වෙලාවට වැඩ කිරීමට තාත්තාගෙන් ලැබුණු පාඩම මුළු ජීවිතයටම වටිනවා

චේතනා ලියනගේ
අප්‍රේල් 29, 2024

ඇය ජීවිතයේ විශාල කැපවීමක් කළ චරිතයකි. එසේ ඇය දක්ෂතා රැසක් හිමි දක්ෂ මාධ්‍යවේදිනියකි. හිමිදිරියේ අවදි වූ විට ඇයට කරන්න පැවරුණු රාජකාරී හා වගකීම් ගොන්නකි. ඒ සියලු කටයුතු හා රාජකාරි ගොන්න වෙලාවට හරියටම කරන්නට ඇය හුරු වී තිබුණේ තම පියාගෙන් ලැබූ ආභාසයෙකි. තම මවුපියන්ගෙන් ලබන ආභාසය හා මඟපෙන්වීම තුළින් තමා දස්කම් පෙන් වූ ක්ෂේත්‍රයේ ඉහළටම යන්නට හැකිවීම ඈ ලැබූ භාග්‍යයකි.

එසේම තම නම කියූ පමණින් මුළු රටම දන්නා චරිතයක්වීම ද විශාල දක්ෂතාවකි. චේතනා මනෝරම්‍ය ලියනගේ නැතිනම් අප කවුරුත් දන්නා චේතනා ලියනගේ. ඇය මේ වනවිට මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ලැබූ මාධ්‍යවේදිනියකි. එසේම ඇය මහරාජා සමූහයේ පරිපාලන අංශයේ වගකීම් රැසක් හිමි ඉහළම තනතුරක් දරයි. ඇය මේ වනවිට මහරාජා සමූහයේ මහජන සම්බන්ධතා කළමනාකරණ අංශයේ නිපුණතා අධ්‍යක්ෂවරිය ලෙසින් වගකීම් රාශියක් දරමින් කාර්ය බහුල නිලධාරිනියක ලෙස කටයුතු කරයි.

මෙතරම් වගකීම් සමුදායක් හොබවන ඇය තම ජීවිතය දෙස ආපසු හැරී බලන්නේ හැඟුම්බර ලෙසිනි. ඇයට මෙතරම් දුරක් එන්නට පසුබිම නිර්මාණය වූ තම මවුපියන්ගේ ආභාසය හා පෙරහුරුව නිසා ඇය තම ජීවිතයේ බොහෝ දෑ ඉතා සාර්ථක ලෙසින් ළඟාකරගෙන තිබේ. ඒ ළඟාකර ගත් දේ පසුපස ඇයගේ ආදරණීය පියාගෙන් ලැබුණු ගුරුහරුකම් හා ආදර්ශය ඈ දක්ෂ මාධ්‍යවේදිනියක් බවට පත්වීමට මූලික අඩිතාලම නිර්මාණය කරන ලදි. පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙසින් අතිවිශාල මෙහෙවරක් ඉටුකළ ගුණදාස ලියනගේ මහතාගේ බාලම දියණිය ලෙසින් චේතනා වසර ගණනාවක් පුරා සිරස රූපවාහිනි නාළිකාවේ අඛණ්ඩව ප්‍රවෘත්ති නිවේදනය කරමින් වාර්තාවක් තබන්නට සමත් වූයේ පියාගේ අඩි පාරේ ඉතාම වගකීමෙන් යුතුව ගමන් කිරීමෙනි. ඒ අතීත අත්දැකීම් හා ගුරුහරුකම් ගැන ඇය ආවර්ජනය කරන්නේ මහත් සතුටිනි. එසේම මහත් ගෞරවයෙනි.

“මම නිවේදිකාවක් වෙන්න ඕනේ‍ කියලා කවදාවත් හිතුවේ නැහැ. හැබැයි අනුලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ පාසලේ තිබුණු සෑම උත්සවයේදීම, කලා කටයුත්තකදීම මට නිවේදන කටයුතු කරන්න අවස්ථා ලැබුණා. දවසක් අහම්බෙන් තමයි මේක මට කරන්න සිද්ධ වුණේ.

“ෂා.... ඔයාට හොඳ නිවේදන හැකියාවක් තියනවානේ කියලා හැම කෙනෙක්ම කියන්න ගත්තා. ඊට පස්සේ තමයි මම ටී. එන්.එල් රූපවාහිනියට අයදුම්පතක් දැම්මේ. සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. ශාන් වික්‍රමසිංහ මහත්තයා හුඟක් සතුටු වුණා. එදා මගේ තනි නොතනියට ගියේ තාත්තා. අපේ ආරක්ෂාව ගැන හොයලා බලලා තනි නොතනියට ආවට කිසිම දවසක තාත්තාගේ හිතවත්කම් මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න යොදා ගත්තේ නැහැ. ඔහු කිසිම දවසක ඒකට කැමැති වුණෙත් නැහැ.”

“ඔයා ඔයා‍ගේ හැකියාවෙන් ඉදිරියට යන්න... තනියම නැගිටින්න කියලා තමයි තාත්තා මට හැම අවස්ථාවකම කිව්වේ.

නමුත් පියකුගෙන් දියණියකට ලැබිය යුතු ආරක්ෂාව හා රැකවරණය ගැන තාත්තා හැම වේලාවෙම හිතනවා. මට මතකයි මම ප්‍රවෘත්ති කියලා ගෙදර එනකම් ගෙදර, දොර ජනෙල් වහන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මම ගෙදරට ගොඩ වුණාට පස්සේ තමයි ජනෙල් වහන්නේ. ඒ වගේ මගෙයි අක්කාගෙයි දෙන්නගෙන් ආරක්ෂාව ගැන තාත්තා හොයලා බැලුවා.

මට තාත්තාගෙන් ලැබුණු ලොකුම දායාදය තමයි වේලාවට වැඩ කිරීමට හුරුවීම කියන දෙය. ඇත්තටම තාත්තා ගැන වර්තමාන පරපුරේ තරුණ පිරිස දන්නේ නැති වුණාට ඒ කාලේ තාත්තා හරිම කාර්යබහුල මාධ්‍යවේදියෙක්. ඔහු හැම දෙයක්ම කළේ හරිම පිළිවෙළට, වේලාවට. තාත්තා ගමනක් යනවා කිව්වොත් හරි, කාට හරි එන්න හරි හමුවෙන්න වෙලාවක් දුන්නොත් හරි ඒ වෙලාවට ඒක කරනවා. ඒ පුරුද්ද අපටත් ඔහු හරියටම හුරු කළා.

මට මතක හිටින සිදුවීම් ගණනාවක් තියේනවා. අපි වෙලාවට වැඩ නොකරපු නිසා විඳින්න වුණු දඬුවම්. දවසක් අපි ගමේ යන්න ලෑස්ති වුණා. උදේම යන්න තිබුණේ. ගෙදර ඔක්කොම ලෑස්ති වෙලා වාහනයට නැග්ගා. මට ඇහැරෙන්න ප්‍රමාද වුණා. මට මූණ සෝදන්නත්, දත් මදින්නවත් වෙලාවක් තිබුණේ නැහැ. දැන් මට කරන්න දෙයක් නැහැ. කිසිම අයෙක් නැතුව මම ඇඳුම් බෑග් එකත් අරගෙන නැග්ගා. මඟදී මේක අයියා තාත්තාගේ කනේ තිබ්බා. ඉතින් ගමන යනකම් බැණුම් ඇහැව්වා.

ඇත්තට එදා තාත්තා වෙලාවට වැඩ කරන්න හුරු කරපු එකේ වටිනාකම මට තේරුණේ මම මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරනකොට. තත්පරයක් කියන්නෙත් ඉතාම වටිනා දෙයක් බව එදා මම නිවේදන කටයුතු කරනකොට තේරුණා.

තාත්තා කිසිම දවසක ඉගෙනීමේ වැඩවලට අපට බලපෑම් කළේ නැහැ. නමුත් ඔහු ආදර්ශවත් ලෙස කටයුතු කළා. අපේ ගෙදර පුංචි කාලේ පටන්ම තිබුණේ පොත්පත්. අනෙක් දරුවන්ට වගේ සෙල්ලම් බඩු තිබුණු ගෙදරක් නොවෙයි. ඒ නිසා අපි වැඩිපුරම ඇසුරු කළේ පොත්පත්. ගේ පුරාම පොත් තිබුණු නිසා ඒවා තමයි අපේ සෙල්ලමට ගත්තේ. පොත් කඩයක් දානවා... එහෙම නැත්නම් පුස්තකාලයක් දැමීම තමයි අපේ හතර දෙනාගේ සෙල්ලම් වුණේ.

අපේ අම්මා චන්ද්‍රලතා ලියනගේ. ඇය කථිකාචාර්යවරියක්. ඒ වගේම අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ලෙස ඇය අපව අධ්‍යාපනය පැත්තට යොමු කළා. මගේ ලොකු අක්කා කරාපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ශ්‍රීමත් සහ වජිර අයියලා දෙන්නාම මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. අපට මවුපියන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම හා අපේ ගෙදර පසුබිම නිසා තමයි අපට මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ තරම් ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ. හැබැයි කිසිම දවසක තාත්තා ඒ කිසිම මාධ්‍ය ආයතනයක ඉහළ නිලධාරියකුට කතා කරලා මගේ දරුවාට විශේෂත්වයක් දක්වන්න කියලා ඉල්ලීම් කරලා නැහැ. ඔහු ඇත්තටම හරි ගාම්භීර චරිතයක්. කිසිම වෙලාවක අයුක්තියට නැමෙන්නේ නැහැ. තමුන්ට පැවරුණු රාජකාරිය අකුරට ඉටු කරනවා. ඒ වගේම ඒ වැඩේ වෙලාවට කරනවා. තාත්තාගේ තිබුණු ඒ ගුණාංග මට හරියට ග්‍රහණය කර ගන්න පුළුවන් වුණා.

මට මවක් ලෙස පැවරුණු වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම නිවෙසේ රාජකාරි කටයුතු සියල්ල මම හොඳින් කළමනාකරණය කර ගන්නේ එදා තාත්තයි අම්මයි අපට කුඩා කාලේ පටන්ම ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දුන්න නිසයි. නමුත් ඒ නිදහස පසුපස හැම වේලාවෙම අම්මගෙයි තාත්තාගෙයි අධීක්ෂණය තිබුණා. ඒක ඔවුන් කළේ ඉතාම උපායශීලී ආකාරයට. විශේෂයෙන්ම මටයි අක්කටයි ගැහැනු දරුවන් ලෙස විශේෂ අවධානයක් යොමු කළා. ඇත්තටම තාත්තාගෙන් ලැබුණු ඒ රැකවරණය වගේම ආභාසය ගැන දවසින් දවස වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ.”