්නට ඇති තත්ත්වයකි. ටයිප් 1 යනු අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවීමේ අඩුපාඩුවක් නිසා සිදු වන්නකි. මෙහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සිරුරෙහි ඉන්සියුලින් නිපදවීමට විරුද්ධව ප්‍රතිදේහ සාදයි. එයත් ජානමය බලපෑමක් මත සිදු වන්නකි.

අවුරුද්දේ සිට අවුරුදු 18 දක්වා දක්වා දියවැඩියාව සෑදීමට ජානමය වශයෙන් හැකියාවක් තිබුණත් එය සෑදෙන්නේ ඇතමෙකුට පමණි. අප ජීවත්වන පරිසරයේ ඇති ආසාදනයක්, රසායනිකයක් හෝ එවැනි කවරම හෝ හේතුවක් නිසා දියවැඩියාව සෑදේ. ඊට විරුද්ධව සිරුරේ ප්‍රතිදේහ සාදයි.

මෙහිදී සෛල විනාශ වීමක් සිදු වන නිසා ඔවුන්ගේ ඉන්සියුලින් සෑදීම නතර වේ. පිටතින් ඉන්සියුලින් දීමට සිදුවේ.අවුරුදු 10ට අඩු දරුවන්ට මෙම වර්ගයේ දියවැඩියාව සෑදීමට ඉඩකඩ තිබේ. මේ ටයිප් 1 වර්ගයේ දියවැඩියාව බව සියයට අසූවකටත් වඩා විශ්වාස වේ. පළමු වර්ගයේ දියවැඩියාව වැළැක්වීමට නොහැකි වන අතර අවුරුදු විස්ස විසිපහ පසු වූවන්ට පළමු වර්ගයේ දියවැඩියාව දැක ගැනීමට අපහසුයි.

ටයිප් 2 දියවැඩියාවේදී ගෙල ප්‍රදේශය කළු වීම වහා දැකගත හැකි ලක්ෂණයකි.

එක හා සමාන රෝග ලක්ෂණ

මේ දෙවර්ගයේම රෝග ලක්ෂණ එක හා සමාන වේ.

* නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දැනීම

* පිපාසය දැනීම

* සිරුර කෙට්ටුවීම

මහතින් වැඩි අයගේ මේ තත්ත්වය හඳුනා ගැනීම අපහසුයි.ඇතැම් පිරිස් නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව හැඟුණු විට දී නිකමට මෙන් පරීක්ෂණයක් කරගනියි.

පළමු වර්ගයේ දියවැඩියාව ඇති අයගේ රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනා ගන්නට ලැබේ. නිදිමත ගතිය, අප්‍රාණික ගතිය, කොපමණ කෑවත් කුසගිනි ගතිය, සිරුරේ දුර්වල බව දැනේ.

වර්තමානයේ බොහෝ දෙනා දියවැඩියා රෝග ලක්ෂණ පිළිබඳ හොඳින්ම දැනුම්වත්ය. සංකූලතා ඒමට පෙර රෝග ලක්ෂණ ඔස්සේ පරීක්ෂණ සඳහා යොමුවේ. එසේ පරීක්ෂණ වෙත යොමුවීම නිර්ණයන් කරා යෑම පහසු කරවයි.

ඇතැම් මාපියන් තම දරුවා දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි පිළිගැනීමට මැළි වෙයි. මාපියන්ට එය දරාගත නොහැකි දෙයක් වීම ඊට හේතුවයි. කම්පනයට පත් කරවන කාරණයක් වුවත් එය පිළිනොගෙන, ප්‍රතිකාර නොගෙන, උපදෙස් පිළි නොපැද සිටිය නොහැකියි. එසේ වීමෙන් දැඩි සත්කාර ඒකකවලට පවා යොමු වූ දරුවන් සිටියි.

ප්‍රතිකාර නොගෙන සිටීමෙන් දරුවාගේ සිරුර ක්‍රමක්‍රමයෙන් දුර්වල වේ. සිරුරට අවශ්‍ය ශක්තිය සපයන්නේ සීනීය. දියවැඩියාව සෑදුණු විටමේ සීනි සෛල තුළට නොයයි.ඒ නිසා සෛල තුළට ග්ලුකෝස් ගෙන යන්නේ ඉන්සියුලින් ය.

එවිටයි ශරීරයට අවශ්‍ය ශක්තිය සැපයෙන්නේ. අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ගැනීමෙන් දියවැඩියාව හොඳින්ම පාලනය කළ හැකිවේ. සමබල, සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරු විය යුතුවේ.

බත් කෑමේදී බත් ගන්නා ප්‍රමාණය සහ එහි ඇති එළවළු ප්‍රමාණය කොතරම් ද යන්න වැදගත් වේ.බොහෝවිට දියවැඩියා රෝගීන් රතු බත් කන්නේ එහි කෙඳි ගතිය වැඩි නිසයි. සුදුබත් ටිකක් සමඟ එළවළු වැඩි ප්‍රමාණයක් කන්නේ නම් එය රතු බත් කෑවා හා සමානයි. කෑමෙහි ඇති ග්‍ලයිසනික් ඉන්ඩෙක්ස් යනු කෑමක් ගත්විට කොයිතරම් ඉක්මනින් ග්ලූකෝස් මට්ටම ඉහළ යන්නේ දැයි මැන බැලීමකි. කෑමෙහි කෙඳි ගතිය අඩු වූ විට ග්ලයිසනික් ඉන්ඩෙක්ස් අගය වැඩිවේ.

සීනි සහිත ආහාර හැකිතරම් අඩුකර පිෂ්ටය සහිත ආහාර ගත යුතුයි. සමබල මට්ටමට ප්‍රෝටීන සහ මේද ගත යුතුයි.

වඩාත් පැණි රස පලතුරු රුධිරයේ සීනි මට්ටම වැඩි කරයි. එවැනි පලතුරු ප්‍රධාන ආහාරය සමඟින්ම ගෙන ඉන්සියුලින් ගත යුතුයි. පැණි රස නැති පලතුරු ඕනෑම වේලාවක ගත හැකියි.

බිස්කට් කෑම හැකිතරම් අඩු කළ යුතුයි. ඇතැම් පිරිස් ක්‍රීම්ක්‍රැකර් බිස්කට් ඖෂධයක් යැයි සිතයි. ඕනෑම බිස්කට් වර්ගයක රසකාරක, වර්ණකාරක, කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගුවේ. බයිට් වර්ග, කෘත්‍රිම පැණි බීම වර්ග, බීම පැකට් ඈත්ම කළ යුතුයි.

 

පරීක්ෂණ

කුඩා දරුවන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන රුධිර පරීක්ෂාව කෑම ගෙන පැය දෙකකට පසු සිදු කරයි. සීනි පාලනය දැනගැනීමට මාස තුනක් ඇතුළත කෙසේ වී දැයි දැනගැනීමට HD1Va, fasting blood sugar කළ හැකියි. රෝග ලක්ෂණ ඇති අයට Random පරීක්ෂණය කළ හැකියි. ඕනෑම වෙලාවක ගන්නා රුධිර සාම්පලයක සීනි ප්‍රමාණය 140ට අඩු විය යුතුයි.140ට වඩා වැඩිවීම ගැටලුවකි. 200 ප්‍රමාණය රුධිරයේ සීනි මට්ටම ඉක්මවා යෑමකි. එය දියවැඩියා තත්ත්වයකි.

ඕනෑම වෙලාවක කරන රුධිර පරීක්ෂණයක 140 - 180 අතර පවතී නම් දියවැඩියා තත්ත්වයට ද ඉතා ආසන්න වේ. රුධිරයේ සීනි මට්ටම 75 - 100 අතර පැවතීම සාමාන්‍ය තත්ත්වයයි.

අන්තරාසර්ග රෝග පිළිබඳ ප්‍රධාන සායනය රිජ්වේ ආර්යා ළමා රෝහලේ හා මහනුවර යන රෝහල්වල ක්‍රියාත්මක වේ.මෙම සායනවල වාර්ෂිකව අලුත් රෝගීන් සියයක් පමණ ලියාපදිංචි වේ.

 

 උපදෙස්

ළමා අන්තරාසර්ග රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු