විමසිලිමත් දෑස ඔබේ මෙන්ම රටේ ද ආරක්ෂාවයි

මැයි 1, 2019

පසුගිය දිනයක කතෝලික ආගමික දේවස්ථාන, තරු පහේ හෝටල් කේන්ද්‍ර කරගනිමින් සාහසික මරාගෙන මැරෙන අන්තවාදීන් විසින් කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පළමු කොටම දැඩි පිළිකුලෙන් හෙළා දකින අතර ලක්දෙරණට අහිමි වූ අපගේ ලක්වාසීන් මෙන්ම විදෙස් ජාතිකයන් පිළිබඳ අපි දැඩි ලෙස සංවේගයට පත්වීමු.

මනුෂ්‍යත්වය අබිබවා කුරිරු, මිසදිටු මුග්ධ ත්‍රස්තවාදය ඉස්මතු වන්නට යම් ප්‍රයත්නයක් දරන බව නැවතත් දකින්නට ලැබීම අතිශය කනගාටුදායක තත්ත්වයකි. මහා ඛේදවාචකයකි.

අපගේ ළමා කාලය ගෙවුණේ යුද වටපිටාවක් සමඟිනි. බිහිසුණු ගරිල්ලා ත්‍රස්තවාදීන්ගේ තිස් වසරක යුද්ධය සමඟ අපගේ ජීවිතයෙන් වැඩි කලක් ගත වුණි. ඒ සම්බන්ධයෙන් අපට ඇත්තේ අතිශය දුක්බර ඉතිහාසයකි. යුද්ධය නිමාවට පත්වීමත් සමඟ ජාති, ආගම් භේදයක් නොමැතිව ඒකාවන්ව අපි සැවොම සැනසුම් සුසුම් හෙළූයේ......සතුටු කඳුළු හෙළූයේ තිස් වසරක් අහිමිව තිබූ නිදහසේ මිහිර නැවතත් ස්ථාපිත වූ නිසාවෙනි. එතෙක් බියෙන් සැකෙන් අනෙකා දෙස බැලූ සමය අවසන් විය. එහෙත් එලෙස අපට සැනසුම් සුසුම් හෙළන්නට හැකි වූයේ කෙතරම් කෙටි කාලයක් ද? මේ බිඳෙන්නට වූයේ, කඩතොළු වන්නට වූයේ..... අප එකිනෙකා තුළ වූ විශ්වාසය නොවේද? අපට අහිමිව තිබූ ... එහෙත් අපගේ දරුවන්ට උදා කළ ඒ නිදහසේ මිහිරියාව හොරු රැගෙන ගියාක් මෙන් විය. සුළුතර අන්තවාදී පිරිසක් නිසාවෙන් මුළු රටම අද භීතියෙන් ඇලලී ඇත.

ජාති, ආගම් භේදයකින් තොරව ඔබ අප හැමගේම සම්පත වන්නේ දරු සම්පතයි. මවු කුසේ සිටම අප දරුවන් රැක බලාගන්නේ පණ හා සමානවය. ඇකයේ කිරි උරා බොන දරුවා තරමට උස් මහත් වූ දරුවන්ටත් අප හදවත්හි උනන සෙනෙහසේ වෙනසක්, අඩුවක් කොහෙත්ම නැත. පුංචි වුවත්, ලොකු වුවත් වයසට ගියත් දරුවෝ දරුවෝමය.

අද මේ වියරු වැටී සිටින්නේ ද එවන් දූපුතුන් ය. ලේ පිපාසිත මේ කුරිරු ත්‍රස්තවාදීන් අතර ජීවිතය ද පරදුවට තබමින් සමූල ඝාතනය කරන්නට යන දරුවෝ ද වෙති. ඒ තරුණයන් බොහෝ දෙනකු ළාබාල වියේ පසුවන්නන් බව අප මාධ්‍යවලින් දුටුවෙමු. අවි ගත්තෝ අවියෙන්ම නැසුණාම මිස අවියෙන් දිනුවේ නැත. ඊට කදිම සාක්ෂි අප රටේ ඉතිහාසයෙන්ම ඔබ අපි දනිමු.

අවි අතට ගත්තවුන් නිසා අපට ලක්ෂ සංඛ්‍යාත ජීවිත අහිමි විය. දරුවන්ට මවුපියන් අහිමි විය. මවුපියන්ට දරුවන් අහිමි කළ ඒ යුගයි මෙතරම්ම වේගයෙන් අප සිත්වලින් අමතක කරලන්නට අපට හැකි ද? ජාති, ආගම් භේදයකින් තොරව අපිට විවිධ අවස්ථාවලදී මේ සෙනෙහස අහිමි වීමේ වේදනාව විඳ ඇත්තන් බව මම දනිමි. ඒ අඳුරු අතීතයට අප නැවතත් යා යුතුද? නැතහොත් කළයුත්තේ ඒ අඳුරු සෙවණැලි වෙත නැවත පිය ඔසවන්නට පෙර අකාමකා දැමීම නොවේද?

සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා මේ ඔබ අප හැම උපන් භූමියයි. අප සැමගේම මවු රටයි. මේ මවු රටේ ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වීමේ නිදහස ඔබ අපට එක ලෙස තිබිය යුතුය. පසුගිය දසවසරකට ආසන්න (යුද්ධය නිමාවෙන් පසුව ගෙවුණු මේ කාලවකවානුව) කාලයක් ඔබ අප සැවොම ජාති භේදයකින් තොරව අප රට ලැබූ නිදහස සැවොම රිසි සේ වින්දෙමු.

පාර තොටේ ගමන් බිමන් යන්නට විනෝද සාදවලට එකතු වන්නට.... චිත්‍රපටයක්, සංගීත සංදර්ශනයකට යන්නට..... විනෝද චාරිකාවක් යන්නට සිතේ බිය සැකසැංකාවන් උපන්නේ නැත.

පොදු ප්‍රවාහනය සුවසේ පරිහරණය කළේය. සිත් සේ සතුටු වෙමින් ගමන් බිමන් ගියේය. ආගමික සිද්ධස්ථානවලට ගොස් රිසි සේ වැඳුම් පිදුම් කළේ සිතේ කිසිදු චකිතයකින් නොවේ. මේ සාහසික අන්තවාදීන් විනාශයට පත් කරන්නට මාන බලන්නේ අපේ රටේ ජනතාවගේ ඒ මානසික නිදහසය. මානසික සහනයය.

මේ වියැකී යන්නේ මෙතෙක් පැවැති සතුටයි. සොම්නසයි. සිනහවයි. කොච්චිකඩේ දේවස්ථානයේ, කටුවාපිටිය හා මඩකලපුව දේවස්ථානය ඇතුළු තරු පහේ හෝටල්වල සිදුවූ ඒ ඛේදනීය සිද්ධිය නිසාවෙන් ලක්වාසී මෙන්ම ලෝවාසීන්ගේ සිනහව සතුට නතර වූවාක් වැනිය. කටුවාපිටිය ගමට ආයේ කවදානම් සිනහව ගෙනෙන්නට හැකිවේද? එහි සෑම නිවෙසකම පාහේ මළගමකි. සමහරු පවුල් පිටින්ම සාහසිකයන් උදුරාගෙනය. ගමේ හැමතැනම පටාචාරාවන්ය. අබ ඇටයක් ගෙන එන්නට එකදු නොමළ ගෙයක් නැතිතරම්ය. මේ වියෝව ගම්මුන් කෙසේ නම් විඳදරා ගන්නද ? ජීවිතය තිබෙන තුරු ඔවුනට සමීපතමයන් අහිමි කළ මේ දුක අමතක කළ හැකිවේද?

අපගේ ළබැඳි ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ වැඩිමල් දියණිය මෙම කෲරතර බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වීම අසා අපි අතිශය වේදනාවට පත්වීමු. ඇය තරුණී පාඨක ඔබට ද බෙහෙවින්ම හුරු පුරුදු මෙන්ම තරුණී පුවත්පතටද ළෙංගතු දයාබර චරිතයකි. ඇය ඇගේ දැනුම ඔබ වෙත ලබා දුන් දක්ෂතම ශිල්පිනියකි. නොසිතූ මොහොතක සිදු වූ මේ බිහිසුණු අපරාධය නිසාවෙන් වනිතා ලොව එකලු කළ ඒ ආදරණීය ශිල්පිනිය අවසන් ගමන් ගියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ නෙතට කඳුළක් නංවමිනි.

ආදරණීය අම්මාවරුනේ.... ජාතියේ නාමයෙන් මේ මොහොතේ ඔබට ඉටු කරන්නට විශාල කාර්යයක් ඇත. ඒ ඔබේ පුතණුවන්... දියණියන් නැවතත් පුංචි සන්ධියේ මෙන් තුරුලට ගෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සහ එය නැසීමේ අයිතියක් කිසිවකුටත් නොමැති බවත් එසේ නසා ලබාගෙන කිසිවක් දිනිය නොහැකි බවත් ආදරය, කරුණාව, දයාව සැමට එකසේ පැතිරවීෙමි අගය කියාදෙන්න. ඔබේ දරුවා රටට බරක් නොවිය යුතුය. මේ වගකීම ඇත්තේ ඔබ අතය.

ඔබේ දරුවා රටට ණයක් නැති විය යුතුය. තවකකු නසා ලැබිය හැකි සතුටක් නැති බවත් කියාදෙන්න.

මේ වන විටත් ඔබේ දරුවාගේ මනස මතින් වස විසින් ජාතිය ඇවිස්සීමේ හැඟීම්වලින් ඔද්දල් වී ඇත්නම් එය සුවපත් කරන්න ඔබට විශාල වගකීමක් ඇත. පියවරුන්ටත් එසේමය. ඔබ රටට දැයට හිතකාමී වීරෝධාර දරුවකු සැකසූ විට දැනෙන ආඩම්බරය සේම මෙවැනි විෂෙන් පිරුණ,ු ජීවිත නසාලන සාහසික දරුවකු බිහි කිරීමේ පාපයට ඔබටත් කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇත.

කිසිදු ආගමක ශාස්තෘන් වහන්සේ කෙනකු මිනිස් ඝාතන අනුමත නොකරයි. එය මහා පාප කර්මයක් මිස ස්වර්ගයට දොර ඇරීමක් නොවේ. ජීවිත වනසා දමා ස්වර්ගයට හෝ දෙවියන් වෙතට යා හැකි මුග්ධ හා ත්‍රස්ත මිත්‍යාවන් මේ අන්තවාදීහු ඇදහීම මුලාවක් බව නොසිතන්නේ මන්ද?

එබැවින් මේ මොහොතේ අප සැමටම විශාල වගකීමක් ඇත. “අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා මෙන්ම ඉවසීමෙන් සැනසීම ලැබෙන බවද අමතක නොකරන්න. ඉවසලා ඉවසලා බැරිම තැන, එතැනයි ඉවසිය යුතුම තැන...” මේ එසේ සිටිය යුතු මොහොතකි.

කිසිවකු කෙරෙහි වෛරී සිතිවිලි තමා තුළ උද්දීපනය කර නොගන්නටත්..... එවැනි කතාබහවලදී කෙසේවත් දිරිදීමක් නොකරන්නටත් අප සැවොම සිත තබාගත යුතුය. මේවා දරුවන්ගේ සිත් තුළට කාවැද්දීම වැඩිහිටි ඔබගේ අද දවසේ වගකීමයි.

ඒවගේම ඔබ නිරන්තරයෙනන්ම විමසිල්ලෙන් පරීක්ෂාවෙන් සිටින්නත් අමතක කරන්නට එපා. ඔබේ නොසැලකිල්ල මහා ඛේදවාචකයකට හේතුවක් විය හැකියි. ඔබ පරෙස්සම් වනවා මෙන්ම අනෙකා ද පරෙස්සම් කරගන්න. මට මගේ අය මෙන්ම අනෙකාට ද ඔවුන්ගේ සමීපතමයන් අවශ්‍යය. එබැවින් අප සැවොම පරෙස්සම් විය යුතුය. ආරක්ෂා විය යුතුය. ජාතිවාදී හැඟීම්.... ජාතිවාදී ආරවුල් පැන නඟින සේ වචන පිට කිරීමත් ඔබ නොකළ යුත්තකි. මේ උදාවී ඇත්තේ සාමකාමී රටක් බිහි කිරීම උදෙසා අප සැවොම එක්වීමේ කාලයයි. පක්ෂ, පාට, ජාති, ආගම් පැත්තකට දමා රට ගැන සිතා මනුෂ්‍යත්වයේ නාමයෙන් හැම ජීවිතයක්ම රැකගැනීමට ආදරයේ නාමයෙන් අත්වැල් බැඳ ගනිමු. අමනුෂ්‍යකමට, ම්ලේච්ඡත්වයට අපි සැවොම විරෝධය පාමු. සංහිඳියාව අගයන එකසත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දැන්වත් අපි එකතු වෙමු.

තවමත් මේ බිහිසුණු බව අප රටෙන් තුරන් වී නොමැත. සෑම මොහොතක්ම අප විමසිල්ලෙන් සිටිය යුතුය. අප අවට සිටින පුද්ගලයන් ගැන මෙන්ම බඩු භාණ්ඩ ගැන ද විමසිලිමත් දෑසින් බැලිය යුතුය. යම්කිසි හෙයකින් සැක කටයුතු යමක් ගැන ඔබට ඉඟියක් ලැබු වහාම පහත සඳහන් දුරකථන අංකයන් අමතා ආරක්ෂක අංශය දැනුවත් කරන ලෙස තරුණී පාඨක ඔබ වෙත දැනුම් දෙන්නේ ඉතා කරුණාවෙනි.

 

011 2434251

011 4055105

011 4055106

011 2433335

076 6911640