රෝස මලක් මත සමනලයෙක්

මැයි 6, 2020

රෝස මල්වල ආකර්ෂණය සමඟ මල් පැණි බොන සමනලයන් දෙදෙනෙකි. රවුම් හැඩයක් සහිතව නිර්මාණය වූ මෙය කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම ටීපෝ කවර හැඩ කරන්නටයි. රෝස, කොළ සහ නිල් වර්ණ ප්‍රමුඛ කරගත් මේ කතිර රටාව අලුත් නිර්මාණ සොයන ඔබ වෙනුවෙන්මයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 11ක් හෝ 14ක් ඇති සුදු

පැහැති අයිඩා රෙදි

නොම්බර 24 හෝ නොම්බර 26 ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්

රාමුව. ඉඳීකටු, කතුර

 

නිර්මාණය කිරීම

අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් මෙම නිර්මාණය සෙන්ටිමීටර් 26.85×27.40 ප‍‍්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10 හෝ 11 ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප‍‍්‍රමාණය අනුව නිර්මාණයේ ප‍‍්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් තමන් කරන නිර්මාණය අනුව අවශ්‍ය ලෙස වටේට ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. කුෂන් කවරයක් නම් එයට අවශ්‍ය ප්‍රමාණය අනුව කපාගන්න. කොටු 10 න් 10 ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප‍‍්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප‍‍්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 2 ක් සෑහේ. අඟලට කොටු 11 ක් හෝ 10 ක් නම් නූල් පොටවල් 6 ම භාවිත කරන්න. මෙය කතිර මැස්මෙන් හා අඩ කතිර මැස්මෙන් මසාගත යුතුයි. වර්ණ පහක නූල් භාවිතකර ආපසු මැස්මෙන් මසාගත යුතු කොටස් ද ඇත.