දඟකාර පැංචන්ට ළඟින්ම තියාගන්න මිනී මවුස්

පෙබරවාරි 17, 2021

පුංචි දූ පුතුන් සත්තුන්ට හරිම ආදරෙයි. හැම වෙලාවකම තම සුරතලා ළඟින් තියන් ඉන්නත් පුංචි දරුවො හරිම කැමැතියි. හාවා, බල්ලා මේ වගේ සත්තු එක්ක දවස ගෙවන එයාලගේ සෙල්ලම් සත්තු අතරට මිනී මවුස් කෙනෙකුත් එක්කොළොත් තවත් සතුටු වෙයි නේද?

ඉතිං අපි මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ ලස්සනම ලස්සන මිනී මවුස් කෙනෙක් ගෙදරදීම මසාගන්නා ආකාරයයි. වැඩි මිලක් දීලා වෙළෙඳපොළෙන් ගන්නවට වඩා ඔබේම අතින් මසාගන්න පුළුවන්නම් එහි වටිනාකමත් ඉහළයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

කළු, රතු, කහ, සුදු ෆෙල්ට්

රෙදි

ගවුම සඳහා රතු ඩොට් රෙදි

ඇස්

පැඩිං

නිර්මාණය කිරීම:

පළමුව දී ඇති රූප සටහන් අවශ්‍ය ප්‍රමාණයට විශාලකර ඡායා පිටපත් ලබා ගන්න. ඒවා කපා මැහුම්වාසි අවශ්‍ය නම් තබා පතරොම් සකසා ගන්න. එම පතරොම අනුව රෙදි කොටස් කපාගන්න. ඉන්පසු මිනී මවුස්ගේ හිස මුදුන කොටස් දෙක එකට මසා එම මූට්ටුවේ සිට අඟලක් දෙපසට වන්නට පැඩිං අල්ලා දෙපස මසාගත් කන් කොටස් දෙක අල්ලා ගන්න. නළල මැද කොටස (දෙපසට) කම්මුල් කොටස්, ඩාට් දෙක මසාගෙන අල්ලා ගන්න. ඒ මැදට නාසය (හොම්බ) කොටස් අල්ලා නාසය (හොම්බ) කොටසේ යටට වන්නට හරි මැද ලකුණු කරගන්න. එයට රතු වර්ණයෙන් කපාගත් කට කොටස අල්ලා ගන්න. ඉන්පසුව එම මුහුණ වටේට හිස පිටුපස කොටස අල්ලා ගන්න.

දැන් කළු පාටින් කපාගත් අත කොටසට සුදු පැහැති අල්ල කොටස තබා මසාගන්න. ඇඟ මැද කොටස් දෙක හරි මැදින් මූට්ටුකර ගන්න. පිටුපස ඇඟ කොටස් අල්ලා ගන්න. එම කොටස් උරහිස්වලින් මසා අත කොටස අල්ලා ගන්න. කකුල පහළ කොටසට සපත්තුව අල්ලා අඩිය මසාගන්න. ඉන්පසු කලින් මසාගත් හිස කොටස හා කඳ කොටස සම්බන්ධකර කකුල් ද අල්ලා හොඳ පිට හරවා ගෙන පැඩිං පුරවා ගන්න. දැන් රතු පැහැති රෙද්ද මත බෝල සහිත රෙද්දකින් කුඩා ගවුමක් මසා අන්දවන්න. ඉන්පසු මිනී මවුස්ගේ ඇස්දෙක ඡායාරූපයේ පෙනෙන පරිදි අලවා ගන්න.

 

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

සේනානි සේනාරත්න

 

රූ රටා  -  විදුමිණි