වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ළමා හිංසනයට එරෙහි නීති දැනගන්න
ළමා හිංසනයට එරෙහිව දැන් ලෝකයේ බොහෝ රටවල් හඬනඟමින් සිටිනවා. ලෝක ළමා අයිතිවාසිකම් පිළිබඳ කතා කෙරෙන ලෝක ළමා ප්රඥප්තියට අත්සන් තැබූ රටක් ලෙස අපේ රටත් දැන් ළමයින්ගේ අයිතිවාසිකම් ගැන උනන්දු වෙනවා.
ළමයින්ට සිදුවන හිංසනවලට එරෙහිව හඬ නඟන්නට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවලට අමතරව සේව් ද චිල්ඩ්රන්, යුනිසෙෆ් හා ළමා හිංසනයට තිත වැනි සංවිධානත් බිහි වී තිබෙනවා. කවර සංවිධානයක වුවත් මැදිහත් වීමක් අවශ්‍යවන්නේ දරුවකුට අකටයුත්තක්, හිංසනයක් හෝ අතවරයක් සිදු වුණාට පසුවයි. එවැනි අවාසනාවන්ත ඉරණමකට දරුවන් ගොදුරුවන්නට පෙර තම දරුවා මෙන්ම සෙසු දරුවන් ද රැක බලා ගැනීම මාපිය, ගුරුවර, වැඩිහිටියන්ගේ වගකීම සහ යුතුකමයි.
භින්න පෙරුෂයෙන් යුත් දරුවන්
තමන්ගේම නිවෙසේදී අම්මා, තාත්තා හෝ වෙනත් වැඩිහිටි ඥාතියකුගේ හිරිහැරයට, සැරවැර කිරීම්වලට ලක්වීමට දඬුවම් විඳීමට හෝ පහත්කොට සලකනු ලැබීමට ලක්වීමට සිදුවීමෙන් දරුවකුට ඇතිවන හිංසාව දැඩි මානසික පීඩාවක්. මේ පීඩාව දිගින් දිගටම දරාගෙන සිටින දරුවන් මානසික අවපීඩනයට හා බුද්ධි වර්ධනයේ හීනතාවලට ලක්වෙනවා. එය අනාගතයේදී භින්න පෞරුෂයක් ඇතිවීමට හේතුවන බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. කායික දඬුවම් නොවුණත් ඉහත ආකාරයේ මානසික දඬුවම් දීමත් ළමා අයිතිවාසිකම්වලට ගරුකරන ලෝකයේ වෙනත් රටවල නම් දඬුවම් ලැබිය හැකි වරදක්. දරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමේ වරදට වගකිවයුතු අපේ රටේ ඇතැම් මවුපියන්, ගුරුවරුන් හෝ වැඩිහිටියන් ඒ සඳහා කිසිදු දඬුවමක් නොලබා බේරෙන්නේ නීතිය හා සදාචාරය ගැන හරියට නොදන්නා නිසයි. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ පවතින සුළු සුළු අඩුපාඩුකම් නිසා බොහෝ විට දඬුවම් ලැබිය යුතු පුද්ගලයන් පහසුවෙන්ම නීතියේ රැහැනින් මිදෙනවා.
“ලංකාවේ මෙතෙක් සිදුකර ඇති සමීක්ෂණවලට අනුව අපේ රටේ ළමයින්ගෙන් 41% ක් ශාරීරික හිිංසනයට ලක්වී තිබෙනවා. ඒ අතරින් 75% ක් ශාරීරික හිංසනයට ලක්වූවන්. මානසික වශයෙන් ළමයින්ගෙන් 90%ක් ම හිංසනයට ලක්ව තිබෙනවා. ගැහැනු ළමයින්ගෙන් 18%ක් හිංසනයට ලක්වී සිටිනවා. 2013 වසරේදී කෙයාර් ආයතනය මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ පිරිමි ළමයින්ගෙන් 27% ක්ම ලිංගික හිංසනයට ලක්වෙන බව සොයාගනු ලැබුවා. පිරිමි ළමයි ලිංගික හිංසනයට ලක්වන රටවල් අතරින් එම සමීක්ෂණයේදී මුල් තැන හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
මෙරට පාසල් දරුවන් අතරින් පිරිමි ළමයින්ගෙන් 38%ක් ශාරීරික දණ්ඩනයට ලක්වී තිබෙනවා. ඒ අතරින් 50%ක්ම පාසලේදී දඬුවමට ලක්වූවන්. සම වයසේ ළමයින් හෝ යහළුවන් ගෙන් දඬුවම් ලැබූ ළමයි සංඛ්‍යාවත් කැපී පෙනුණා. ඒ අතරින් 36% ක්ම තමන්ගේ නිවෙසේදීම හිංසනයට ලක්වූවන්. මානසික හිංසනයට ලක්වූ ළමයින් 44%ක්. මේ අනුව පෙනී යන්නේ අපේ රට ළමා හිංසනය අතින් කොතරම් දරුණු තත්ත්වයක පවතිනවාද යන්නයි. මෙලෙස ළමා වියේදී හිංසනයට ලක්වන පිරිමි ළමයින්ගෙන් වැඩිදෙනකු වැඩිහිටියන් වූ කල ප්‍රචණ්ඩත්වයට නැඹුරු වන බව සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා. ගැහැනු දරුවන් දැඩි ලෙස මානසික අවපීඩනයට ලක්වෙනවා. ගැහැනු, පිරිමි කවර ළමයකු වුවත් සමාජය කෙරෙහි ද්වේෂසහගත වැඩිහිටියන් බවට පත්වීමේ හැකියාව ඉහළයි. ඇතැම් විට මානසික පීඩනය දරාගන්න බැරිවූවන් දිවි නසාගන්නට පවා පෙළඹෙනවා යැයි ශාන්ති මාගම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කමනි ජිනදාස පවසනවා.
නීතිය නොදැන සිටීම බාධාවක්
2018 වසරේ යුනිසෙෆ් ආයතනය මඟින් ළමයින්ට එරෙහි හිංසනය පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් හෙළිවී තිබෙන්නේ අපේ රටේ පවතින දණ්ඩ නීති සංග්‍රහය අනාදිමත් කාලයක පටන් තවමත් අවශ්‍ය ආකාරයට වෙනස් නොවීම ළමා හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල බාධකයක්ව පවතින බවයි. ශ්‍රී ලංකාවේ ළමයින්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන “ළමා හිංසනයට තිත” සංවිධානය මඟින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මේ බව අනාවරණය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනී, නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මියයි. ඒ මහත්මිය පවසන්නේ අපේ රටේ ළමයින්ට ගහන්නට පුළුවන් බව සමාජයට ඒත්තු යන්නේ 1883 පනවන ලද දණ්ඩ නීති සංග්‍රහයට අනුව බවයි. ඒ අනුව වරදට කසෙන් තැලීම හෝ වේවැලෙන් තැලීම දඬුවමක් වශයෙන් හඳුන්වා දී තිබෙනවා. ළමයකු විසින් කරන ලද වරදකට වුවත් කල වයස නොබලා අතින්, පයින්, වේවැලෙන් හෝ දඬු මුගුරුවලින් තලා නැවත එම වරද කිරීමෙන් එම ළමයා මුදවා ගැනීමේ ‘සද්’ චේතනාවෙන් ළමයාට දඬුවම් කිරීමේ කිසිදු වරදක් නැත” යන වැරැදි අදහස සමාජයේ මුල් බැසගන්නට ඉහත කී නීතිය උපකාර වී තිබෙනවා. මේ නීතියට මුවා වී ප්රකෝපකාරී ගුරු දෙගුරුන්ගේ මෙන්ම දරුවන්ට දඬුවම් දී සතුටු වීමට රිසි පරපීඩක වැඩිහිටියන්ගේත් සිතැඟි ඉටුකරගන්නට කදිම අවස්ථාවක් උදාවී තිබෙනවා.
2019/02/13 තරුණි බලන්න.