කුෂන් හැඩ කරන සමනලුන්

ජනවාරි 27, 2021

නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහිකරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.

බලන්න, මේ අපුරු කුෂන් කවරය මල්වල පැණි බොන්න පාට පාට සමනලුන් ඇවිත්. හරිම ලස්සනයි නේද? වැඩිදෙයක් නැතත් කුෂන් කවරයකට අමුතු කලඑළියක් ලැබිලා. මේ වගේ ලස්සනට කුෂන් කවරයක් මසා ඔබේ විසිත්ත කාමරයට කළඑලියක් ගෙනදෙන්න ඔයාටත් හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අළු පැහැති රෝසිල්ක් රෙදි

(අඟල් 17ය17 හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට රෙදි කපාගන්න. රෝසිල්ක් වෙනුවට ලිනන් හෝ සිල්ක් රෙදි වර්ග ද තෝරාගත හැකිය.)

අඟල් 1½0 සහ අඟල පළල ළා රෝස හා සුදු රිබන්

සුදු, කොළ, කළු මිලිමීටර් 2 පළල රිබන් ඔලිව් කොළ පැහැති කපු කැරැලි නූල්

එම්බ්‍රොයිඩරි රාමුවක්

නොම්බර 20, 18 ටැපැස්ට්‍රි ඉඳිකටු

නිර්මාණය කිරීම

 

පළමුව දී ඇති රූප සටහන ඔබට අවශ්‍ය පරිදි විශාලකර රෙද්ද මත පිටපත් කරගන්න. ඉන්පසු ඔලිව් කොළ පැහැති කැරැලි නූල් පොටවල් හය දමා නැටි මැස්මෙන් නැටි මසාගන්න. එසේ මසාගත යුත්තේ කුෂන් කවරයේ හරිමැද ඇති සිරස් රේඛාවයි. ඉන්පසු සුදු පාට මිලිමීටර් දෙක පළල රිබන් එක ටැපැස්ට්‍රි ඉඳිකටුවට දමා ලේසිඩේසි මැස්මෙන් මල මසාගන්න. පසුව ඔලිව් කොළ පැහැති මිලිමීටර් දෙක පළල රිබන් කොටසක් ගෙන රිබන් මැස්මෙන් කොළ මසාගන්න.

දැන් සමනලයා මසා ගනිමු. සමනයාගේ කඳ කොටස මසා ගැනීමට මිලිමීටර් දෙක පළල කළු පැහැති රිබන් භාවිතකර කෙළින් මැහුම් දෙකක් මසා ගන්න. එහිදී උඩ කොටස උඩටත් යට කොටස තරමක් දිගටත් සිටින සේ මැහුම් දෙක මසන්න. සමනලයාගේ හිස කොටස සඳහා එම රිබන් එකෙන්ම ප්‍රංශ ගැටයක් මසාගන්න. සමනලයාගේ ස්පර්ශක කොටස් දෙක සඳහා කළු කැරැලි නූලෙන් පිස්ටල් මැහුම් දෙකක් මහන්න. සමනලයාගේ ලොකු පියාපත් දෙක සඳහා අඟල් 1½ පළල රිබන් භාවිතකර ලූප් මැහුම් දෙකක් මහන්න. කුඩා පියාපත් දෙක සඳහා අඟල පළල රිබන් භාවිතකර එම මැස්මෙන්ම මසාගන්න.