හරියටම ඔයිල් මසාජ් එකක් කරමු ද?

අප්‍රේල් 29, 2024

 

 

හිසකේ විලාසිතාවලට මෝස්තර ලෝකයේදී ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. විලාසිතාවන් දැමීම දක්වා හිසකේ වඩවා සකසා ගැනීමත් එම මෝස්තර ලෝකයේ සැලකිය යුතු රාජකාරියක් වී තිබේ. මෝස්තර ලෝකයේදී යැයි අප කීවාට හිසකේ විලාසිතාවක් දැමෙන්නේ මෝස්තර සංදර්ශනයකදී හෝ විලාසිතා දැක්මකදී පමණක් නොවේ. අද සාමාන්‍ය ගමනට බිමනටත්, විනෝද ගමනටත්, මඟුල් ගෙදරටත් කාන්තාවට හිසකේ විලාසිතාව නැතිවම බැරි දෙයක් වී තිබේ.

 

හිසකේ විලාසිතා යනු?

 

යමෙකුට සුදුසු හිසකේ විලාසිතාවක් තෝරාගැනීමට මත්තෙන් හිසකේ විලාසිතාවක් යනු කුමක්දැයි හරි හැටි වටහා ගත යුතුයි. රෝමය, පැරීසිය, ලන්ඩනය, ලොස්ඇන්ජලීස්, ටෝකියෝ, සිංගප්පූරුව වැනි විලාසිතා ලෝකයේ නමක් දිනූ ලෝපතළ පුරවරවලටත් අප ශ්‍රී ලංකාවේත් හිසකේ විලාසිතාවලට ඉපැරැණි ඉතිහාසයක් තිබේ. අපගේ රාජ කුමාරිකාවන් පවා හිසකේ සෝදා පිරිසුදු කොට සඳුන්, කොකුම්, නිල් අවරිය තැවැරූ බවත්, සුවඳ පැන්වලින් සුවඳ ගැල් වූ බවත් කියැවේ.

 

අද නවීන තාලයට අනුව හිසකේ විලාසිතා සැකසීම හා හිසකේවලට සත්කාර කිරීමේ ක්‍රම බොහොමයක් දියුණු ලෝකය හා බැඳී පවතී. මේ ක්‍රම හා ආලේපන බොහොමයක් සැකසී තිබෙන්නේ නවීන තාක්ෂණික උපකරණ භාවිතකර ගැනීමෙන් සිදු කිරීමටය. හිසකේ විලාසිතාවක් දැමීමට පෙර හිසකේ වර්ගය හඳුනාගෙන ඊට අවශ්‍ය සත්කාර කිරීමෙහි නිරතවීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. යලට මහට හිස සෝදා කිසිදා ප්‍රතිකර්මයක් හිසකේ සඳහා නොකර අවශ්‍ය වූ මොහොතේදී පමණක් හිසකේ විලාසිතාවක් දැමීම කෙලෙසින්වත් සුදුසු දෙයක් නොවේ.

හිසකේවලට නිතර නිතර පොල්තෙල් දැමීම හිසකේ විලාසිතා සැකසීමේදී අහිතකර ද?

 

තම තමන්ගේ මනාපය අනුව හිසට පිරිසුදු රත්කර නිවාගත් පොල්තෙල් දැමීම හෝ වෙනත් තෙල් වර්ගයක් දැමීම කෙලෙසින්වත් අහිතකර දෙයක් නොවේ. සතියකට දිනක් හෝ දෙකක් තෙල් ඉතා ස්වල්පයක් බැගින් ගෙන හිසකේ මුල් පිරිමදිමින් අලේප කිරීමත් ඒ සමඟම හිසකේ මුල් ඉතා මුදු ලෙසින් සම්බාහනය කිරීමත් හිසකෙස්වලටත්, හිස්කබලටත් මනසටත් බෙහෙවින් ප්‍රයෝජනවත්ය. හිසකේ අගිස්වලට තෙල් ගැල්වීම ද හොඳයි.

 

හිසකෙස්වලට තෙල් දැමීම කළ යුතු වන්නේ නාන්නට පෙර දිනයේය. හිසකේ විලාසිතාවක් දැමීමේ දී තෙල් ගතිය සම්පූර්ණයෙන් සෝදා හැර හිසකේ පිරිසුදුකර තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. හිසකේ විලාසිතාවක් දැමීමේදී මතුපිටින් ආලේප කරන යම්යම් ආලේපන නිසා තෙල් ගල්වා තිබීම අවහිරයක් වෙයි.

 

හිසකෙස් සෝදා පිරිසුදුකර ගැනීම.

මෙය ඔබට දිනපතා දිය නෑමෙන් හෝ හිසකේ සේදීමෙන් කළ හැකියි. ඔබ තෝරා ගත් හොඳ ප්‍රමිතියකට අනුව සැකසුණු ෂැම්පු වර්ගයක් මේ සඳහා භාවිත කළ හැකියි. හිසකේ සේදීම කළ යුත්තේ හොඳින් හිරුඑළිය ඇති විටය. හිසකේ සේදීම වගේම වියළා ගැනීම ද වැදගත් වෙයි. අවශ්‍යම විටකදී හෙයාර් ඩ්‍රයර් එකක් මඟින් හිසකේ වියළා ගැනීමට පුළුවනි.

 

සබන් වර්ග අහිතකර ද?

සාමාන්‍යයෙන් වත්මන් දියුණු සමාජයේ සබන් වර්ගවලට වඩා හිසකේ සෝදා පිරිසුදුකර ගැනීම පිණිස අද භාවිත කරන්නේ ෂැම්පු වර්ගයි. ෂැම්පු යොදා පිරිසුදු කළ හිසකෙස්වලට කන්ඩිෂන් අලේප මඟින් වඩාත් නැවුම් ගතියක් ලබාදිය හැකියි.

 

ඔයිල් මසාජ් එකක් කරමු

 

ප්‍රාණවත් බවක් නිරෝගීමත් බවත් ගෙන දෙන ඔයිල් මසාජ් එකක් කරන්නේ මෙහෙමයි. මෙහිදී අත්ලට තෙල් ස්වල්පයක් ගෙන හිසට දමා ඇතිල්ලීමයි. වැඩි දෙනෙක් කරනු ලබන්නේ තවත් සමහරු හිස්කබලට නොව හිසකෙස්වලට පමණක් තෙල් ගල්වනු ලබන අවස්ථා දක්නට ලැබෙනවා. නමුත් ඒ ආකාරයෙන් හිසතෙල් ගැල්වීම හිසකෙස්වල නිරෝගී පැවැත්මට පිටිවහලක් වන්නේ නැහැ. හිසට කරනු ලබන සත්කාරයේදී නිවැරැදි පිළිවෙළට සිදුකෙරෙන හා ඔයිල් මසාජ් එක වඩාත් හොඳින් වැදගත් වන්නේ ඉන් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි නිසයි.

 

හිසකෙස් ගැල වී යාම, හිස්හොරි අධික බව, හිසරදය නිතර ඇතිවන අයට ඔයිල් මසාජ් එකක් කිරීමෙන් ඉතා හොඳ සහනයක් ලබාගන්න පුළුවන්. දැන් අප බලමු නිවැරැදි අයුරින් ඔයිල් මසාජ් එකක් කරන්නේ කොහොමද කියලා.

මේ සඳහා කැමැති තෙල් වර්ගයක් පාවිච්චි කළ හැකියි.

මුලින්ම එක් අතක් නළලටත් අනෙක් අත නිකටට යටිනුත් තබා දෙපසට තුන් වරක් බැගින් හිස කරකවන්න.

*අත කන පිටුපසින් කොණ්ඩය අතරින් යවා හිස්කබල මඳක් තෙරපුමකට ලක් කරන්න.

*කොණ්ඩය උඩ සිට කොටසින් කොටස මෑත් කරමින් හිස් කබලෙහි වැදෙන සේ තෙල් ගල්වන්න. ඒ ආකාරයට හිසේ සම්පූර්ණයෙන්ම තෙල් තැවරිය යුතුය. ඉන්පසු පනාවකින් හිස පීරන්න. දැන් මසාජ් කිරීම අරඹන්න.

*ගෙල පහළින් පටන් ගෙන ඉදිරිපසින් මසාජ් කරමින් හිස් මුදුනට එන්න. දැන් කන අසල හිසකෙස් සීමාව අතර ප්‍රදේශය අත්ලෙන් තෙරපුමකට ලක්කරන්න.

*මෙවැනි ඔයිල් මසාජ් එකක් මසකට වරක් කිරීම ප්‍රමාණවත්. එහෙත් රෝගී කෙස් කලඹක් ඇති හිස්හොරි බහුල ගැලවී යන සුළු වියළි ස්වභාවයෙන් යුත් හිසකෙස් සහිත අයකුට සති 2කට වරක් ඔයිල් මසාජ් එකක් කිරීමෙන් හිතකර ප්‍රතිඵල ලබාගත හැකිය.