උත්සව අවස්ථාවක හැඩවෙන්නට දිගු ගවුමක ආකර්ෂණය

අගෝස්තු 1, 2022

තාරුණ්‍ය, හැමදාමත් විලාසිතා ප්‍රිය කරන වයසක්. මේ වයසේ හිඳින දියණියන්ට උත්සව අවස්ථාවක දී හැඩ වෙන්නට සුදුසු ගවුම් විලාසිතා බොහෝයි. ඒ අතරින් පහසුවෙන් මැසිය හැකි, ඇන්ද විට පියකරු පෙනුමක් ගෙනෙන මෝස්තරයකි මේ.

 

මේ සඳහා සැටින්, ඉන්ටර්කූලර් වැනි රෙදි වර්ගයක් තෝරාගැනීමෙන් වැඩි ලස්සනක් ගෙන දේවි.

 

 

 

මෝස්තරය සකස් කිරීමට ඉදිරිපස මුළු පිටපත සකස් කරගන්න. දකුණුපස හා වම්පස ලකුණු කරගන්න. මෝස්තරය සකස් කිරීමට පළමුව අත් දෙක පහතට දමාගෙන කර පහළින් මෝස්තරයෙහි පටි කොටස සඳහා මිම්ම ලබාගන්න. උරහිසින් පහළට මිනුම් පටිය තබාගෙන මුළු වටය මැනගත යුතුයි. මේ මිම්ම ඉතා වැදගත් වේ. ඉදිරිපස කර අඟල් 3ක් පහත් කරන්න. උරහිස අඟල් 1½ක් අත් වටයෙන් පහත් කර V හැඩයට කර අඳින්න. මෙම පතරොමෙන් සම්පූර්ණ උරහිස ඉවත් වේ. V කර හැඩය සම්පූර්ණ පතරොමෙහි ඇඳගන්න. ගන්නා ලද මිම්ම හතරෙන් බෙදාගන්න. එම මිම්ම 1වැනි රූප සටහන අනුව E, F ලෙස ලකුණු කරන්න. කොළරයේ පහළ අඟල් 2½ක් හෝ අඟල් 2ක් වශයෙන් ගෙන පහළින් සමාන්තරව ලකුණු කරන්න. දකුණුපස කොළරයේ හැඩය අංශය දක්වා ඇඳගන්න. 1 වැනි රූප සටහනෙහි දැක් වේ. මේ කොටස් දෙක වෙන වෙනම පිටපත් කරගන්න.

 

 

 

පිටුපස පතරොම පිටපත් කරගන්න. පළමුව කර ගැඹුර අඟල් 5ක් ගැඹුරු කරන්න. උරහිස අත් වටය අඟල් 1½ක් පහත් කරන්න. පිටුපසට ද V කර හැඩය ඇඳගන්න. කර සිට හතරෙන් බෙදා ගත් මිම්ම පිටුපසෙහි ද ලකුණු කරන්න. පිටුපසට ලූප්ස් සහිත කෝඩ් මෝස්තරය යෙදන බැවින් අඟල් 1½ක් පසු මැද සිට ඇතුළට ලකුණු කරන්න. මෝස්තරය සඳහා අවශ්‍ය වන්නේ A J රේඛාව වේ. මුල් පසු මැද පතරොමෙන් ඉවත් වේ. කොළරයෙන් ද එම කොටස ඉවත් වේ. උරහිසින් එන මෙම පටි කොටස කොළයකට පිටපත් කරගන්න. මෙයින් කොටස් දෙකක් අවශ්‍ය වේ.

වම්පස කොටස නොහොත් පටි කොටස එක් කොටසක් ගෙන පසු මැද එළියට සිටින සේ අලවා ගන්න. දකුණු පස ගෙන අනෙක් පිටුපස පටි කොටස අලවා ගන්න. ඉදිරිපස වම් පටි කොටස මතුපිටින් දකුණු පස පටි කොටස අංශය දක්වා අල්ලා ගත යුතුයි. කොළර් නොහොත් පටි කොටස් කපා ගැනීමේ දී කොටස් දෙක බැගින් හතරක් කපාගන්න. මසා ගැනීමේ දී බාහුව හරහා යන පටි කොටස කරට තබා නූල් ඇද ෆිටොන් කර පිටුපසින් සකස් කරගන්න.

සාය සඳහා හැඩ සාය සකස් කරගන්න. ඉණට රැලි යොදා එම සාය සකස් කරගන්න.

 

උපදෙස්

රජයේ NVQ මැහුම් පාඨමාලාවේ කාන්තා ඇඳුම් පිළිබඳ විෂය නිර්දේශිකා, ජ්‍යෙෂ්ඨ මැහුම් උපදේශිකා සීතාදේවි වික්‍රමසිංහ