තෙල් සහ දහඩියෙන් මේක් අප් එක රැකගන්නේ කොහොමද?

සැප්තැම්බර් 30, 2020

 

ප්‍රශ්නය

21 හැවිරිදි මාගේ සම තෙල් සහිතය. මම ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කරමි.

ඒ නිසා උදැසන සිට සවස් වනතුරුම මේක් අප් එක ආරක්ෂිතව තබා ගතයුතුයි. එහෙත් මාගේ මුහුණේ තෙල් සහිත බවත් දහඩියත් නිසා එය හොඳින් පවත්වා ගැනීමට අපහසුය. මෙයට විසඳුමක් තිබේද?

පිළියන්දල - දිලිනි

 

පිළිතුර

ලස්සනට ආලේප කළ මේක් අප් එක රස්නය සහ දහඩිය නිසා බොඳ වුණු විට දැඩි අපහසුතාවට පත් වෙනවා.

බ්ලොටිං පේපර් භාවිතය මෙයට හොඳම විසඳුමයි.

Oil blotting sheets  තරමක් අලුත් දෙයක් වුණත් මෙය භාවිත කරන බොහෝ දෙනෙක් සිටිනවා.

තෙතමාත්තු කර ගැනීමට භාවිත කරන මේ බ්ලොටිං පේපර් සෑම කාන්තාවකගේම හෑන්ඩ් බෑගයේ තිබිය යුතුම දෙයක්.

ඔබ ජිම් එකේ මහන්සියෙන් ව්‍යායාම කළත්, උත්සවයක හෝ නර්තනයේ යෙදුණත්, දහවල් වෙලාවේ එළියට ගියත්, ඒ මොහොතේ ඇති වන අතිරික්ත දිලිසීම් සහ ග්‍රිස් ස්වභාවය ඉවත් කර ගන්නට බ්ලොටිං පේපර් ප්‍රයෝජනවත් වෙනවා.

බ්ලොටිං පේපර් භාවිත කිරීමෙන් වැඩිම වාසියක් ලැබෙන්නේ තෙල් සහිත සමක් ඇති අයටයි.

බ්ලොටිං පේපර් මඟින් තෙල් සහිත ස්වභාවය ඉක්මනින් උරා ගනියි. එම නිසා සාමාන්‍ය ටිෂූ කඩදාසියකට වඩා මෙය ඉතාම ප්‍රයෝජනවත්ය.

මුහුණේ තෙල් සහිත ප්‍රදේශවලට බ්ලොටිං පේපර් එක මෘදු ලෙස තබන්න.

තත්පර කිහිපයක් තියෙන්න අරින්න. ඉන්පසු මේක්-අප් එකට හානියක් නොවන සේ මුහුණේ දහඩිය හෝ තෙල් සහිත සියලුම ස්ථාන බ්ලොට් කරන්න.

ඕනෑම මේක් අප් එකක පළමු පියවර වන්නේ එය තෙල් රහිතව තබා ගැනීමයි. ඊට පිළියමක් ලෙස ෆවුන්ඩේෂන් එක ආලේප කරන්න කලින් Primer එකක් ආලේප කරන්න.

ෆවුන්ඩේෂන් එකේ ගුණාත්මක බවත් මුහුණේ දහඩිය සහ තෙල් ඇතිවීමට හේතුවක් වනවා.

ඒ නිසා සෑම විටම ගුණාත්මක ආලේපන තෝරා ගන්න.

 

උපදෙස් රුපලාවණ්‍ය ශිල්පී

දිනේෂ් මධුසංක

 

 

2020/09/30 තරුණි පුවපත බලන්න