අලුත් බලාපොරොත්තු සමඟින් පැහැබර අනාගතයක් කරා....

නොවැම්බර් 20, 2019

ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම පසුගිය 16 වැනිදා පැවැත්වුණු අතර මේ වනවිට නව ජනාධිපතිවරයා දිවුරුම් දී අවසන්.

අපේ මේ පුංචි රට ඉදිරි වසර කිහිපය තුළ පාලනය කිරීමේ වරම, වගකීම හිමිවූයේ කාට වුවත්, ඔහු කුමන පක්ෂයකට අයිති වුවත් ඔහු අපේ රටේ කෝටි දෙකකට අධික සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ නායකයා ය.

ඡන්දය යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියකුට හිමිවන අයිතියකි. එසේම ඔබ කැමැති පක්ෂයකට, ඔබ කැමැති පුද්ගලයකුට ඔබ කැමැති ප්‍රතිපත්තියකට අනුව දේශපාලනය කරන්නට ඔබට අයිතියක් ඇත.

මේ නිසා ඡන්ද හිමියකු ලෙස ඔබ මේ අපේක්ෂකයන් තිස් ගණන අතරින් එක් අයකුට ඡන්දය ප්‍රකාශ කරන්නට ඇත.

සමහර විට ඔබ ඡන්දය ප්‍රකාශ කළ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබෙන්නට පුළුවන. එසේ නැතිනම් පරාජය වී තිබෙන්නට ද පුළුවන. ඡන්දය ආසන්නව තිබූ සති කිහිපයේ මුළු රටම දේශපාලන කතාබහින් උණුසුම් වී තිබුණි. මේ උණුසුම බොහෝ නිවෙස් තුළ ද තිබූ බව රහසක් නොවේ.

සමහර නිවෙස්වල සැමියා, බිරිය දෙදෙනාම එකම පක්ෂයේය. එවිට බොහෝවිට වන්නේ නිවෙසට පැමිණෙන, මඟතොටේ හමුවන මිතුරන්, හිතවතුන් සමඟ වාද විවාදවල පැටලීමයි. තවත් නිවෙසක සැමියා, බිරිය පක්ෂ දෙකකය.

මෙවැනි නිවෙස්වල බොහෝවිට පරස්පර මත නිසා විවිධ කතාබහ ඇතිවීම අරුමයක් නොවේ. දේශපාලන වේදිකාවල කථිකයන්ගේ කතා, සමාජ මාධ්‍ය ඡාලා තුළින් සංසරණය වන කතා ආදිය දක්වමින් සැමියන්, බිරියන් ද උණුසුම් වාද විවාදවල පැටලී යන්නට ඇත. ඇතැම්විට මෙවැනි සුළු කතා බහක් දුර දිග ගොස් එකිනෙකා අතර අමනාපකම් ගොඩ නැඟුණු අවස්ථා ද තිබිය හැකිය.

සැබැවින්ම එවැනි දේ අතිශයින්ම සාමාන්‍යය. එහෙත් පවුලක සැමියාගේ, බිරියගේ පුංචි පුංචි අඬ දබර, රණ්ඩු සරුවල් ‘බත ඉදෙන තෙක් පමණක්’ තිබිය යුතුය. මෙවැනි දේශපාලන වාද විවාද කතා බහ ද එලෙසින්ම අවසන් විය යුතුය.

දැන් රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටී. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අනුව ඔහු රට ඉදිරියට ගෙන යන්නට කටයුතු කරනු ඇත.

එහිදී අප කළයුත්තේ පවුලේ සමගිය රැකගනිමින් දේශපාලන කතාබහ නිසා ගිලිහී ගිය සමගිය යළි ගොඩනඟා ගෙන අලුත් ගමනකට මුලපිරීමය.

විශේෂයෙන්ම පරාජිත අපේක්ෂකයන් වෙනුවෙන් කතාබහ කළ, ඡන්දය ප්‍රකාශ කළ සැමියන් සිටින බිරියන් මේ පිළිබඳ වඩාත් බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුය. තමන්ගේ අපේක්ෂකයා ජයගත් බවට උදම් අනමින් ඔහු පීඩාවට පත් නොකළ යුතුය.

ආදරයෙන් කතා බස් කරමින් ඔහුගේ සිත සනසන්නට කටයුතු කළ යුතුය.

අප මොනතරම් එකිනෙකාට ආදරය කළත් සමහර අවස්ථාවලදී දැඩි සිත් ඇතිව කටයුතු කරන්නට පෙලඹෙන අවස්ථා තිබිය හැකිය. දේශපාලන මත දැරීම ඒ අතරින් ප්‍රධානය.

මේ නිසා ඔබ බිරියක් ලෙස, මවක් ලෙස, ගෘහණියක් ලෙස ඔබේ පවුලේ සමගිය, දියුණුව වෙනුවෙන් සැමියා සමඟ කතාබස් කොට හෙට දවසට අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට ඔහුට උදවු කළ යුතුය.

ජය පරාජය සම සිතින් විඳදරා ගනිමින් තමන්ගේ පෞද්ගලික ජීවිතය කඩා වැටෙන්නට නොදී කටයුතු කරන්නට අප ඉගෙන ගත යුත්තේ කුඩා කල සිටමය. මේ නිසා මවුවරු තම දරුවන් ක්‍රීඩාවලට යොමුකොට ජය පරාජය දෙකම අත් විඳින්නට අවස්ථාව ලබාදිය යුතුය. ජයග්‍රහණයේ දී මෙන්ම ඊටත් වඩා පරාජය වූ අවස්ථාවලදී ඔවුන් අස්වසමින් ජීවිතය ඉදිරියට ගොඩනඟා ගන්නේ කෙසේද යන්න ඔවුනට කියාදිය යුතුය. එසේම මෙවැනි අවස්ථාවලදී ක්‍රියාවෙන්ම පෙන්වමින් ඔවුනට ආදර්ශයක් දිය යුතුය.

ඔබට තවත් කරුණක් පිළිබඳ අවධාරණය කරන්නට කැමැත්තෙමි. පවුල යනු මේ සමාජයේ ඇති කුඩාම ඒකකයයි. පවුලක් සමගියෙන් සමාදානයෙන් යුතුව ජීවත්වනවා නම් සැමියා, බිරිය එකට එක්ව උත්සාහයෙන් දියුණු වනවා නම් එය සමාජයක දියුණුවට ද ඒ තුළින් රටක දියුණුවට ද ප්‍රබල ලෙස බලපානු ලබයි.

මේ නිසා ඔබ ගෘහණියක ලෙස පවුලේ සමගිය රැකගනිමින් ඒ තුළින් දියුණුුව කරායන්නට නිරතුරුවම කැපවිය යුතුය.

ඒ සඳහා ඔබ කළයුත්තේ නව නායකත්වයක් යටතේ නව ගමනක් යන්නට සූදානම් වන මොහොතක පවුලේ කටයුතු නැවුම් ලෙස අරඹමින් නව ගමනක් යන්නට කටයුතු කිරීමයි.

එවිට පෞද්ගලිකව ඔබත්, ඔබේ පවුලත් පොදුවේ රටත් ජයග්‍රහණය කරනු ඇත. අප සැමගේම හෙට දවස වඩාත් පැහැබර වනු ඇත.