වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුවාගේ පුංචි ම වෙනසකින් රෝගයක් ඇතිදැයි හඳුනා ගනිමු
දුව පැන ඇවිදින වයස තෙක් කිරිකැටි දරුවෙක් ලොකු කරගන්න එකත් ලෙහෙසි නැහැ. විශේෂයෙන් ම කුලුඳුල් අම්මෙකුට අත්දැකීම් නැති නිසා දරුවාගේ පුංචි ම වෙනසක දී වුවත් කලබල වෙනවා. හිරණ්‍යාත් සේමිතත් මේ අත්දැකීම්වලට මුහුණ නොදුන්නේ ම නෙවෙයි.
කුඩා දරුවකු ඉපදුණු පසු ඇතිවන රෝගත් වැඩිහිටි අපට ඇතිවන රෝගත් අතර වෙනසක් පවතී. ඒ දරුවාට තමා මුහුණදෙන අපහසුතාවන් විස්තර කළ නොහැකි වීමයි. පුංචි බබෙක් මේ බව පෙන්වන්නේ ඇඬීමෙන් පමණමයි.
දරුවකු ඇඬූ පමණින් වෛද්‍යවරයකු කරා ගෙන යෑමත් අනුවණකමකි. එය එක්තරා ලෙසද මුදල් අපතේ යැවීමක් විය හැකියි.
හිසේ ඇතිවන රස්නය
දරුවාගේ හිසේ ඇතිවන රස්නය බොහෝදුරට උණ යැයි අප සිතුවත් එය එසේ නොවීමට පුළුවන. විශේෂයෙන් ම දත් මෝදුවන වයසේ දී බබාගේ හිස කොහොමත් තද රස්නේ ගතියක් පෙන්වයි. එය ඉතා ම ස්වභාවික දෙයකි. ඒවන විට දරුවා තනපුඩුව හැපීම, කොට්ටයේ කෙලවර හැපීම තදින් ම කරයි. එවිට තම අත් හොඳින් සෝදා පිරිසුදු පුළුන් කැබැල්ලක් වතුරින් තෙමා දත මෝද වීගෙන එන තැන තරමක් තදින් පිරිමදින්න. නැත්නම් රබර් ටීතර් එකක් හපන්න දෙන්න.
බබාගේ උණ පරීක්ෂාව නිවැරැදි ව කිරීමටත් දෙමාපියන්ට අවබෝධය තිබිය යුතුයි. මේ සඳහා තෝරා ගත යුතුවන්නේ බබාගේ සිරුරේ සංවේදී ස්ථානයි. කිහිලි යට, ඉකිලි යට උණ කටුව තබන්න. දැන් ඉලෙක්ට්‍රොනික් උණ කටු සුලබව අඩුමිලට ලබාගත හැකියි.
උණකටුව ශරීරයේ තබා එහි ඇති බොත්තම එක්වරක් ඔබන්න. උණකටුව පණ ගන්වා ටික වේලාවකින් කුඩා ශබ්ද දෙකක් එකවර ඇසේ. එවිට උණ පරීක්ෂා කිරීම අරඹන්න. ෆැරන්හයිට් අංශක 98.4ට වඩා ඇත්නම් වෙළෙඳපොළේ ඇති පැරසිටමෝල් වර්ගයේ ඖෂධයක් දරුවාගේ වයස හා බර අනුව ලබා දෙන්න. එය පැය 6න් 6ට හෝ 8න් 8ට දීමෙන් වළකින්න. මන්ද උණට දෙන ඖෂධ දිය යුත්තේ උණ නැග ඒ නම් පමණි. කොළයක හෝ පොතක උණ ප්‍රමාණය හා බැලූ වේලාව සටහන් කරගන්න. පසුව යළිත් උණ එන කාල පරාසය පිළිබඳ නිර්ණය කරන්න. පැය 6කට, 7කට පසු උණ නැගේ නම් පවුලේ වෛද්‍යවරයා හමුවන්න. දුවෙක් නම් මුත්‍රා කරන ප්‍රමාණය, මුතා කරද්දී අඬයි ද යන්න පිළිබඳ සැලකිලිමත් වන්න. බබා අඬන විට උගුර බැරැන්ඩි වී ඇති ශබ්දයක් ඇසේ ද? එය රතුවී ඇත්ද? ඉදිමී ඇත්දැයි හොඳින් බලන්න. දින කිහිපයක් උණ පැවතියේ නම් මුත්‍රා වාර්තාවක් (Urine full report) ද රැගෙන යන්න. මෙය වෛද්‍යවරයාට රෝග නිර්ණයට පහසුවක් වේවි.
උගුරේ ශබ්ද
බොහෝ දරුවන්ගේ උගුරේ ගොරගොර ශබ්ද ඇසිය හැකිය. මෙහිදී මුලින්ම ඔබට සිතෙන්නේ බබාට සෑහෙන සෙම ඇති බවයි. කලබල වන්නට එපා. එය ස්වභාවික තත්ත්වයක් විය හැකියි. දරුවාගේ ස්වාසනාල ඉතා සිහින් ය. එහි ඇති ශ්ලේෂ්මල පටලය ඉදිමී ගොර ගොර ශබ්දයක් ඒමට පුළුවන. මෙය මාස 3, 4, 5 වනවිට ක්‍රමයෙන් මගහැරී යයි.
ඇසෙන් කඳුළු ඒම
තනි ඇසකින් කඳුළු ඒම බොහෝ දරුවන් කෙරෙන් දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයති. ඇසේ සිට නාසය දක්වා ඇති කඳුළු ඒමේ ග්‍රන්ථියේ ඇති කුඩා ශ්ලේෂ්මල නැතහොත් සෙම බැඳීම නිසා එක ඇසකින් පමණක් කඳුළු ඒමත් සිදුවේ. එය ද ටික කලකින් හරියාවි.
ඇසක් ආසාදනය වී ඇත්නම් එනම් ඇස රතුවී, ඉදිමී, කබ ගලයි නම් වෛද්‍යවරයා හමුවන්නට වේවි. සමහරවිට බබාගේ ම නියපොත්තක් ඇසේ වැදී කඳුළු ඒමට පුළුවන. ඇස රතුවන්නට පුළුවන. මේ නිසා වෛද්‍යවරයා වෙත යෑමට කලින් ඇසේ නියපොතු පාරක් ඇත්දැයි හොඳින් නිරීක්ෂණය කරන්න. බබා ඇස පොඩිකරයි නම් ඒ ඇස දෙස සැලකිල්ලෙන් බලන්න. මේ සියල්ල වෛද්‍යවරයා හමුවේ පවසන්න. මව දෙන පිළිතුරු බබාට ප්‍රතිකාර නියම කිරීමට පහසු මඟක් වේවි.
දරුවා වෛද්‍යවරයෙක් ළඟට ගෙනයද්දී හැකි තරම් මව යෑමට වගබලා ගන්න. මව කාර්යාලයට යයි නම් දරුවාගේ ආච්චි අම්මලා හෝ සැමියා ඒ සඳහා යොමු කරනු විනා පිට අය අත දරුවා යවන්න එපා. රෝග ලක්ෂණ කිව නොහැකි අය අත දරුවා යැවීම දරුවාට කරන ලොකුම අයහපතකි.
දරුවාගේ ඉක්කාව
දරුපැටියා නිතර ඉක්කා ගැසීම අතිශය සාමාන්‍ය දෙයකි. නියමාකාරයෙන් ගුඩුස් නොයෑම ද මෙයට හේතුවකි. බිය නොවන්න. වෙනත් ඖෂධ වර්ග හෝ වතුර පෙවීමෙන් වළකින්න. වතුර පෙවීම වෙනුවට කිරි දීමට හැකිනම් වඩාත් සුදුසු යි. කිරිවලත් සියයට 96ක්ම ඇත්තේ වතුරයි.
දරුවා නෑවීම
අලුත් උපන් දරුවා දිනක් හැර දිනක් නෑවීම ඉතාම හොඳයි. දවල් 10 - 12ත් අතර මඳ උණුසුම් වතුරින් නාවන්න. වෙනිවැල්ගැට කැබැල්ලක් වතුරට දමා තම්බා නෑවීම ඉතා හොඳයි. සෙම ගතියක් ඇත්නම් නෑවීම පිළිබඳ කල්පනාකාරී වන්න.
අප රට ඝර්ම කලාපීය රටක් නිසා වැඩි වේලාවක් වතුරේ බස්සවා නෑවීම ඉතා ගුණදායකයි. ළදරු සබන්, ලෝෂන් ආදිය මේ සඳහා එක් කළ හැකියි. නාවා පිසදා ෆෑන් එකක් නොදමා සැහැල්ලු ඇඳුමක් අන්දවා කිරි දී නිදි කරවන්න. දරුවා සුව සේ නිදා ගැනීමත් සුරංගනා සිහින ලෝකයක සිට අවදි වී මව සමඟ සතුටින් සිනාසෙනු ඇත.
උපදෙස්
ආයුර්වේද විශාරද පණ්ඩිත
විශේෂඥ වෛද්‍ය
මානව උපදේශක වෛද්‍ය
සුදත් ගුණතිලක