Heart Attack තරම්ම භයානක Heat Stroke

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
මාර්තු 18, 2024

මේ දිනවල අධික උණුසුමත් සමඟ කොයි කවුරුත් පාහේ ගතකරනුයේ නොසන්සුන් කාලපරිච්ඡේදයකි.

ඒ සමඟින් Heat stroke එකක් පිළිබඳ කතා කරයි. ඇත්තටම මොකක්ද මේ Heat stroke. දීර්ඝ වේලාවක් තාපයට නිරාවරණය වීමත් සමඟින් සිහි මද ගතියක් ඇතිවීම අනතුරුව ක්ලාන්ත වීම Heat stroke නම්වේ. සාමාන්‍යයෙන් අපේ ශරීර උෂ්ණත්වය පැවතිය යුත්තේ සෙල්සියස් අංශක 37.4 ටයි. එහි උපරිම අගය විය යුත්තේ සෙල්සියස් අංශක 39 කි. එම අගය සෙල්සියස් අංශක 40 ක් හෝ ඉන් එහා යෑම නිසැකවම heat stroke තත්ත්වයයි.

මොළයේ ඇති හයිපතැලමසය නම් වූ කොටස උෂ්ණත්වයට සංවේදීවන එකකි. ශරීර උෂ්ණත්වය පාලනය කරන්නේ එම කොටසෙනි. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 අගයේ වැඩි වේලාවක් පැවතුණහොත් අපේ සිරුර නමැති යාන්ත්‍රණය නවතී. මෙවැනි අවස්ථාවකදී කළ යුතු හොඳම ප්‍රථමාධාරය සිරුර සිසිල් කිරීමයි.

දීර්ඝ වේලාවක් තාපයට නිරාවරණය වීම වළක්වාගත යුතුමයි.මෙවැනි කාලගුණයකදී දහවල් කාලයේ අව්වේ සිටීම නුසුදුසු දෙයකි. දිගින් දිගටම තාපයට නිරාවරණය වන ක්‍රියාකාරකමක නියැළේ නම් ශරීරය සිසිල් කරන ක්‍රියාමාර්ග ගතයුතුයි. විජලනය වළක්වා ගැනීම මෙහිදී කළ යුතුම දෙයකි. ප්‍රමාණවත් තරම් ඇල් ජලය පානය කිරීම සුදුසු වේ. මීට අමතරව තැඹිලි, කුරුම්බා, ජීවනී වතුර පානය කිරීම විජලනය වළක්වා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයකි.

යම් හෙයකින් ක්ලාන්තය හැදී ඇද වැටුණොත් ශරීරය සිසිල් කළ යුතු වේ. මේ සඳහා ඇල් ජලය වඩාත් සුදුසු වේ.

අධික උණුසුමත් සමගින් සිරුරේ ලවණ සහ ජලය ඉවත් වන්නේ නොදැනුවත්වමයි. ශරීර උෂ්ණත්වය ඉහළ යන මැරතන් වැනි ක්‍රීඩාවල යෙදීමෙන් ශරීර උෂ්ණත්වය බලා සිටියදී ඉහළ යයි. මේ අයට Heat stroke තත්ත්වය ඇති වීමට ඉඩකඩ වැඩියි. එවැනි අවස්ථාවකදී සිරුර ජලයෙන් සිසිල් කිරීම, ෆෑන් එකක්, වායු සමීකරණ යන්ත්‍රයක් ඇති තැනකට ගෙන යන්න. මොවුන් හැකි තරම් ජලය, ජීවනී වතුර, තැඹිලි, කුරුම්බා පානය කළ යුතුයි.

පෙර පාසල්, පාසල් යන දරුවාට වැඩිපුර වතුර බෝතලයක් යැවීමට වගබලා ගන්න. සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය ලැබී ඇත්දැයි දැනගත හැකි වන්නේ මුත්‍රා පහ කරන වාර ගණන සහ මුත්‍රාවල පැහැය අනුවයි. මුත්‍රා පහ කරන වාර ගණන අඩු නම්, පිටවන මුත්‍රා තද පැහැති නම් ඉන් හැඟෙන්නේ වතුර නිසි ලෙස පෙවී නොමැති බවයි.

පරිසර උෂ්ණත්වය ඉහළ යාමත් සමඟින් කුඩාම දරුවන්ට කුෂ්ඨ මෙන් දහඩියේ බිබිළි හට ගැනීමට පුළුවනි. ඒ සඳහා කළ යුත්තේ දරුවාව දිනකට කිහිප වතාවක් ඇල් ජලයෙන් සේදීම සහ තෙත රෙදි කැබැල්ලකින් පිස දැමීමයි.

මුත්‍රා ආසාදන, වකුගඩු ආසාදන මේ කාලයේ වැඩි වශයෙන් වාර්තා වෙයි. ඒ වතුර අඩුවෙන් පානය කරන නිසයි. එසේම හෘද රෝග, ස්වසන රෝග ඇති අයටත් බලපෑම් ඇති විය හැකි බැවින් ඒ අයත් දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි.

දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස කාලයෙන් කාලයට විවිධ මුහුණුවරයන්ගෙන් එයි.

උණුසුම් කාලගුණයක් ඇතිවිට සිසිලට ඇල්මක් දැක්වීම අරුමයක් නොවේ.

උෂ්ණාධික බවින් මිදෙන්නට යම් යම් දෑ කළ හැකියි.

හැකිතරම් ජලය පානය කරන්න

උණුසුම් කාලගුණය තුළ ඔබ වැඩිපුර ජලය පානය කරන බවට වග බලා ගැනීම වැදගත් වේ.

එහෙත් ඔබ තේ සහ කෝපි ඇතුළු කැෆේන් අඩංගු බීමවලින් වැළකී සිටිය යුතුයි.

දවස පුරා දහඩිය දමන විට, විජලනය වළක්වා ගැනීම සඳහා ඔබට අහිමිවන දියර නැවත සිරුරට ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

විජලනය වීමේ රෝග ලක්ෂණ ඇති විට

* වියළි මුඛයක්

* කරකැවිල්ල හෝ ව්‍යාකූල බවක්

* හිසරදය

ප්‍රතිකාර නොකළහොත් විජලනය වැඩි වී පුද්ගලයාගේ තත්ත්වය නරක අතට හැරේ නම් වහාම රෝහලක් වෙත යා යුතුවේ.

දවසේ උණුසුම්ම වේලාවන්හිදී පිටතට යාමෙන් හැකිතාක් වැළකී සිටීම වඩාත් සුදුසුය.

සෘජුවම හිරු එළියේ සිටී නම්

* හිරු ආවරණ පැලඳීම

* තොප්පියක්, කුඩයක් භාවිත කිරීම

* විශේෂයෙන්ම දහවල් කාලයේ කළු පැහැති ඇඳුම් ඇඳීමෙන් වළකින්න. ළා පාට, ලිහිල් ඇඳුම් ඇඳීම ද ඔබට සිසිල්ව සිටීමට උපකාරී වේ.

ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම හරහා තාපය පිටවේ. ඒ නිසා, සම සිසිල් කළ හැකි තරමට, වඩා හොඳය.

උණුසුම් කාලගුණය තුළ ඔබේ සම සිසිල් කිරීම සඳහා විවිධ ක්‍රම තිබේ.

කුඩා දරුවන්ව නිරතුරුවම තෙත් කරන්න. දුව පැන ඇවිදින වයසේ දරුවන්ට හැකිතරම් ජලය බීමට දෙන්න.

ඔබේ දෑත් සහ පාද සීතල වතුරට දැමීමෙන් ඉක්මනින් සිසිල් විය හැකියි. එහිදී මැණික් කටුවෙහි සහ වළලු කරෙහි සමට සමීපව ඇති රුධිර වාහිනී රාශියක් ඇති බැවින් ඔබ ඉක්මනින් සිසිල් වනු ඇත. ශාරීරික ක්‍රියාකාරකම් සවස් කාලයට සීමා කරන්න.

උණුසුම් කාලගුණය හැකිතාක් ඔබේ දින චර්යාවට බාධාවක් කරනොගන්න. දහවල් හිරු රශ්මියේ ව්‍යායාම කිරීම අනතුරුදායක විය හැකි අතර විජලනය, තාප විඩාව, හෝ තාප ආඝාතය වැනි අවදානම් සඳහා ලක් විය හැකියි.

ඔබේ දවස සැලසුම් කිරීමේදී උෂ්ණත්වය සැලකිල්ලට ගන්න. ව්‍යායාම කිරීමට හෝ ක්‍රීඩා කිරීමට තීරණය කරන්නේ නම්, ශරීරයට අමතර ආතතියක් ඇති නොවන බවට වග බලා ගැනීම සඳහා වැඩිපුර ජලය පානය කිරීමට සහ වෙනදාට වඩා වැඩි විවේකයක් ගැනීමට වග බලා ගන්න.

ව්‍යායාම කිරීමෙන් පසු සිසිල් වීමට ඔබ ඇල් ජලය ස්නානය කිරීමට වග බළාගත යුතුවේ.

ඔබේ නිවෙස සිසිල්ව තබා ගන්න

උණුසුම් කාලගුණය තුළ, ඔබේ නිවෙස සිසිල් ස්ථානයක් බවට පත් කිරීම වැදගත් වේ. හැකිතරම් ජනෙල් කවුළු විවෘත කොට තබන්න. සැහැල්ලු තිරරෙදි යොදා තිබීම වැදගත්.

සෙම, පීනස ගතියක් නොමැති නම් නින්දට පෙර ඇඟ සෝදා නිදා ගන්න. හොඳ නින්දක් පහසුවෙන්ම ළඟා කරගත හැකියි. රාත්‍රියේදී ඔබේ නිවෙස සිසිල්ව තබා ගැනීම විශේෂයෙන් වැදගත් වේ.මේ සඳහා ෆෑන්, වායු සමීකරණ යන්ත්‍රයක පිහිට පතන්නට වේවි.

දහඩිය දැමීම හරහා ශරීරයට අතිරික්ත ජලය, ලුණු සහ සීනි නැති වූ විට පුදුමාකාර විඩාවක් ඇති වේ. අධික ලෙස දියර පානය කිරීම, හිරු එළියෙන් ආරක්ෂා වීම ඊට විසඳුමයි.

ශරීරයේ උෂ්ණත්වය භයානක ලෙස ඉහළ යන විට සහ ශරීරයට තවදුරටත් සිසිල් වීමට නොහැකි වූ විට තාප ආඝාතය සිදු වේ. එවිට ව්‍යාකූලත්වය, හිසරදය, ඔක්කාරය සහ මාංශ පේශි කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති වේ.

තවත් රෝග ලක්ෂණයක් වන්නේ සම සාමාන්‍යය ස්වභාවයට වඩා සුදුමැලි වීමයි. අත්ල, නිය, ඇස්, විදුරුමස් සහ දිව මත මෙම වර්ණය වෙනස් වීම පහසුවෙන් දැකිය හැකියි.

 

උපදෙස්: 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 
පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය 
ආහාර සහ සංරක්ෂණ පිළිබඳ  
නියෝජ්‍ය  අධ්‍යක්ෂ
විශේෂඥ වෛද්‍ය 
ආනන්ද ජයලාල්