වගකීම් උසුලන කාන්තා ඔබ සනීපාරක්ෂාවට මුල්තැන දිය යුතුයි

මාර්තු 11, 2020

කාන්තාවන් ලස්සනට ඉන්න හරිම කැමැතියි. එහෙත් කාන්තාවන් ලස්සනට, පිළිවෙළට, පිරිසුදුවට ඉන්න ඕනේ තව කාටවත් පේන්න නොවෙයි. තමන්ගේම සුබසෙත උදෙසායි. කාන්තාවන් ලස්සන වෙන්න නම් ඇගේ සිත ලස්සන වෙන්නම ඕන.

අඳින ඇඳුම්

අපෙ ්රටේ දේශගුණයට, කාලගුණයට, සමට ඔරොත්තු දෙන, ගැළපෙන ඇඳුම් අඳින්න හැමවිටම සිතට ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම රාත්‍රියට හා නිවෙසේ සිටිය දී ඉතා සැහැල්ලු කපු ඇඳුම් භාවිත කිරීම සෞඛ්‍යමත්බව සහ සුවපහසුව සලසයි. රාජකාරි ස්ථානයට ගැළපෙන, පහසු ඇඳුම් සේම කාර්යාලය වායුසමීකරණයකර ඇත්නම් ඊට ගැළපෙන ඇඳුම් ඇඳීමත් අවශ්‍යයි.

පිටරටවලින්, අන්තර්ජාලයෙන් ඇණැවුම් කරන විවිධ මාදිලියේ ඇඳුම්, සීත රටවලට ගැළපෙන ඇඳුම්, දහදිය උරා නොගන්නා රෙදිවලින් ඇඳුම් ඇඳීම අපහසුතාවක් ගෙන දෙනවා සේම, විශේෂයෙන් සමේ රෝග ආසාදන ඇති කරයි. ඉන් සිදුවන්නේ එදිනෙදා කටයුතු අකාර්යක්ෂම වීමයි.

ඇඟට හිරවුණු ඇඳුම් ඇඳීමට වඩා ලිහිල්ව ඇඳීම එදිනෙදා ජීවිතයේ දී පහසුවව ගෙන දෙයි. විශේෂයෙන්ම සිරුරේ ප්‍රමාණයටම අඳින , සමට ඉතා සමීපව අඳින යට ඇඳුම් නම් කපු රෙද්දෙන් නිමවූ ඒවා වීම හරිම වැදගත්. එසේම ඒවා සිරුරට අපහසුවක් ගෙන නොදෙන, සිරුරට අහිතකර ද්‍රව්‍යවලින් නිපදවූ ඒවා නොවීමත් වැදගත්.

පැලඳුම්

අද කාලයේ කාන්තාවන් රත්තරන්, මුතු, මැණික් පැලඳීමට වඩා ඉමිටේෂන් ආභරණ පැලඳීමට පි‍්‍රය කරයි. බොහොමයක් ඉමිටේෂන් ආභරණ සකසා ඇත්තේ ඇලුමිනියම් හෝ ඇලුමිනියම් මිශ්‍රවයි. මේවා නිතර සමට ස්පර්ශව තිබීම හා ඒවා පැලඳ අව්වේ ගමන් කරද්දී එම ආභරණ රත්වී ඇලුමිනියම් සිරුරට කාන්දු වෙයි.

රූපලාවණ්‍ය උපකරණ

මේක්-අප් උපකරණ, රූපලාවණ්‍ය උපකරණ මිලදී ගනිද්දී මිල පිළිබඳ සිතීමටත් වඩා එහි ගුණාත්මක බව පිළිබඳවයි සිතිය යුත්තේ. තොල් ආලේපන ඇතුළු බාල වර්ගයේ මේක්-අප් වර්ග ශරීර සෞඛ්‍යයට අහිතකරයි. ඇතැම් ඒවාහි පිළිකාකාරක පවා අඩංගු විය හැකියි.

ලාභ ලැබීමේ අරමුණින් රූපලාවණ්‍යාගාරවල භාවිතවන බාල වර්ගයේ රූපලාවණ්‍ය උපකරණ ඔබේ සිරුරට අහිතකර විය හැකියි. එනිසා හැමවිටම විශ්වාසවන්ත රූපලාවණ්‍ය උපකරණ භාවිතය පිළිබඳ උනන්දුවන්න.

 

ප්‍රමිතිගත අව් කණ්ණාඩි

බොහෝදෙනා අව් කණ්ණාඩි පැලඳීමට රුචිකත්වයක් දක්වයි. අව් රශ්මියෙන් ආරක්ෂා වීම මෙන්ම විලාසිතාවන් මුල්කර ගනිමින් භාවිත කරන අව් කණ්ණාඩි තමුන්ගේ ඇස්දෙකට ගැළපෙන ප්‍රමිතිගත ඒවා වීම අතිශය වැදගත් ය.

ලිංගික ප්‍රදේශයන් සඳහා ගල්වන පවුඩර්, සුවඳ විලවුන් පසුකලෙක දී පිළිකා කාරකයක් ලෙස ක්‍රියා කළ හැකියි.

හැමවිටම කෘත්‍රිම රූපලාවණ්‍ය ආලේපන වෙනුවට ස්වාභාවික ආලේපන, වසවිස නැති ආහාර, පිරිසුදු ජලය පානය වැනි දේවලින් ද රුව රැකගැනීම සෞඛ්‍යමත් ක්‍රියා පිළිවෙතකි.

 

 

2020/03/11 තරුණි බලන්න