කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නේ නැතිව අපට කියන්න

අප්‍රේල් 29, 2024

 

ප්‍රශ්නය

 

මම 28 හැවිරිදි තරුණියක්. මම වසර දෙකක සිට පෙම්වතෙකු ඇසුරු කරමි. අප දෙදෙනා අතර කායික සම්බන්ධතාවයක් සිදු වී නොමැත. ඔහු සිපිලිස් නම් ලිංගාශ්‍රිත රෝගයකින් පෙළුණු අයෙකු බව මට ඔහුගෙන් දැන ගන්නට ලැබුණේ අදය. ඒ මොහොතේ සිට මා සිටින්නේ දැඩි කම්පනයකිනි. මා ඔහුට සැබැවින්ම ආදරය කරමි. නමුත් මේ තත්ත්වය නිසා මා සිටින්නේ ව්‍යාකූලවය. මෙය නිට්ටාවටම සුව වූවා කියා ඔහු පැවසුවත් මට අවදානමක් ගත හැකි ද? ඔහුව විවාහකර ගත්තොත් මට ද එම රෝගය වැලදේවී ද? හැකි ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

පිළිතුර

 

සිපිලිස් රෝගය ඇති වන්නේ සමීප ලිංගික ඇසුරකිනි. එහිදී ආසාදිත පුද්ගලයෙකු සමඟ ලිංගික ඇසුරකින් පසු දින 9-90 තුළ බිබිලක් මතුවී එය වේදනා රහිත, තරමක් ලොකු තුවාලයක් බවට පත්වේ. බොහෝවිට එක තුවාලයක් පමණක් ඇති වේ. ගැහැනු අයගේ තුවාලය පිටතට නොපෙනී වුවද තිබිය හැකියි. මුල් තුවාලය සෑදී සති 6ක් පමණ ගිය පසු රෝස පාට කුඩා පලු මතුවේ. මුහුණේ, පිටේ, බඩේ, අත්ල, යටිපතුල් සහ ලිංගික ප්‍රදේශයේ ඒ ආකාරයට පලු මතුවිය හැකිය. උණ, හිසරදය, උගුර වණවීම සිදුවිය හැකියි. ප්‍රතිකාර නැතිව වුව ද සුව වේ. සති 6න් පසු ගුප්ත අවධියට එළඹේ. මෙම කාලය තුළ රෝග ලක්ෂණ සැඟවී ඇති අතර අවුරුදු ගණනක් වුවද එසේ තිබිය හැකිය. අවුරුදු 2ක් යනතුරු මෙම පුද්ගලයාට අන් අයට ආසාදනය ඇතිකළ හැකිය. අවුරුදු දෙකෙන් පසු අන් අයට බෝ නොවන නමුත් එම පුද්ගලයාගේ රුධිරවාහිනි, ස්නායු පද්ධතිය වැනි වැදගත් ඉන්ද්‍රිය පද්ධති ආක්‍රමණය කිරීමට ඉඩ තිබේ.

මෙය ගර්භිණී මවගෙන් අලුත උපන් දරුවාට බෝවිය හැකිය. නමුත් ගර්භිණී කාලයේදී

නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් දරුවාට රෝගය බෝවීම වැළැක්විය හැකිය. සිපිලිස් යනු ළදරුවාට අක්ෂි ආබාධ වැනි ඉතා දරුණු රෝග තත්ත්ව ඇතිකළ හැකි රෝගයකි. ඊට අමතරව අඩු බර උපත්, නොමේරූ ළදරුවන් වැනි තත්ත්ව ඇතිවිය හැකිය. එමනිසා එය වළක්වා ගැනීම සඳහා සියලුම ගර්භිණී මවුවරුන් පළමු සායනයේදීම මෙම තත්ත්වය පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ. සිපිලිස් යනු ඕනෑම ලිංගික ක්‍රියාකාරී පුද්ගලයෙකුට ඇතිවිය හැකි තත්ත්වයකි. නමුත් ඔබ ආරක්ෂාකාරී හා විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමණක් සීමා වේනම් සිපිලිස් ඇතිවීමට ඇති ඉඩකඩ සීමිතය.

සිපිලිස් යනු සම්පූර්ණයෙන්ම සුවවන රෝගයකි. එමනිසා මෙම රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වෙනවා. ඔහු සම්පූර්ණ සුවය ලබා ඇත්ද කියා පරීක්ෂාකර ගැනීම වැදගත්. ඒ සඳහා ඔබ දෙදෙනාම ළඟම ඇති රෝහල වෙත ගොස් වෛද්‍යවරයකු හමුවන්න.

 

 

උපදෙස් -

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට