අයින්සටයින් සහ හෝකින්ස් පැරද වූ ලාංකික දියණිය

මාර්තු 20, 2019

ගැහැනියක වීම එහෙමත් නැත්නම් ගැහැනුකම බොහෝ අය ඉදිරියේ වැටෙන්නේ දෙකේ කොළයටය. ආසියාවේදී මේ තත්ත්වය තවත් අඳුරුය.

ලෝකය මොනතරම් දියුණු වුවද අප දියුණු යැයි සම්මත රටවල් ලෙස හැඳින්වුවද එම රටවල ද ගැහැනුකම දෙකේ කොළයට වැටෙන අවස්ථා බොහෝය.

මේ ගැහැනුකම දෙකේ කොළයට වට්ටන්නට හෝ නොවටිනාමය කියා ඉවත විසිකරන්නට නොව රැකගෙන වඩ වඩාත් අගය කළ යුතු දෙයක් බව ලොවට පසක් කරන්නට අපේම ශ්‍රී ලාංකේය දියණියකට හැකිවීම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ද අභිමානයකි. ලොවක් ඉදිරියේ මේ හපන්කම කළේ අවුරුදු දොළහක් වයසැති කළු කෙල්ලකි. සුදු හමට සලකන මිනිසුන් ඉදිරියේ දී එහි වටිනාකම තවත් ඉහළය.

intelligence quotient(IQ) අයි කිව් එහෙමත් නැත්නම් බුද්ධිමය ගුණාත්මකභාවය අතීතයේ සිටම මිනිසුන්ගේ බුද්ධි ප්‍රමාණය විමසා බලන ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමකි. පසුගිය දා නිමාව දුටු එංගලන්තයේ චැනල් 4 නාලිකාව මඟින් මෙහෙය වූ අවුරුදු 8 ත් 12 ත් අතර දරුවන්ගේ බුද්ධිය විමසා බැලෙන අයිකිව් තරගාවලියේ දී තමයි මේ ශ්‍රී ලාංකික දැරිය තමන්ගේ හපන්කම ලොවට පෙන්වූයේ. ඇය නිෂී උග්ගල්ල. ඇය එම තරගාවලියේදී මෙයට ඉදිරිපත්ව ලකුණු ලබාගත් මහා විද්‍යාඥයන් ලෙසින් සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් හා ස්ටෙෆන් හෝකින්ස්ගේ ලකුණු මට්ටම අභිබවා යන්නට සමත් වුණා. දැන් එංගලන්තයේ දීප්තිමත්ම ළමා බුද්ධිමතා ඇයයි. එංගලන්තයේ මැන්චෙස්ටර් පළාතෙන් තරගයට ඉදිරිපත් වූ නිෂී අවසන් වටයට මුහුණ දුන්නේ 11 හැවිරිදි විලියම් නම් දරුවා සමඟයි. ලකුණු 16 - 20 ක් ලෙසින් දෙදෙනා ලබාගනිද්දී ඇය කිරුළට හිමිකම් කිව්වා. ගණිතය, අක්ෂර වින්‍යාසය, භූගෝලය, විද්‍යාව ආදී විෂයයන්ගෙන් මෙම අයිකිව් ප්‍රශ්න සමන්විත වෙනවා. ජයග්‍රාහී කිරුළ තමන්වෙත නතුකරගත් ඇය ස්තූති කිරීමේ කතාවේ දී පැවසුවේ මෙවැන්නකි. “ඇත්තෙන්ම විස්මයජනකයි. විලියම් හොඳ සහයක් දුන්නා. බොහෝ අය හිතන්නේ ගණිතය, භෞතික විද්‍යාව කියන්නේ ගැහැනු අයට බැරි දෙයක්, ඔවුන් එම විෂයයන්ට අදක්ෂයන් විදිහටයි. ඒ මතය වැරැදියි කියලා ඔප්පු කරන්න, ඔවුන් ඒ සඳහා ද දක්ෂයන්බව පෙන්වන්නට මට වුවමනා වුණා. මගේ මේ ජයග්‍රහණය කියන්නේ ගණිතය, භෞතික විද්‍යාව පමණක් නොවේ ගැහැනුන්ට ඕනෑම දෙයක් පුළුවන් බවයි.” ළමාකමට ඇය කළ මේ ප්‍රකාශය නිසා ඇය තවත් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඇගේ එම කතාව හැමෝගෙම ප්‍රශංසාවටත් නොමඳ අවධානයටත් ලක්වුණා. බොහෝ අයට එම කතාව පුදුමයක් වුණා.

මැන්චෙස්ටර් හි උසස් ව්‍යාකරණ පාසලකට සහභාගීවන නිෂී එම පාසලේ දී හැඳුනුම් ලබන්නේ ‘මානව කැල්කි්‍යුලේටරය’ නමිනි.ඒ neurohypophysis  කියන වචනයේ අකුරු හරියටම කියන්නට ඇයට හැකි වුණ නිසයි. නරඹන්නන් වෙතින් ඇය වෙත ඇදී ආවේ ප්‍රීති ඝෝෂායි. “හරිම විස්මය ජනකයි. මම අත්පුඩි ගැහැව්වේ පුදුමයෙන්”, “ඇත්තටම පුදුමාකාරයි. ඇය එය හොඳින්ම කළා” වැනි ප්‍රකාශ නරඹන්නන්ගේ මුවින් ගිලිහුණා.

නිෂීගේ පියා නීලංග උග්ගල්ල. අයිටී ආරක්ෂකයෙක් විදිහට සේවය කරන ඔහු බාක්ලේ බැංකුවේ උප සභාපති ද වනවා. අම්මා, ශිරෝමි ජයසිංහ ගණකාධිකාරීවරියක් ලෙසින් සේවය කරනවා. ඉතින් මේ පුංචි දියණියට තමන්ගේ හැකියාවන් මතින් ලෝකයම තරණය කරන්නටත් ලාංකේය නම බබලවන්නටත් හැකි වේවා කියලා අපි ද ප්‍රාර්ථනා කරන්නෙමු.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.