ජීවිතය සිහිනයක් නොවන්නට....

ජූලි 24, 2019

වර්තමානයේ අපේ රටේ ජනජීවිතය බොහෝ සංකීර්ණ වී තිබේ. තිස් වසරකට අධික කාලයක් තිබුණු කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත අරගලය නිමා කිරීමෙන් පසු සාමකාමී වුණු රට පසුගිය පාස්කු ඉරු දින එල්ල වුණු ම්ලේච්ඡ අන්තවාදී බෝම්බ ප්‍රහාර හමුවේ ව්‍යාකූලත්වයට පත්වී මේ තත්ත්වය වඩාත් දරුණු කර තිබේ.

මේ නිසා අපේ රටේ කාන්තාවන්ට වඩාත් සිහි බුද්ධියෙන් කටයුතු කිරීමට කාලය එළඹ ඇති බව සිහිපත් කළ යුතුය. ඒ මේ සමාජයේ ඇති කුඩාම ඒකකය වන පවුලක තීරණාත්මක චරිතය කාන්තා ඔබ නිසාය. බිරිය, මව, ගෘහණිය ලෙස කාන්තාවකට උරුම වූ භූමිකා නිරූපණය කරමින් පවුල පවත්වාගෙන යන්නී ඔබ නිසාය. එයිනුද නොනැවතී වර්තමානයේ බොහෝවිට පවුලේ ආර්ථික බරද කරට ගෙන ස්වාමියාට ශක්තියක් වෙමින් රැකියාවක ද නිරත වන්නීය.

දෙදෙනකු විවාහ වුණු පසු බොහෝවිට මවන මූලික සිහන කිහිපයක් තිබේ.

තමන්ටම කියා ජීවත්වන්නට ලස්සන නිවෙසක්, ගමන් බිමන් යාමට මෝටර් රථයක්, ඉන්පසු පවුලට ලස්සන කිරි කැටියෙක් මේ සිහින අතර ප්‍රධාන වෙයි. සමහරු ඉතා පහසුවෙන් මේ සිහින සැබෑ කරගත්ත ද ඇතැමකුට මේවා යථාර්ථයක් බවට පත්කරගන්නට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙයි.

මේ නිසා මේ රටේම විවිධ රැකියාවල නියැළෙමින් මේ සිහින සැබෑකරගන්නට ඇතැම්හු කටයුතු කරද්දී තව ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත වෙයිති. මෙය දශක කිහිපයක සිටම සිදුවන අතර එය මේ වනවිට අපේ රටේ ප්‍රධාන විදෙස් විනිමය උපයන මාර්ගය බවට ද පත්ව තිබේ.

විශේෂයෙන් කුවේටය, සෞදි අරාබිය, ලෙබනනය, බහරේනය, ඩුබායි වැනි මැද පෙරදිග රටවලට මෙලෙස අපේ රටේ දහස් ගණන් යුවතියන්, කාන්තාවන්, මවුවරුන් සිය ශ්‍රමය දියකර හෝ දියකරමින් තිබේ.

ගිනිගහන වැලිකතරේ නෙතට හරිහැටි නින්දක් නොමැතිව කුස පිරෙන්නට අහරක් නොමැතිව නිවෙසක මෙහෙවර කොට උපයාගෙන මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය ගණනින් කොතෙක් වුවත්, එලෙස උපයාගත් ධනයෙන් බලාපොරොත්තු වූ ලෙස සිහින සැබෑ කරගෙන පවුලක් ලෙස දියුණු වූයේ නම් ඒ ඉතාමත් සීමිත පිරිසක් බව කිව යුතුය.

මෙලෙස විදෙස් ගතවුණු බොහෝ කාන්තාවන් ලිංගික අතවරවලට, පහරදීම්, ඉදිකටු ගැසීම්, ඇතැම්විට අතපය කඩා බිඳ දැමීම් වැනි ශාරීරික හිංසනවලට ගොදුරු වීම් නිරතුරුවම වාර්තා වී ඇති අතර ඇතැම්විට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවුණු අවස්ථා ගෙවී ගිය දශක කිහිපය පුරා අපට ඕනෑවටත් වඩා අසන්නට ලැබී තිබේ.

එසේම බිරිය විදෙස්ගත වී දුකසේ උපයා එවූ මුදලින් බේබද්දන් වුණු, සල්ලාලයන් වුණු සැමියන් තමන්ගේ දියණියන් විනාශ කළ නරුමයන් බවට පත්වුණු පුවත් ද අප කොතෙකුත් අසා තිබේ..

මවුවරුන් මෙලෙස විදෙස් ගතවීම නිසා බොහෝවිට අසරණ වන්නේ පීඩාවට පත්වන්නේ කුඩා දරුවන් බවද රහසක් නොවේ. මේ නිසාම කුඩා දරුවන් සිටින මවුවරුනට රැකියාවක් සඳහා විදෙස් ගත වීමේදී කොන්දේසි ගණනාවක් පනවා තිබුණ ද ඒවා හරිහැටි ක්‍රියාත්මක වේදැයි සොයාබැලිය යුතුය.

මා මෙලෙසින් මේ සටහන තබන්නට සිතුවේ පසුගිය දිනවල දිනපතා පුවත්පත්වල දුටු පුවත් කිහිපයක් නිසාය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව පළකර තිබූ එම පුවත්වලට අනුව 2018 වසරේ 211459 දෙනකු රැකියා සඳහා විදෙස්ගත වී තිබේ. ඒ අතරින් 29774 ක් පුරුෂයන් වන අතර 81685 දෙනකු කාන්තාවන්ය. මෙම කාන්තාවන් අතරින් බහුතරයක් එනම් 64938 ක් ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 79.4% කි. මෙය සැබැවින්ම වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතා බැලිය යුතු තත්ත්වයකි. මා එලෙස පවසන්නට හේතුව මේ සමඟම දුටු තවත් පුවතකි.

ඒ කුවෙට් ‘සුරක්ෂා’ නිවෙසේ පදිංචිව සිටි කාන්තාවන් 858 දෙනකු පසුගිය 11 වැනිදා යළි දිවයිනට ගෙන්වා ගත් බවට පළවූ පුවතයි.

මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ කුවෙට් තානාපති කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ‘සුරක්ෂා’ නිවාසයේ රැඳී සිටි කාන්තාවන් පිරිසකි. සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙන තෙක් තවත් ශ්‍රමිකයන් 146 දෙනකු එහි රැඳී සිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර තිබේ. විදේශ රටවල පිහිටි තානාපති කාර්යාල යටතේ කම්කරු අංශ 12 ක් ඇති අතර, ඒ යටතේ පවත්වාගෙන යන ‘සුරක්ෂා’ නිවාසවල ශ්‍රමිකයන් 263 ක් තවමත් රැඳී සිටින බවද වාර්තා වේ.

මෙලෙස එම නිවාසවල රැඳී සිටින්නේ විදෙස් රටකට සේවයට ගොස් මුදල් උපයාගෙන මාලිගා තනන්නට සිහින දුටු අපේම පියවරුය. මවුවරුය.

විශේෂයෙන් තම අඹු දරුවන්ගෙන් වෙන්ව ගිය මේ පිරිසට හිස් අතින් එන්නට සිදුවීම ඔවුන් කබලෙන් ළිපට වැටීමකි.

ඒ නිසා විදෙස් ගතවී සිය සිහින සැබෑ කරන්නට සිතන ආදරණීය තරුණී පාඨක කාන්තා ඔබට, මවුවරුනට මෙලෙස පවසන්නට කැමැත්තෙමි.

ජීවිතය ජයගන්නට, සිහින සැබෑ කරගන්නට ජයකණුව කරා යන්නට ඇත්තේ එක මාවතක් පමණක් නොවේ. අවශ්‍ය වන්නේ එම මාවත් සොයාගැනීම පමණි. එය දුෂ්කර විය හැකිය. කල්ගතවිය හැකිය. ඒත් ඒ සඳහා මඟ පෙන්වන්නට තරුණී සැමදා ඔබ ළඟ සිටිනු ඇත.

මේ ඔබේ ආදරණීය

ඉඳුනිල් වීරරත්න

[email protected]