කායික සබඳතාවක් නැතිවත් ගැබ් ගන්න පුළුවන් ද?

මැයි 6, 2024

පසුගිය දිනෙක සමාජ මාධ්‍ය හරහා ඉතාම වේගයෙන් සංසරණය වූ පුවතක් වූයේ 'සිසුවියක් අබිරහස් ලෙස ගැබ්ගනියි, හේතුව සෙවූ වෛද්‍යවරුන් අන්දුන් කුන්දුන් වෙයි' 'කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ් ගනී' යනුවෙනි. ජුගු ප්සාජනක ශීර්ෂපාඨ රැගත් මෙවැනි පුවත් විටෙක දරුවන් හෑල්ලුවට ලක් කරයි.

දරුවන්ට සහ මවුපියන්ට ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ දැනුම්වත්කමේ හිඩැස පිරවීමේ අවශ්‍යතාව තව තවත් තහවුරු කරමින් මෙම පුවත වාර්තා වන්නට විය.

ගැබ් ගැනීමක් වන්නට නම් සුපුරුදු පරිදි ලිංගිකව හැසිරිය යුතුවේ. නැතිනම් කෘත්‍රිම සංසේචනයක් සිදුවිය යුතුවේ. මේ ක්‍රම දෙකින් බැහැරව ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද යන්න ඇත්තෙන්ම ගැටලුවකි.

'සරමක් අැන්දොත්, රෙද්දක් ඇන්දොත්, ගඟේ නෑවොත් ගැබ් ගන්නට පුළුවන්' මේ සියල්ල මි‍ථ්‍යා මතයි. එකහෙළාම බැහැර කළ හැකි මතයි.

සංසර්ගයේ යෙදී දරු කලලයක් මෙන් වැඩෙන ගෙඩි තිබේ. එහෙත් එය දරු කලලයක් නොවේ. ඉන් ස්‍රාවය වන්නේද ගර්භිණි වූවිට ස්‍රාවය වන HCG හෝර්මෝනයමයි. Hyaditiform Mole නම්වන මෙය ගැබ් ගැනීමේ රෝග ලක්ෂණම පෙන්වයි. දරු කලලයක් මෙන් කුස ද දිනෙන් දින ඉදිරියට නෙරයි. වැඩෙන්නේ ගර්භාශය තුළ ඇති ගෙඩියයි.

මෙය ගර්භිණීභාවයේ දුර්ලභ සංකූලතාවකි. ට්‍රොෆොබ්ලාස්ට් නම් සෛලවල අසාමාන්‍ය වර්ධනය එයට හේතූ වේ. මෙම සෛල සාමාන්‍යයෙන් වැඩෙන කලලයක් පෝෂණය කරන ඉන්ද්‍රිය බවට පත්වේ. එම ඉන්ද්‍රිය වැදෑමහ ලෙස ද හැඳින්වේ.

Hyaditiform Mole හෙවත් මවුල ගැබ්ගැනීම් වර්ග දෙකක් තිබේ. සම්පූර්ණ මවුල ගැබ් ගැනීම සහ අර්ධ මවුල ගැබ් ගැනීමයි. සම්පූර්ණ මවුලික ගැබ් ගැනීමකදී, වැදෑමහ පටක ඉදිමීම සහ දියර පිරුණු ගෙඩි සෑදෙන බව පෙනේ. කලලයක් නැත.

අර්ධ මවුල ගැබ් ගැනීමකදී, වැදෑමහේ අක්‍රමවත් පටක තිබිය හැකියි. කලලයක් තිබිය හැකියි, නමුත් කලලයට ජීවත් විය නොහැකියි. සාමාන්‍යයෙන් ගැබ් ගැනීමේ මුල් අවධියේදී කලල රූපය ගබ්සා වේ. මවුලික ගැබ් ගැනීමක් දුර්ලභ ආකාරයේ පිළිකාවක් ඇතුළුව බරපතළ සංකූලතා ඇති විය හැකියි. මවුල ගැබ් ගැනීමකට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වේ.

 

රෝග ලක්ෂණ

 

මවුල ගැබ් ගැනීමක් මුලින් සාමාන්‍ය ගැබ් ගැනීමක් ලෙස පෙනෙන්නට පුළුවනි. නමුත් බොහෝ මවුල ගැබ් ගැනීම්වල ඊටම ආවේණික රෝග ලක්ෂණ ඇති කරයි.

* පළමු මාස ​​තුන තුළ යෝනි මාර්ගයෙන් තද දුඹුරු පැහැයේ සිට දීප්තිමත් රතු පැහැයෙන් ලේ ගැලීම

* දරුණු ඔක්කාරය හා වමනය

* සමහර විට යෝනි මාර්ගයෙන් පිටවන මිදි ගෙඩි වැනි ගෙඩි

* ශ්‍රෝණියේ පීඩනයක් හෝ වේදනාවක්

 

මවුලික ගැබ් ගැනීමක් හඳුනාගැනීමේ වැඩිදියුණු කළ ක්‍රම නිසා, බොහෝමයක් පළමු ත්‍රෛමාසිකයේදීම හඳුනා ගන්නට ලැබේ. පළමු මාස ​​තුන තුළ එය සොයාගත නොහැකි වූයේ නම්, ගර්භාශය ඉක්මනින් වර්ධනයවන අතර ගර්භිණී අවධියේදී ඉතා විශාල වේ.මෙය දරුණු වූයේ නම්, මුල් අවධියේදී හඳුනා ගත නොහැකිවූයේ නම් ගර්භාශය ඉවත් කරන්නට පවා සිදු වේවි.

 

කලාතුරකින් choriocarcinoma ලෙස හඳුන්වන GTN හි පිළිකාමය ආකාරයකින් වර්ධනය වී අනෙකුත් අවයවවලට පැතිරෙයි. Choriocarcinoma සාමාන්‍යයෙන් රසායනික චිකිත්සාව සමඟ මේ සඳහා සාර්ථකව ප්‍රතිකාර කරනු ලැබේ. අර්ධ මවුලික ගැබ් ගැනීමකට වඩා සම්පූර්ණ මවුල ගැබ් ගැනීමකදී මෙම සංකූලතාව ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය.

 

වැළැක්වීම

 

ඔබට මවුල ගැබ් ගැනීමක් වූයේ නම්, නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීමට පෙර ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත් වේවි. තවත් මවුල ගැබ් ගැනීමක් ඇතිවීමේ අවදානම අඩු නමුත් මවුල ගැබ් ගැනීමක් සිදු වූ පසු එය වැඩි වේ.

අනාගත ගැබ් ගැනීම්වලදී ඔබේ තත්ත්වය පරික්ෂා කිරීමට සහ දරුවා වර්ධනය වන බවට වග බලා ගැනීමට අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය කළ හැකියි.

එසේ නම් ඔබට හොඳින්ම වැටහේවි ගැබ් ගැනීමක් සිදුවන්නට නම් ස්වාභාවිකව හෝ කෘත්‍රිමව සංසර්ගයක් සිදුවිය යුතුම බව.

 

 

උපදෙස්:

වෛද්‍ය තුෂ් වික්‍රමනායක