අංක 1 සැලෝන් එක ඔබේ කරගන්නට නම්...

අප්‍රේල් 29, 2024

පිරිසුදුකම, පිළිවෙළ සැලෝන් එකක අංක 1 බවට පත්විය යුතුමයි. පාරිභෝගික ආකර්ෂණය නොමඳව ලැබෙනුයේ, වරක් පැමිණි ගනුදෙනුකරුවකුට නැවත නැවත ඇදී එන්නට සිත නැඹුරු වන්නේ ද ඒ අනුවයි.

රූපලාවණ්‍ය සත්කාර කරද්දී ඒ සඳහා භාවිත කරන උපාංගවල පිරිසුදුකම පිළිබඳ සැලකිලිමත් විය යුතුම වේ. පසුගිය සතියේදී රූපලාවණ්‍යාගාරයක නිතර භාවිත වන උපකරණ කිහිපයක් පිළිබඳ කතාබහ කළා ඔබට මතක ඇති. රූපලාවණ්‍යාගාරයක තිබිය යුතු තවත් එවැනිම අත්‍යවශ්‍ය උපාංග කිහිපයක් භාවිතය, නඩත්තුව, පිරිසුදුකම, ජීවානුහරණය පිළිබඳ මෙවරත් කතා කරමු.

ෆේෂල් ස්ටීමරයක් පවත්වාගෙන යෑම

ෆේෂල් ස්ටීමරය යනු මුහුණු ප්‍රතිකාරවලදී සම ස්ටීම් කිරීම සඳහා යොදා ගන්නා උපකරණයයි. එය සම පිරිසුදු කිරීම සඳහා මහඟු දායකත්වයක් සපයයි.

ෆේෂල් ස්ටීමරය නිසි පරිහරණය සහ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. සේවාදායකයාගේ මුහුණට භාවිතයෙන් පසු සෑම අවස්ථාවකදීම එය පිරිසුදුව තබා පවත්වා ගත යුතුය. ෆේෂල් ස්ටීමරයේ වතුර භාජන කොටස සියලු සේවාවක් අවසානයේදී ම, ප්‍රවේසම් සහගත ලෙස ගලවා එහි වතුර ඉවත්කොට, නැවත පරිහරණයට පෙර වියළාගත යුතුය. එක් සේවාදායකයෙක් වෙත භාවිත කරන ලද වතුර භාජනය නැවත පිරිසුදු කිරීමකින් තොරව තවත් සේවා දායකයකු වෙත භාවිත නොකළ යුතුය.

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* විෂබීජ නාශකයක්

* රෙදි කැබැල්ලක්

 

පිරිසුදු කරගන්නා පිළිවෙළ

* රත් වූ ජලය ඇති භාජන කොටස නිවුණු පසු ස්ටීමරයේ ජලය ඉවත් කරන්න.

* එම කොටස සෝදා ජලය පෙරෙන්නට තබන්න.

* පිරිසුදු රෙදි කැබැල්ලකින් විෂබීජනාශක දමා ස්ටීමරය පිස දමන්න.

* නැවත වතුරින් පෙඟවූ රෙදි කැබැල්ලකින් ස්ටීමරය පිසදමන්න.

 

 

මෙනිකියු, පෙඩිකියු උපකරණ පවත්වාගෙන යාම මෙනිකියු, පෙඩිකියු උපකරණ පිරිසුදු කිරීම යන්නෙන් අදහස් වන්නේ ඒවා ජීවාණුහරණය කිරීමයි.

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* විෂබීජනාශක

* පිරිසුදු ජලය

 

පිරිසුදු කරන පියවර⁣යන්

* මෙනිකියු, පෙඩිකියු උපකරණ

විෂබීජනාශක දමා සෝදා පිරිසුදු කරන්න.

* තෙත මාත්තු කරන්න.

* වේළුණු පසු ජීවානුහරණයේ දමා ජීවානුහරණය කරගන්න. පසුව ෆොයිල් පේපර්, රැපින් පේපර්වල ඔතා තබන්න.

දෙපා පිරිසුදු කරන උපකරණ පවත්වාගෙන යෑම

පෙඩිකියු කිරීමේදී භාවිත කරන මෙම උපකරණය සෑම භාවිතයකින් පසුව ක්‍රමානුකූලව විෂබීජනාශක දමා පිරිසුදු කරගත් පසු පිස දමා ගත යුතුය. මෙයින් උපකරණය සම්පූර්ණ පිරිසුදු වීම හා ජීවානුහරණය වීම අපේක්ෂා කෙරේ.

 

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* විෂබීජනාශක

* පිරිසුදු රෙදි කැබැලි

පිරිසුදු කරන පියවරයන්

* සේවාදායකයාට භාවිත කිරීමෙන් පසු උපකරණයෙහි ජලය ඉවත් කරන්න.

* දෙපා පිරිසුදු කිරීමෙන් පසු විෂබීජනාශක දමා සෝදන්න.

* තෙත මාත්තු කරන්න.

* වියළුණු පසු නියමිත ස්ථානයේ තැන්පත් කරන්න.

විදුලි නියපොතු වියළනය

මෙම උපකරණය සම්පූර්ණයෙන්ම පිරිසුදු කිරීම මෙයින් අපේක්‍ෂා කෙරේ.

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* විෂබීජනාශක

* පිරිසුදු රෙදි කැබැල්ලක්

පිරිසුදු කරන පියවරයන්

* විදුලි නියපොතු වියළනයේ පිටුපස කොටසේ දූවිලි තැන්පත් වී ඇත්දැයි බලන්න.

* එසේ නම් ගලවා පිරිසුදු කරන්න.

* කියුටෙක්ස් ආලේපන ද්‍රව්‍යයන් ගෑවී ඇත්නම් කියුටෙක්ස් ඉවත් කිරීමේ ද්‍රාවණයක් මඟින් එය පිරිසුදු කරගන්න.

* පිරිසුදු රෙදි කැබැල්ලක් ගෙන විෂබීජනාශක රෙදි කැබැල්ලක පොඟවා විදුලි වියළනය හොඳින් පිස දමන්න.

 

ෆේෂල් බෙඩ්

ෆේෂල් කිරීම සඳහාත් රූපලාවණ්‍යගාරයක කටයුතු පහසු කරගැනීම සඳහාත් භාවිත කරනු ලබන මෙම භාණ්ඩ ඉතා හොඳින් පිරිසුදු වී තිබීම මෙයින් අපේක්ෂා කෙරේ.

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* විෂබීජනාශක දියරයක් හා පිරිසුදු රෙදි කැබැල්ලක්

පිරිසුදු කරන පියවර

* මුලින්ම දූවිලි පිස දැමීමෙන් අනතුරුව විෂබීජනාශක යෙදූ රෙදි කැබැල්ලකින් පිස දමා පිරිසුදු කර ගත යුතුය.

හිස ආවරණ පටි හා තුවා පිරිසුදු වීම

මේවා සම්පූර්ණයෙන්ම ජීවානුහරණය වී තිබිය යුතුයි.

පිරිසුදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

* සබන් වර්ගයක් හෝ රෙදි සෝදන කුඩු වර්ගයක්

* විෂබීජ නාශක

 

පිරිසුදු කරන පියවරයන්

* සබන් හෝ සෝදන කුඩු දමා හිස ආවරණ පටි හා තුවා සෝදා ගන්න.

* තුවා අව්වේ වේළා ගන්න. වඩා අපිරිසුදු නම් උතුරන උණු වතුරේ තම්බාගන්න.

* හොඳින් අව්වේ වියළා මැද ගන්න.

* ජීවානුහරණයේ දමා ගන්න.

* නියමිත රාක්කවල තැන්පත් කරන්න. මෙහිදී ෆේෂල් සඳහා භාවිත කරන තුවා සහ පාද සඳහා ගන්නා තුවා මෙන්ම හිස සඳහා භාවිත කරන තුවා වෙන වෙනම භාවිත කිරීම, පවත්වාගෙන යාම හා ගබඩා කිරීම වෙන් වෙන් වශයෙන් සිදුවිය යුතුයි. කිසිදු විටෙක ෆේෂල් සඳහා භාවිත කරන තුවා සමඟ ගබඩා නොකළ යුතුයි.

රූපලාවණ්‍යාගාරයකදී එදිනෙදා භාවිත කරන උපකරණ සෑම සේවා ලබාදීමකින්ම පසුව පිරිසුදු කිරීම හා ජීවානුහරණය කළ යුතු උපකරණ ජීවානුහරණය කරගත යුතුය. මෙහිදී තුවා, හිස් ආවරණ, ඒප්‍රන් ආදිය වෙනම පිරිසුදු කිරීම හා ජීවානුහරණයත් Twicer, Cutical secisser වැනි උපකරණ Surgical Sprit වලින් පිස දමා ගබඩා කළ යුතුය.

ෆේෂල් කිරීම සඳහා භාවිත කරන ස්පොන්ජ් හා තුවා වෙනම පිරිසුදු කර ගත යුතුය. ස්පොන්ජ් පිරිසුදු කිරීමේදී ප්‍රථමයෙන් සබන්වලින් සෝදා විෂබීජනාශක දියරවල දමා අනතුරුව උණු වතුරේ තම්බා ස්ටීමරයක් ආධාරයෙන් භාවිතයට පෙර තම්බාගත යුතුවේ. සින්ක් එකේ බේසම තුළ ඇති කෙස් ආදිය ඉවත් කළ යුතුවේ.

රූපලාවණ්‍යාගාරයේ දොරවල්, හැන්ඩ්ල් හා කන්නාඩි පැල්ලම් නොසිටින සේ තෙමා ගත් පත්තර පිටුවක ආධාරයෙන් පිරිසුදුකර පිස දමා ගත යුතුය. භාණ්ඩවල ඇති දූවිල්ල දූවිලි පිස්නයකින් ඉවත් කරන්න.

ෆේෂර් ස්ටීමර් හා හෙඩ් ස්ටීමර් තුළ භාවිත කර ඉතිරි වූ වතුර දිනපතා ඉවත් කළ යුතුය. රූපලාවණ්‍යාගාරයේ පොළොව විෂබීජ නාශකයක් දමා මොප් කරගත යුතුය. එසේම සනීපාරක්ෂක ස්ථාන(Wash Room) දිනපතා උදේ සවස සෑම භාවිතයකින් අනතුරුවම පිරිසුදු කළ යුතුය.