වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
51 වැනි සැමරුමේ සුවිශේෂි අවස්ථා
කාන්තා පුවත්පත් කලාවේ පෙරගමන්කාරණිය තරුණී පසුගිය ජුලි 09 වැනිදා 51 වැනි වසරට පා තැබීය. එසේම කොරෝනා වසංගතය හමුවේදී ද නොසැලී තරුණී අන්තර්ජාල පුවත්පතක් ලෙසද නොකඩවා ඔබ අතරට අපි තිළිණ කළ බව පවසන්නේ හද පිරි සතුටිනි. රටේ පවතින සෞඛ්‍යමය වාතාවරණයට හිස නමා තරුණී සංවත්සර උත්සවය ඉතා චාම්ව පසුගියදා ලේක්හවුස් මන්දිරයේ දී පැවැත්විණි. ඒ සඳහා වත්මන් ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මැතිතුමා, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා, නීති අධ්යක්ෂ රඛිත අබේගුණවර්ධන මහතා, මූල්‍ය අධ්යක්ෂ ඡනක රණතුංග, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා , සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය තරුණී ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න මහතා සහභාගි වූහ.
එමෙන්ම සූපවේදී කලාවේ ජ්‍යෙෂ්ඨතමයා පබිලිස් සිල්වා, රූපලාවණ්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨතම ශිල්පී හැරිස් විජේසිංහ, මානෙල් කොටුවේගොඩ, මල්ලිකා ජෝශප්, මරීනා පෙරේරා, සමන්ත ගුණසේකර, මැණික් හේමචන්ද්‍ර, මංගලා ගුණරත්න, තිලක් ද සිල්වා, චාමලී කල්දේරා, ශීලා ප්‍රනාන්දු, ධනංජය ෆ්ලෝරා අධිපති සමන් ජයලත්, ප්‍රීතිකා වික්‍රමසිංහ, කැදැල්ල හෝම්ස් අධිපති මහින්ද ඒකනායක, ප්‍රවීණ නවකතා රචක එඩ්වඩ් මල්ලවආරච්චි ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීම සංවත්සර උත්සවයට ආලෝකයක් විය.
ලේක්හවුස් නිර්මාතෘ දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතානන් තරණී ආරම්භක කර්තෘ හික්කඩුවේ ශ්‍රී ලාල් මහතා තරුණී පෝෂණය කළ හිටපු දිවංගත කතුවරුන් හා කතුවරියන් මෙන්ම දිවංගත කර්තෘ මණ්ඩල සාමාජික සාමජිකාවන්, රණවිරුවන් ඇතුළු සියලුදෙනා දෙනා සිහිපත්කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයකින් පසුව ඇරැඹුණු මේ උත්සවය ප්‍රවීණ නිවේදන වසන්ත ජයසිංහආරච්චි විසින් මෙහෙයවන ලදී.
* පැමිණ සිටි සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් Bellose ආයතනයේ සභාපති චතුර පෙරේරා සැනිටයිසර් තිළිණ කරන ලදී
ගරු සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මැතිතුමා
මේ ලේක්හවුස් ආයතනයේ පුවත්පත් තමයි දීර්ඝ කාලීනව පවතින පුවත්පත් වන්නේ. පත්තර මහගෙදර විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය මඟින් 1969 ජූලි 9 වැනිදා හික්කඩුවෙ ශ්‍රී ලාල් ලියනගේ ශ්‍රීමතාණන් ගේ කර්තෘත්වයෙන් තරුණී පුවත්පත ආරම්භ කරන ලදී. මේ පුවත්පත තමයි කාන්තාවන් අතර ජනප්‍රියතම පුවත්පත. මෙහි මැහුම් ගෙතුම්, සූප ශාස්ත්‍රය, ධර්ම කරුණු, කුලගෙට පියනගන දියණියන්ට උපදෙස්, රූපලාවණ්‍ය දැනුම, ස්වයං රැකියා ඇතුළු විශේෂාංග රැසක් අන්තර්ගත වනවා. වානිජකරණය නොවී කාන්තාවන් වෙනුවෙන්ම කැපවුණ පුවත්පතක් වන මෙය දිනෙන් දින දියුණු වේවා!
කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්
ලේක්හවුස් ආයතනය ලංකාවේ ජාතික මුද්‍රිත ආයතනයයි. මේ හා සමාන කිසිම මුද්‍රිත ආයතනයක් ලංකාවේ නැහැ. ඒ වගේම විශිෂ්ට ජනමාධ්‍යවේදින් සමූහයක් මඟින් ජාතියට දැවැන්ත සේවයක් කළ ආයතනයකි මෙය. පුවත්පත් කලාව තුළ වෙනත් කිසිම ආයතනයක නැති දැවැන්ත ප්‍රතිරූපයක් මේ ආයතනය සතුයි. එයින් හැඩවන තරුණී කාන්තා පුවත්පත් කලාවේ ප්රතිමුර්තියයි. වත්මන් තරුණී කර්තෟ සහ කර්තෘ මාණ්ඩලිකයන් විශිෂ්ට ලෙසින් තරුණී පුවත්පත පාඨක ඔබ අතට පත් කරනවා. ඒ පිළිබඳ කිසිඳු සැකයක් නැත.
ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන් සභාව අමතමින්
මම තරුණී පුවත්පත හා කටයුතු කරන 42 වැනි අවුරුද්දයි මේ. මගේ ලිපියක් පළකරන්න මම හැමදාමත් තෝරා ගත්තේ තරුණී පුවත්පතයි. හැමදේම වාණිජකරණය වූ කාලෙක තරුණී මුදලකට යටවුණේ නැහැ. ඇය ගුණාත්මක, හරවත් දේයි සමාජයට දුන්නේ. මා හැඩගන්වන මනාලිය නවීකරණය නොවී සොඳුරු ලියක් කරනවා සේම තරුණී යුගයේ අවශ්‍යතාව තේරුම් ගෙන ඇයටම අනන්‍යතාවක් ගොඩනගා ගෙන තියෙනවා. සමබරව දැනුම ගෙනෙන තරුණී ට මගේ සුභාශිංසනය.
ආචාර්ය පබිලිස් සිල්වා
තරුණී පුවත්පත මා සෑහෙන කාලයක සිට ඇසුරුකරන මගේ ළබැඳි හිතවතියයි. ගල්කිස්ස මහ හෝටලයේ පබිලිස් කියන නාමය ප්‍රචලිත කළේ තරුණී. තරුණී නිසා මට පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් උදා වුණා.
ඒ මොකද කිවුවොත් තරුණීහි මා පළකළ කෑම වට්ටෝරු ගැන කාන්තාවෝ මඟතොටේදී අහන්න ගත්තා. ලුණු මිරිසෙ, කට්ටසම්බෝලෙ වෙනස වගේම රස කාරක වසකාරක වෙනස හරියටම පැහැදිලි කරන්න 51 වසරක් සපිරුණු මේ තරුණී කෙල්ලට පුළුවන් වුණා. තරුණීට මගේ හද පිරි සුබ පැතුම්.
සටහන - අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
ඡායා - ටෙනිසන් එදිරිසිංහ - ශාන් රූපස්සර