ප්‍රවෘත්ති නිවේදිකාවක් කියලා හඳුන්වනවට මම කැමැතියි

ඇය ටෙලි නාට්‍යයේ රිතූ ගෙ චරිතයට පණ පොවන
ජුනි 17, 2020

රුවැත්තිය චතූ රාජපක්ෂ

කොවිඩ් වසංගතයත් එක්ක සෑම ක්ෂේත්‍රයකම වාගේ විවිධ වෙනස්කම් සිදුවුණා. කලා ක්ෂේත්‍රයටත් එය එලෙසින්ම බලපෑවා. ටෙලි නාට්‍ය විකාශනයත් කෙටි කාලයකට නවතා තිබුණා. ඒ විදිහට ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ඇය ටෙලි නාට්‍යත් නවතා තිබිය දී, පසුගියදා විකාශය නැවත ඇරැඹුවා.

නමුත් චරිත කිහිපයක්ම වෙනස් වෙලා. මේ වෙනස ගැන ඇය ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ මහතාගෙන් විමසා සිටියා. රිතූගේ චරිතයට පණපෙවූ විදුෂි උත්තරා වෙනුවට දැන් රංගනයෙන් දායක වන්නේ නවක නිළියක්. ඔහු ඇයව තරුණි පුවත්පතට හඳුන්වා දුන්නා. ඇය චතූ රාජපක්ෂ.

මේ දිනවල වැඩ කටයුතු කොහොම ද?

කොරෝනාවලින් පස්සේ ලොකුවට අලුතෙන් කලා කටයුතුවල වැඩ පටන් අරන් නැහැ. නමුත් ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම සිරස ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් කටයුතු කරගෙන යනවා.

ඇය ටෙලි නාට්‍යයේ රිතූ වෙන්න ලැබුණේ කොහොම ද?

මේ චරිතය කලින් කළේ විදුෂි. ඇයට හදිස්සියේම විදෙස් ගත වෙන්න සිදු වුණා. ඊට පස්සේ ඇය ටෙලි නට්‍යේ අධ්‍යක්ෂක ඇතුළු කාර්යමණ්ඩලය කාලයක් ඒ චරිතයට සුදුසු කෙනෙක් සොයමින් ඉඳලා තියෙනවා. අවසානයට මට කතා කළා. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පස්සේ එයාලා තීරණය කළා මං මේ චරිතයට සුදුසුයි කියලා. ඒ විදිහටයි මම මේ චරිතයට අවතීර්ණ වුණේ.

වෙනත් කෙනකු කළ චරිතයක් කිරීම අභියෝගයක් නෙවෙයි ද?

ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. අලුත්ම චරිතයක් කරද්දී හරි පහසුයි. මගේ හැකියාවන් දාලා මගේ විදිහට ඒ චරිතය හොඳට කරගන්න පුළුවන්. වෙනත් කෙනකු අනුකරණය කරන එක කරන්න අපහසුයි. වෙලාවකට හිතෙනවා මෙහෙම දෙයක් බාර ගත්තේ අපරාදේ කියලා. නමුත් මෙය මගේ ජීවිතයේ හම්බුණු ලොකු අවස්ථාවක්. ඉතිං රිතූ කියන චරිතයට සාධාරණයක් කරන්න මං උත්සාහ කරනවා.

ප්‍රේක්ෂකයින් ඔබේ චරිතය ගැන මොකද කියන්නේ?

මගේ රංගන දායකත්වයෙන් පසු තාම සති දෙකක් වගේ තමයි ඇය විකාශය වෙලා. ප්‍රදාන චරිත දෙකක්ම වෙනස් වුණා. හැමදාම ඇය බලපු ප්‍රේක්ෂකයන්ට මෙය තරමක් නුහුරු ගතියක් දැනෙයි. අපිට වුණත් එහෙමනේ.

අපි කෙනෙක්ව හැම දාම දැකලා දැකලා ඒ කෙනා වෙනස් වුණාම අපිටත් නුහුරු බවක් දැනෙනවා. ඒ නිසා තාම ප්‍රේක්ෂකයා කැමැති වෙන්නේ නැහැ අලුත් කෙනාට. අලුත් කෙනාවයි පරණ කෙනාවයි ප්‍රේක්ෂකයින් සංසන්දනය කරනවා. ඒ නිසා තාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.

රිතූගේ චරිතයට ඊට කලිනුත් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ ඒක නපුරු චරිතයක් නිසා. ඉතිං රිතු චරිතයේ පරණ කෙනාව මිනිස්සුන්ට අමතක වෙලා අලුත් කෙනා ඔළුවට යනකම් මං හිතන්නේ නැහැ හොඳ දෙයක් අහන්න පුළුවන් වෙයි කියලා.

 

 හැඩගැන්වීම -සැලෝන් ඩැන්ඩි

ඡායා -  ප්‍රියන්ත බණ්ඩාර

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.