වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පුංචි දරුවෝ පුංචි දේටත් ලොකුවට කලබල වෙන්නේ ඇයි ?
ආත්ම ඝාතනය නැතිනම් සියදිවි නසා ගැනීම විශාල සමාජ පරිහානියකි. එය අප රටේ විශාල ඛේදවාචකයක් බවට පත් වී තිබේ. පසුගියදා වව්නියාවේ ගුඩ්ෂෙඩ් පාරේ නිවෙසක සැමියකු තම ණය ගෙවා ගැනීමට නොහැකිව සිය දරුවන් දෙදෙනාට හා බිරියට වස පොවා තමාගේ ජීවිතය ද හානි කර ගත් පුවත මුළු රටම කම්පා කළ සිදුවීමකි. මෙවැනි සියදිවි නසා ගැනීමේ පුවත් දිනපතා අසන්නට ලැබෙන අතර ඇතැම් පුවත් මාධ්‍ය ඔස්සේ ඉතාම සංවේදී ලෙසින් වාර්තාකරන අවස්ථා ද පවතී.
සියදිවි නසා ගැනීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාකරන ආකාරයට වසරකට ලොව පුරා සියදිවි නසා ගන්නා සංඛ්‍යාව ලක්ෂ හතකට අධික බව වාර්තා කරයි. මේ සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් වයස අවුරුදු 15-29 වයස් සීමාවේ පසුවන තරුණ පිරිස් බවට ද සඳහන්ව තිබේ. එසේම මෙලෙස මිය යන සංඛ්‍යාවෙන් 77%ක් ම සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ පිරිස් බව 2021 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල අවධාරණය කරයි.
මෙලෙස සියදිවි නසා ගැනීෙම් සිද්ධි වැඩි වීමට ප්‍රධාන හේතුවක් ලෙස පවතින ආර්ථික අවපාතය බව ඇතැමුන් සඳහන් කරයි. එසේම රටේ ජනතාවගේ සමාජ පීඩනය හා සෞඛ්‍ය මට්ටම දුර්වල වීම සමාජ ප්රගමනයට විශාල බාධාවක්ව පවතී. විශේෂයෙන්ම පවුල් සංස්ථාව තුළ ගෘහිණියකට හා ගෘහමූලිකයාට පැවරෙන වගකීම දරා ගැනීමට නොහැකිව මෙවැනි දැඩි තීරණ ගන්නා තත්ත්වයට පත් වී ඇති බව මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙයි.
මෙලෙස සියදිවි නසා ගැනීම වැඩි වීමට හේතුවන සාධක, සමාජ පසුබිම පිළිබඳ ‘තරුණීට’ කරුණු පැහැදිලි කිරීමට එක් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනූෂා එදිරිසිංහයි. ඇය මේ පිළිබඳ අපට සරල විග්‍රහයක් කරමින් විස්තර කළේ මෙලෙසිනි.
මේ දිනවල සියදිවි හානි කර ගැනීම් ඉතා බහුලයි. ඊට බලපාන හේතු ලෙස ඔබ දකින්නේ කුමක්ද?
මේ ගැන විද්‍යාත්මක පර්යේෂණ කරලා ඔප්පු වූ කරුණු රාශියක් තියෙනවා. තමන්ගේ අවශ්‍යතා තමන්ට සපුරා ගන්න බැරි වුණාම, තමන් බලාපොරොත්තු වූ දෙයක් තමන්ට ළඟා කර ගන්න බැරි වුණාමත්, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට සියදිවි නසා ගන්නවා. ඇතැම් ළමයින් විභාගයක් ෆේල් වුණාම සියදිවි නසා ගන්නවා. මේ දවස්වල පවතින සමාජ, ආර්ථික වාතාවරණයත් එක්ක සියදිවි හානි කර ගනීමට පෙලඹීම හා සියදිවි හානි කර ගැනීම් බහුලයි. ඒක තමන්ට විතරක් නොවෙයි තමන්ගේ දරුවන්ටත් බලපානවා. සමූහ වශයෙන් කණ්ඩායම් වශයෙන් සියදිවි හානි කර ගැනීම් තියෙනවා. මෙය සමාජ මාධ්‍යත් එක්ක අද වේගයෙන් ව්‍යාප්ත වෙලා. රටේ ආර්ථිකයෙ තියෙන ප්‍රශ්නත් එක්ක ඔඩු දුවපු සමාජ ප්‍රශ්න සියදිවි නසා ගැනීම්වලට සෘජු දායකත්වයක් වෙලා තියෙනවා.
වැඩිපුරම ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්වලට ප්‍රධාන හේතු සාධකය වන්නේ පවුල් ආරවුල්. ඒ වගේම මිනී මැරුම් වැඩිපුරම සිදු වන්නෙත් පවුල් ආරවුල් හේතුවෙන්. අප ශ්‍රී ලංකාවේ පළාත් 05ක් පදනම් කරගෙන පර්යේෂණයක් සිදු කළා. එයින් තමයි අපට මේ කාරණාව සොයා ගැනීමට හැකි වුණේ. ඊට අමතරව, දුගීභාවය, දේපළ ප්‍රශ්න, රැකියා විරහිතභාවය, රැකියාව ආශ්රිත ප්‍රශ්න, දූෂණයට ලක් වීම, මත්ද්‍රව්‍ය භාවිතය, සැමියාගෙන් සිදු වන හිරිහැර, ආබාධිත පුද්ගලයන් ආශ්රිත ප්‍රශ්න, බලපානවා. ඒ වගේම ප්‍රේම සබඳතා බිඳ වැටීමත් සිය දිවි හානි කර ගැනීමට සෘජුවම ප්‍රබල විදිහට බලපාන කාරණාවක්.
සියදිවි නසා ගැනීමේ මානුෂික පසුබිම කුමක්ද?
සියදිවි නසා ගැනීමේදී ඇත්තටම සිදු වන්නේ තමන් විසින්ම තමන්ගේ ජීවිතය නැති කර ගැනීමයි. අපරාධ නීතිය තුළ ඉතා පැහැදිලිවම මෙහි නෛතික ප්‍රතිපාදන ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙය සමාජ ගැටලුවක් විදිහටයි හඳුන්වන්නේ. ඒ වගේම මේක සමස්ත සමාජයටම කරනු ලබන හානියක් විදිහටත් සඳහන් වෙනවා. මෙය මීට පෙර අපරාධ විද්‍යාවේදී වරදක් විදිහට දණ්ඩ නීති සංග්‍රහයට අනුව සලකලා තිබුණා. පසු කාලීනව එය වෙනස් කළා. සියදිවි නසා ගන්න කෙනාට දඬුවම් කිරීම කියන කාරණය හරියට '' ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ '' වැඩක්. ඇත්තටම කෙනෙක් සියදිවි හානි කර ගන්නේ මානසික ප්‍රශ්නයක් නිසයි. ඒ නිසා දැන් ඒක සංශෝධනය කරලයි තියෙන්නේ. කෙනෙකුට ජීවිතය තොර කර ගැනීමට කිසියම් කෙනෙක් බලපෑමක් කළොත්, ඔහුට එරෙහිව දඬුවම් දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පෙන්වා දෙනවා නම්, කෙනෙක් සිය දිවි හානි කර ගන්නවා ලියුමක් ලියලා තියලා. ඒ ලියුමේ ඔහුගේ මරණයට වග කිව යුතු කෙනා ගැන ලියලා තියෙනවා නම්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි.
කෙනෙක් සියදිවි හානි කර ගන්නේ ඇයි?
මේ කාරණාවට බලපාන්නේ මානසික ව්‍යාකූලතාවයි. කෙනකුට මානසික ව්‍යාකූලතාව ඇති වෙන්න විවිධ හේතු සාධක බලපානවා. ඒකට සමාජ විද්‍යාත්මක කාරණා බලපාන්න පුළුවන්. නමුත්, මෙයට මොන සමාජ විද්‍යාත්මක කාරණාව බලපෑවත් අවසාන වශයෙන් තීරණය වෙන්නේ මානසික සෞඛ්‍ය බිඳ වැටීම කියන කාරණාවයි. මානසික සෞඛ්‍ය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි පුද්ගලයා සියදිවි හානි කර ගන්නේ. විශේෂයෙන්ම මේ දවස්වල මේ ප්රශ්නය ඉතා බරපතළයි. ළමයින්ගේ පැත්තෙන් බලන විට මේ කාරණය වෙනස්. ළමයින්ගේ සමාජානුයෝජනයෙ තියෙන ප්‍රශ්නයක් තමයි මේ. අද ළමයාගේ පෞරුෂය ගොඩක් දුර්වල තැනකයි තියෙන්නේ. ඉවසීමක් නෑ. ළමයින්ට වැඩිහිටියන් අවවාදයක් දුන්නත්, හදිසි තීන්දු, තීරණ ගන්න යනවා. ළමයින්ට යමක් දරාගන්න හැකියාවක් නෑ. අන් අයත් එක්ක මුහුවෙලා කතා කරන්න බැරි කමත් එක් ප්‍රධාන හේතුවක්. දැන් ළමයින් ගමනක්, බිමනක් ගියත් කිසි කෙනෙක් එක්ක කතා කරන්නෙත් නෑ. ළමයි ඉන්නේ ෆෝන් එකෙයි. සමාජ අනුකරණය සියදිවි හානි කර ගැනීමට සෘජුවම බලපානවා. ඇතැම් අය රට ජාතිය වෙනුවෙන් සියදිවි නසා ගත්තා. ඒ අයගේ සමාජ අනුකරණය වැඩියි. නමුත්, අතිබහුතරයක් සියදිවි හානි කර ගන්නේ සමාජානුයෝජනය අඩු කම නිසයි. ඩිජිටල් තාක්ෂණය නිසා අන් අයත් එක්ක කතා බහ කරන්නෙ නෑ. තමන්ගේ ප්‍රශ්නයක් කියන්නෙත් නෑ. එතකොට වෙන්නේ අනුකරණය අඩු වීමයි. එතකොට එයා හිතනවා තියෙන එකම විසඳුම සියදිවි නසා ගැනීම තමයි කියලා.
සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරන අයෙක් වෙතින් පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
'' මට එපා වෙලා තියෙන්නේ. මම මැරෙනවා.'' වගේ දේවල් බොහෝ වේලාවට කියවන්න පුළුවන්. ඒ වගේම සිතේ තියෙන දේවල් මොනවාහරි ලියන්න පුළුවන්. පොත්වල කොපි පොත්වල, දිනපොත්වල තමන්ගේ ප්රශ්නය ලියලා තියෙනවා. කාටවත් කියලා නෑ. නමුත් ලියලා තියෙනවා. ඒ වගේම අමුතු දේවල් කාටහරි කියන්නත් පුළුවන්. මේ වගේ දේවල් සිදුවන විට එයා ගැන වඩා අවධානයෙන් ඉන්න, ළඟ ඉන්න අයට වගකීමක් තියෙනවා. ඒ වගේම ළමයි ගොඩක් වෙලාවට බලන්නේ හුදෙකලාව ඉන්නයි. මේ ආකාරයට චර්යාවේ පැහැදිලි වෙනසක් තියෙනවා නම් වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුයි. ඒ වගේම එයත් එක්ක කතා කරන්න, ගමනක් බිමනක් එක්ක යන්න, වෙනත් වැඩකට යොමු කරවා ගන්න හැකි විය යුතුයි. ළමයින්ගේ පැත්තෙන් බලන විට හේතුවක් නැතිව ළමයින්ට බණින්න, ඇතමුන් කටයුතු කරනවා. සොයන්නෙ නැතුව, බලන්නේ නැතුව ආවා, බැණ්නා, ගැහුවා, මේ වගේ දේවල් කළාම දන්නේම නැතුව ළමයි සියදිවි හානි කර ගන්න පුළුවන්.
සියදිවි නසා ගැනීම් හා ඊට උත්සාහ කරන තත්ත්වයෙන් පුද්ගලයන් මුදා ගැනීමට නම්, කුමක් කළ යුතු දැයි ඔබ අදහස් කරන්නේද?
ඇත්තටම ශ්‍රී ලංකාවේ බරපතළම කාරණය තියෙන්නේ මානසික සෞඛ්‍ය පිරිහීම කියන කාරණාවයි. මේ රටේ ආර්ථික ප්‍රශ්න නිසා අපට ඒවා කුමන බලපෑම් කළත්, අපේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපේ සැලකිල්ල අඩුයි. මනෝ විද්‍යාව විෂයය පාසල් මට්ටමේ පටන් දරුවන්ට ලබා දිය යුතුයි. මානසික සෞඛ්‍ය හොඳ වුණොත් තමයි, ළමයාගේ පාසල් අධ්‍යාපනය වුණත් හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ රටේ වෘත්තීය මට්ටමේ මානසික උපදේශකවරුන්ගේ හිඟයක් තියෙනවා. අපේ මානසික සෞඛ්‍ය නඟා සිටුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, වෙනත්, ආයතන වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන් මේ සම්බන්ධව උනන්දු වෙනවා නම් උපදේශකත්ව පැත්තෙනුත් විසඳුමක් දෙන්න පුළුවන්. මිනිස්සුන්ට මානසිකව කෙනෙක් කතා කළත් ඇති සමහර ප්‍රශ්නවලට. ඒ කතා කරන දෙයින් ඒ මිනිස්සු සැනසීමක් ලබනවා.
මානසික ව්‍යාකූලත්වයකින් පසුවන අය වෙනුවෙන් උපකාර කළ හැකි ආයතන හෝ වෙනත් සංවිධාන මොනවාද?
මානසික වෛද්‍ය විද්‍යා ආයතන මෙයට උදවු උපකාර කරනවා. අංගොඩ මානසික විද්‍යා ආයතනය ඉන් ප්‍රධානයි.
සුමිත්‍රයෝ කියන රාජ්‍ය නොවන සංවිධානය තියෙනවා. ඔවුන් සියදිවි නසා ගැනීම් සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කරන ආයතනයක්. ඒ වගේම සෑම රෝහලකම පාහේ මනෝ චිකිත්සකවරු ඉන්නවා. ඔවුන්ගෙනුත් අදාළ උපදෙස් ලබා ගත හැකියි.