අලුත් අවුරුද්දට සාදාගත හැකි කිරිබත් වර්ග

අප්‍රේල් 8, 2020

ඉඹුල් කිරිබත්

 

එකම ආහාර රටාවකට කොටුවී සිටින දරුවන්ට අලුත් අවුරුදුදා වත් ඔවුන් ආස කරන දෙයක් සාදා දෙන්න අම්මලා කැමැති ඇති.

පැණි රස කන්න පොඩි දරුවන් කවදත් ආසයි. ඔවුන් වෙනුවෙන්මයි මේ රසවත් ඉඹුල් කිරිබත.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳීන් සාදාගත් කිරිබත්

( නිවෙන්නට හරින්න එපා)

පොල් බෑයක පමණ ගාගත් පොල්

සීනි ග්‍රෑම් 200 ක් හෝ

පොල් පැණි බෝතල් 1/2 ක්

එනසල් කරල් 2 ක්

කරාබු නැටි 2 ක්

වතුර කෝප්ප 1/2 ක්

රස අනුව ලුණු

පැණි පොල් සාදන ආකාරය

භාජනයකට සීනි ටික දමා ළිප තබා රන්වන් පැහැ වනවිට වතුර කෝප්ප 1/2 ද එක්කර හොඳීන් උණුකරගන්න. ( පැණි නම් රත්කරගන්න) ඉන්පසු එයටම ලුණු, එනසල්, කරාබු නැටි එකතුකර අවසානයේ ගාගත් පොල් ටිකද එක්කරන්න. පොල්වලට පැණි හොඳීන් උරාගත් පසු ළිපෙන් ඉවත්කර ගන්න.

ඉඹුල් කිරිබත් සාදන ආකාරය

කෙසෙල් කොළයක් ගෙන එයට පොල් කටු හැන්දක පමණ කිරිබත් ප්‍රමාණයක් දමන්න. එය හැන්දෙන්ම තුනීකර ගන්න. මේ සඳහා පීරිසියක රවුමක් වුවද යොදාගත හැකියි.

ඉන්පසු සාදාගත් පොල් පැණි මේස හැන්දක් පමණ තබා එය දෙකට නමා රෝල්කර හැඩකර ගන්න. මේ ආකාරයෙන් අවශ්‍ය තරම් සාදාගන්න. පැණි රස නිසා කෑමට වෙනත් දෙයක් අවශ්‍ය වන්නේද නැත.

----------------------

කොස් කිරිබත්

මේ දිනවල පවතින ආහාර ලබාගැනීමේ අපහසුතාවයත් සමඟම කොස්වලට ඇත්තේ විශාල ඉල්ලුමකි.

කොස් ශක්තිජනක මෙන්ම ප්‍රතිශක්තිය වඩවන දේශීය ආහාරයක් බව සැවොම දන්නා කරුණකි. මේ කාලයට ගැළපෙන පරිදි කොස් මිශ්‍ර මේ කිරිබත සකසන්න සිතුවේ ඒ නිසාමයි. කුඩා දරුවනුත් ගොඩක් ආසා වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හෝ කැකුළු සහල් ග්‍රෑම් 500 ක්

සිහින්ව කපාගත් කොස් ග්‍රෑම් 500 ක්

මිටිකිරි අඬු කෝප්ප 3 ක් පමණ

රස අනුව ලුණු

සාදන ආකාරය

සහල් හොඳීන් සෝදා අවශ්‍ය තරම් වතුර දමා ළිප තබන්න. එයටම ලුණු ද එක්කරන්න. බත තැම්බීගෙන එනවිට මිටිකිරි දමා එයටම සිහින්ව කපා ගත් කොස් ටිකද එක්කර හොඳීන් කලවම් කරන්න. කොස් තැම්බෙන්නට මඳ වේලාවක් තබා ළිපෙන් ඉවත්කරගන්න.

ඉන්පසු බන්දේසියකට දමා තුනීකර හොඳීන් නිවෙන්නට හැර කැමැති ආකාරයෙන් කෑලි කපා ගන්න.

සුදුසු බඳුනකට දමා කෑමට පිළිගන්වන්න.

 

-------------------------

 

පොංගල් බත

 

සිංහල මෙන්ම හිංදු ජනතාවත් උදාවන මේ අලුත් අවුරුද්ද සමරන බව අපි කවුරුත් දන්නා කරුණකි.

ජාති, ආගම් භේදයකින් තොරවම කොරෝනා වෛරසය ගම්, නගරවල සැරිසරද්දී සහෝදර හිංදු ජනතාව ද අද නිවාසවලටම කොටුවෙලා. ඔවුන් වෙනුවෙනුයි මේ පොංගල් බත.

අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් ග්‍රෑම් 200 ක්

හොඳීන් බැද කුඩුකරගත් මුංඇට

ග්‍රෑම් 100 ක්

කුඩාවට කපාගත් හකුරු

ග්‍රෑම් 100 ක්

බටර් හෝ එළඟිතෙල් ග්‍රෑම් 25 ක්

කජු මද ග්‍රෑම් 15 ක් පමණ

පොල් ගෙඩි 1/2 ක පමණ ගාගත්

පොල්

කරඳමුංගු ඇට 3 ක්

කරාබු නැටි 3 ක්

කහ කුඩු තේ හැඳී 1/4 ක්

නැවුම් එළකිරි මිලිලීටර් 150 ක්

අවශ්‍ය පදමට ලුණු

සාදන ආකාරය

බඳුනක් ළිප තබා එයට සෝදාගත් සහල් සහ කුඩුකරගත් මුං ඇට දමා අවශ්‍ය තරම් වතුරද එක්කරන්න. එයටම කිරි ටික ද දමා විනාඩි 25 ක් පමණ තැම්බෙන්නට හරින්න.

ඉන්පසු කුඩා භාජනයක් ළිප තබා එයට වතුර ස්වල්පයක් හා හකුරු එක්කර හොඳීන් දියකර ගන්න. එයටම කහ කුඩු ද එක්කර පසෙකින් තබන්න.

 

දැන් වෙනත් භාජනයක් ළිප තබා එයට බටර් හෝ එළඟිතෙල් දමා දියවෙන්නට හැර කරඳමුංගු, කරාබු නැටි කුඩු එක්කරන්න.

ඉන්පසුව කලින් සාදාගත් මුංඇට මිශ්‍රණය හා හකුරු මිශ්‍රණය මෙයට එක්කර හාගත් පොල් ද එක්කරන්න. රස අනුව ලුණු ද දමා විනාඩි 5 ක් පමණ මඳ ගින්දරේ පිසගන්න.

මෙය මේසයට පිළිගැන්විමේදී කෙසෙල් කොළයක් මත තබා කජු මද උඩින් ඉසින්න.

 

 

 

උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී

සර්වදර්ශනී අප්සරා