වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බලාගත් අත බලා ඉන්න දරුවන් දිහා බලාගෙන ඉන්න එපා !!!
දරුවන්ට වෙනමම ලෝකයක් ඇතැයි සිතන තරමටම ඔවුන්ට ඇත්තේ අපූර්ව ලෝකයකි. දේදුන්නෙ පාට සොරාගෙන අත්තටු සලමින් පියාඹන සමනලුන් පස්සේ දුවන ඒ සමනල පැටවුන්ව අත ඇරෙන තත්පරේට කෑගසමින් සිනාසෙන දරුවන්ට ඇත්තේ පුදුම දරා ගැනීමකි. එසේම මඩ කඩිත්තක සිටින ඩිංඟන් ජෑම් බෝතලයක දමා ගෙම්බෙක් වන තෙක් බලා සිටින්නට තරම් ඔවුන්ට ඇත්තේ පුදුම ඉවසීමකි. එකී දරුවන්ගේ ලෝකය විටෙක විසිතුරුය.විටෙක කලබලකාරීය .තවත් විටෙක කුතුහලෙන් පිරී ඉතිරී ගොස් ඇත.නමුත් ඇතැම් දරුවන් එකී බහුතරයෙන් වෙනස් වනවිට එය කායික මානසික හෝ සමාජීය අඩුපාඩුවක් පෙන්වන කැඩපතට සමානව ක්‍රියාකරයි.
බලා ගත් අත බලා සිටීමද එසේ අප සුලභව නොදකින දුලබව දකින තත්ත්වයකි.නමුත් අතීතයට සාපේක්ෂව වර්තමානය එකී තත්ත්වය බහුලව දැකගත හැකි නිසා ඒ පිළිබඳව යම් අවබෝධයක් තිබීම වඩාත් වැදගත්ය.
දරුවන් ස්වභාවයෙන්ම ක්‍රියාශීලීය. ඒ නිසා ඔවුන් මාපියන් සමග වගේම හිතමිත්‍රාදීන් සමඟ තම වයස් සීමාවට අනුකූලව සන්නිවේදනය කරයි. ඒ වගේම ඔවුන් පරිසරය සමඟද ප්‍රතිචාර දක්වයි. මෙකී සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වන දරුවන්ව පහසුවෙන් හදුනාගත හැක්කේ ඔවුන් තුළින් ප්‍රතිචාර නොදැක්වීම, ප්‍රතිචාර දැක්වීමට පමාවීම දැකගත හැකි නිසයි. යම් දරුවෙකු කිසිම විටෙක ප්‍රතිචාර නොදැක්වීම හා යම් අවස්ථාවකින් පසුව ප්‍රතිචාර නොදැක්වීම යන කරුණු මත දෙ කොට්ඨාශයකට බෙදිය හැකිය. යම් දරුවකු දීර්ඝ කාලීනව ප්‍රතිචාර නොදක්වනවානම් එය මානසික රෝගයකට රතු එළි දැල් වීමක් බව මාපියන් වටහා ගැනීම වඩාත් වැදගත්ය.
ඔටිසම් රෝගී තත්ත්වයෙන් යම් දරුවකු පෙළෙනවා නම් ඔවුන් අන් අයට දක්වන ප්‍රතිචාර අඩු වෙයි. මෙම තත්ත්වය ළදරු අවධියේ දී හඳුනාගත හැකිය. එවැනි දරුවන්ගේ ප්‍රතිචාර දැක්වීම අඩුවීම, ක්‍රියාශීලී නොවීම, කතාකිරීම අඩුවීම, අන් අයගේ මුහුණ දෙස බලා ප්‍රතිචාර නොදැක්වීම, ඇස් ගැටීම අඩු වීම ආදී ලක්ෂණ දැකගත හැකිය.ඔවුන් බොහෝවිට ගනුදෙනු කරන්නේ ඔවුන්ගේම ලෝකයකයි.ඒ නිසා ඔවුන් බාහිර සමාජය වගේම සමවයස් දරුවන් සමඟ සබඳතා පවත්වන්නේ නැත.ඒ වගේම එම දරුවන් කුමන පරිසරයක සිටියත් ඔවුන් තුළින් මුහුණේ ඉරියව් කිසිවිටෙක දිස් වන්නේ නැත.
එසේ එම දරුවන් එකම ඉරියව්වකින් එනම් බුම්මාගෙන සිටියත් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ අසාමාන්‍ය ලක්ෂණ දැක ගැනීමට පුළුවන. උදාහරණයක් ලෙස එක දිගට අප්පුඩි ගැසීම, අත වැනීම, පරිසරයේ සුළු වෙනසකට කලබලවීම, කෑ ගැසීම ආදී ලක්ෂණ ද ඔවුන් තුළින් ඇතැම් විටෙක දිස්වේ.මෙම දරුවන්ට තමා අවට සිටින අයගෙ සන්නිවේදනය තේරුම් ගැනීමට අපහසු වෙයි .ඒ වාගේම කතා කිරීමට ප්‍රමාද වීම, විනෝදාංශයක් නොමැතිවීම, එකම සෙල්ලම් බඩුවකට පමණක් ප්‍රිය කිරීම වැනි ලක්ෂණ මෙම දරුවන් තුළින් දැක ගැනීමට පුළුවන. ඒ වගේම මෙම දරුවන්ගේ බුද්ධි මට්මෙහි අඩුවක්ද තිබිය හැකිය. මෙම ගති ලක්ෂණ යම් දරුවකු තුළින් දිගින් දිගටම දිස්වේ නම් ඔහුව හෝ ඇයව වෛද්‍ය අභ්‍යාස ක්‍රම වලට යොමු කර මෙම තත්ත්වය අවම කර ගැනීමට හැකියාවක් පවතියි.
යම් දරුවෙක් සාමාන්‍ය ලෙස හැසිරීම් රටාවක් තිබී යම් හේතුවක් නිසා එකී තත්ත්වය වෙනස් වී කෙටි කාලයක් තුළ බුම්මාගෙන, කොන්වී සිටින අවස්ථා මාපියන්ට නිරීක්ෂණය කළ හැකියි. එකී තත්ත්වයටත් හේතු රාශියක් තිබිය හැකියි.
දරුවාට යම් කරදරයක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ විටත් ඔහු හෝ ඇය අහක බලාගෙන, බලාගත් අත බලා සිටියි. නිෙවසෙහි සිටින හිතෛෂී කෙනකුට අසනීපයක් වෙන්වීමක් සිදුවුවහොත් දරුවාට ඇතිවන දුක, වේදනාව ඔහු හෝ ඇය පිටකරන්නේ කතා නොකර බුම්මාගෙන සිටිමෙනුයි. ඇතැම් විට දරුවාට කිව නොහැකි ගැටලු පාසලේ දී හෝ නිෙවසට බාහිරව ඇති වූ විට මෙවැනි ලක්ෂණ දරුවා තුළින් දැකිය හැකිය. ගුරුවරුන්ගේ සැර පරුෂ භාවය නිසා පීඩාවට පත්වීම, සමවයස් දරුවන්ගේ අඩත්තේට්ටම්වලට ගොදුරු වීම වැනි තත්ත්වයන්වලදී ඇතැම් දරුවන්ට එය වචනයෙන් කිව නොහැකි ව ඔහු හෝ ඇය බාහිර ස්වභාවයෙන් එය පෙන්නුම් කරයි.
එවන් විටෙක දී දරුවාගේ අසාමාන්‍ය හැසිරීම මාපියන් තේරුම්ගෙන දරුවා සමඟ ආදරයෙන් හා සුහදව ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුය. දරුවා බොහෝ විට තම සිතැඟි ප්‍රකාශ නොකරන්නේ එයට මාපියන් අවධානය නොදැන නිසයි. ඒ නිසා දරුවා සමග වඩාත් කුලුපග වීම තුළින් එකී තත්ත්ව යම්තාක් දුරකට පහ කරගත හැකියි.
යම් දරුවකු ක්ෂණිකව වෙනස් වී බුම්මාගෙන සිටිනවා නම් ඔහු හෝ ඇය ළමා අපචාරයකට ගොදුරු වූවකු ද විය හැකියි. ඔවුන් සමාජය ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගට ම දැකගත හැකිනම් කායිකව හෝ මානසිකව අපචාරයකට ගොදුරු වී දැයි සැකහැර දැනගත යුතුයි.
ඇතැම් දරුවන් බුම්මාගෙන බලාගත් අත බලා සිටින්නේ මානසික ගැටලුවක් නිසා නෙවෙයි.ඔවුන් එසේ සිටින්නේ මවුපියන් ගේ අවධානය ලබාගැනීමටයි. දරුවන් ගැන සැලකිලිමත් නොවී තමන්ගේ වැඩකටයුතු පමණක් සිදු කරනවානම් මාපියන්ගේ අවධානය ඔවුන් වෙතට හරවා ගැනීමට මෙවැනි පෙලඹවීම් කිරීමට දරුවන් යොමුවෙයි. ඒ නිසා දරුවන් වෙනුවෙන් කාලය වැය කර ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට මාපියන් උත්සුක විය යුතුයි. එවිට දරුවන්ට පවතින බොහෝ මානසික රෝගී තත්ත්වයන් මඟ හරවා ගැනීමට පුළුවන.
යම් දරුවකුගේ මෙම රෝග ලක්ෂණ උග්‍ර වී විෂාදය තත්ත්වයක් පැන නැගුන හොත් ඔවුන් සමාජයෙන් ඈත් වී කොන්වීම දැකගැනීමට පුළුවන. එම දරුවන් සාමාන්‍ය වැඩ කටයුතු වලින් ඈත් වී ,කතාබහ නොකර කාමරේටම කොටුවී සිටිනවා දැකගත හැකිය. මෙම ලක්ෂණ යම් දරුවකු තුළින් දිස් වේ නම් ඔහු හෝ ඇයව මනෝ වෛද්‍යවරයකුට ඉක්මනින් පෙන්වා ප්‍රතිකාර පැතීම වඩාත් වැදගත්ය.
උපදෙස්
මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්