සමාජ මාධ්‍ය හරහා ආලේපන ගන්නේ බලාගෙනයි

ජීවිතයම ගලේ ගහන ඔන්ලයින් සුදුවෙන සෙල්ලම
මාර්තු 6, 2023

එතරම්ම පරෙස්සම් සහගතව භාවිත කළ යුතු දෙයක් තමයි රූපලාවන්‍ය නිෂ්පාදන. කේෂලාවන්‍යයේදී භාවිත කෙරෙන ඩයි වර්ග ආදිය කෙරෙහිත් සැහැල්ලුවට සළකන්න නම් අපට බැහැ.

රූපලාවන්‍යයට කවුරුත් ප්‍රිය කරනවා. ලස්සනට අකැමැති කවුද කියලානේ කතාවට කියන්නේ. ඒත් ඉතින් ලස්සන වෙන්න ගිහින් අමාරුවේ වැටුණු අය බොහොමයි. අන්තර්ජාතික මිල අධික වෙළෙඳ නාම පවා ව්‍යාජ අයුරින් සකස් කරමින් රට රවටන ජාවාරම් දැන් දැන් බොහොමයි. එකක් සුදු වෙන්න. තවත් එකක් තරුණ බව රැක ගන්න. සුදු කොණ්ඩය සුදු වෙන්නත් වියපත් බව සඟවා තරුණ බව ඔප් නංවන්නත් මේ හුඟක් නිෂ්පාදන කදිමයි. වෙ‍ළෙඳ දැන්වීම්වලින් කියන්නේ එහෙමයි.

සමාජ මාධ්‍ය ජාල සමඟත් දැන් හුඟ දෙනකු සම්බන්ධයි. කතාවට කියන්නේ පොල් කඩන කෙනා ළඟත් සෙල් ෆෝන් එකක් තියෙනවා කියලානේ. ඒ වගේම ඒ කවුරුත් සමාජ මාධ්‍ය ජාල වල සාමාජිකයන් වී සිටිනවා. ඒ හරහා වෙළෙඳ දැන්වීම් එමට ප්‍රචාරය වෙනවා. එක අතකින් එය පහසුවක්. ගෙයක් දොරක් විකුණා ගන්නට නැතිනම් කුලියට බද්දට දීමට ඒ ඉඩ කදිමයි. ගහවැලේ හැදෙන ඵලදාවක් විකුණා ගන්න එහෙමත් සමාජ මාධ්‍ය ජාල හොඳයි. ඒත් අපේ ජීවිතවලට සමාජ මාධ්‍ය ඕනෑවට වඩා එබිකම් කිරීම නම් භයානකයි.

 

මේ කියන්න යන්ෙනත් එහෙම කතාවක්. ඉකුත්දා කොලොම්තොට එහෙමත් නැතිනම් ගෙන්දගම් පොළොවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වැයික්කියෙන් තමයි මේ කතාව ඇහෙන්නේ. රූපලාවන්‍ය නිෂ්පාදන බොහොමයක් හොරට නිපදවා, හොරටම ඇසුරුම් කරවා වෙළෙඳපොළට යැවීමට සූදානම් වෙද්දීයි පොලීසියට මේ ගැන ඉව වැටුණේ. සමාජ මාධ්‍ය ජාල හරහා විවිධාකාරයෙන් මේ ගැන ප්‍රචාර දී තිබෙනවා. ඊට මුලාවී මේ ප්‍රමිතියක් නැති රූපලාවන්‍ය ආලේපනවලට වහ වැටුණු දෙනෝදාහකට වැඩ වරදින්නට ඇති. ඒත් ලැජ්ජාවට වැඩි දෙනෙක් මේ ගැන නීති ක්‍රියාමාර්ග නොගත්තා වන්නටත් පුළුවන්.

රූපලාවන්‍ය නිෂ්පාදනයක් ආවාට ගියාට වෙළෙඳපොළට නිකුත් කරන්න බැහැ. ඊට නිසි ක්‍රියාමාර්ග වෙනවා. පියවරෙන් පියවර එහි ගුණාත්මක භාවය ගැන පරීක්ෂණ කෙරෙනවා. ඒ සියල්ලෙන් පසුවත් බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයේදී යම් අසාත්මිකතාවක් වුවහොත් එය භාවිතය නවතා දමන ලෙසටයි ඒවායේ සඳහන් වෙන්නේ.

 

එතරම්ම පරෙස්සම් සහගතව භාවිත කළ යුතු දෙයක් තමයි රූපලාවන්‍ය නිෂ්පාදන. කේෂලාවන්‍යයේදී භාවිත කෙරෙන ඩයි වර්ග ආදිය කෙරෙහිත් සැහැල්ලුවට සලකන්න නම් අපට බැහැ. එවැනි ප්‍රමිතියකට නැති එහෙමත් නැතිනම් කල් ඉකුත්වූ නිෂ්පාදන නිසා වටිනා යෞවනය එහෙමත් නැතිනම් රූප ශෝභාව අවලස්සන කරගත් රුවැත්තියන් පිළිබඳ කතා හිඟ නැහැ. මේ ඇතැම් නිෂ්පාදන ජර්මනිය ආදී ධනවත් රටවල ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරෙන ඒවායි. ඉතින් එතරම්ම මිලෙන් අධික ජනප්‍රිය වෙළෙඳ නාමවල නිෂ්පාදන භාවිත කිරීමට ලැබීමත් සමහරු සලකන්නේ වාසනාවක් විදිහට. ඒත් වැඩේ තියෙන්නේ ඉන් පස්සෙයි. ඉකුත්දා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩා දෙකකින් මෙවැනි ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන හමු වුණා. ඒ කිසිවක් සැබැවින්ම ඒ ඒ රටවලින් ගෙන්වූ එම ජනප්‍රිය වෙළෙඳ නාම දරන නිෂ්පාදන නෙවෙයි. මෙරටදී කිසිම ප්‍රමිතියකින් තොරව ඒ ඒ ව්‍යාජ අසුරණවලට පිරවූ ද්‍රව්‍යයි. ආයුර්වේද නාමය හොරට සඳහන් කිරීමත් ඉන් කැපී පෙනෙන තවත් ජාවාරමක්. මේ කිසිවක ඇත්ත නැත්ත නොදැන මෙරට දෙනෝදාහක් දෙනා මේ නිෂ්පාදන කොතෙකුත් පාවිච්චි කරන්න ඇති. ඉතින් මින් මතුවටවත් මෙවැනි ජාවාරම්කරුවන්ට නොරැවටී ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹීමයි වැදගත්.

 

අනෙක, දියුණු රටවල වඩාත් සෞඛ්‍යාරක්ෂිතවයි රූපලාවන්‍ය නිෂ්පාදන හදන්නේ. ඒවා ගබඩා කිරීමේදී භාවිතයේදී නිසි උපදෙස් සහිතවයි වෙළෙඳ පොළට නිකුත් කරන්නේ. ඒ මිසක කඩපොළේ, පේව්මන්ට් එකේ, පෙට්ටි කඩේ ආදී තැන්වලින් කෙතරම් ආකර්ෂණීය අසුරණ යටතේ වුණත් කොච්චර අඩු මිලට රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන්නට තිබෙනවා දුටුවොත් ඔබට දෙවරක් සිතා බලන්නට වෙනවාමයි. අනෙක උදේ හවා සමාජ මාධ්‍ය ජාල හරහා මේ ද්‍රව්‍ය මිලියන ගණන් like සහිතව අලෙවි කිරීමට කැසකවන සමහරුත් ඔබට දක්නට ලැබේවි. එහි ඇත්ත නැත්ත සොයා බලන්නට ඔබට සිදු වෙනවා. නොඑසේ නම් ඔබ අතිශය පරෙස්සමෙන් රැකගත් රූ සපුවට ඉතා සුළු මොහොතකින් මෙයින් බාධා පැමිණිය හැකියි. ඒ වරද නැවත නිවැරදි කරගත නොහැකි එකක් වන්නටත් පුළුවන්. ඉතින් මතුපිටින් රුව ආලේපනයට පමණක් නෙවෙයි. සමහර suppliments පානයටත් නිර්දේශ කරනු දක්නට පුළුවනි. එවිට එවැනි නිෂ්පාදනත් මේ වගේ කිසිම ප්‍රමිතියකින් තොරව අතන මෙතනදී උඩින් පල්ලෙන් ඇටවූ ඒවා නම් ඒවා භාවිත කරන කාටත් අබ සරණයි. ඉතින් ඔබ රවටන්නටත් ඔබේ වටිනා මුදල් ඩැහැ ගන්නටත් මාන බලා සිටින වෙළෙඳ ප්‍රජාවකුත් මෙරට සිටින වග නිතර සිහි තබා ගන්නැයි වෛද්‍යවරු ඔබෙන් ඉල්ලා සිටිනවා.

 

ඉන් ආරක්ෂා වන්නට ඔබට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය නිතරම මෙවැනි කූට වෙළෙඳාම්, ප්‍රමිතියකට නැති නිපැයුම් ආදිය පිළිබඳ සෙවිල්ලෙන් පසු වෙනවා. එම වැටලීම් සඳහා පොලීසියේත් නොමඳ සහායක් ලැබෙනවා. ඒ කෙසේ වෙතත් ලලනා ඔබේ රූ සපුවේ චමත්කාරය ඔප් නැංවිය හැක්කේ ප්‍රමිතිගත නිපැයුම් වලටම පමණයි. ස්වභාවිකවම රුව වඩන ගස්වැල් සාරය පිළිබඳ ඔබ දැනටමත් දැනුවත්. එසේම, යම් නිෂ්පාදනයක් ඔබ මිලදී ගන්නේ එහි අන්තර්ගතය පිළිබඳත් අවධානය යොමු කරමින්මයි. එනම් රුව වඩන ශාකසාර ගුණ පිළිබඳ විශ්වාසය තබමින්මයි. ඒ අතින් ඔබ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කිසිම වගකීමකින් තොරව ඇතැමුන් කරන ප්‍රචාර පිළිබඳත් සැලකිලිමත් විය යුතුමයි. මේ එළැඹ තිබෙන්නේ හොඳ පරෙස්සමෙන් නිෂ්පාදන තෝරා ගත යුතු කාලයක්.