ප්‍රෝෂන් සහ වැට් ඩයි ක්‍රම දෙකෙන් අලංකාර වූ බතික් ගවුම් නිර්මාණයක්

මැයි 12, 2021

 

පසුගිය සතියේ අපි ඔබට ප්‍රෝෂන් ඩයි (Reactive Dye) ක්‍රමය ගැන සහ එමඟින් බතික් නිර්මාණයක් සිදු කරගන්නා ආකාරය පැහැදිලි කර දුන්නෙමු.

බොහෝ දෙනකු මෙම ඩයි වර්ගය තම නිර්මාණය සඳහා යොදා ගැනීමට අකැමැති වේ. මන්ද ඒ සඳහා යොදා ගත් පැරැණි ක්‍රමය බොහෝ වෙහෙසකාරී එකක් වූ නිසාත් කලක් පරිහරණය කරන විට වර්ණ වියැකී යන නිසාත්ය.

එහෙත් පසුගිය සතියේ අපි ඔබ වෙත ගෙන ආවේ නවතම ක්‍රමයයි. එම ක්‍රමය අප අත්හදා බැලූ නවතම, සාර්ථක ක්‍රමයකි. ඉන් කිසිදු ආකාරයක ගැටලුවක් ඇති නොවන බවට අප සපථ වන්නෙමු.

අප අද ඔබට ගෙන එන්නේ, ප්‍රෝෂන් ඩයි ක්‍රමය සහ වැට් ඩයි ක්‍රමය යන ආකාර දෙකම යොදා ගනිමින් ගවුමක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

ප්‍රථමයෙන් කපු රෙදි 3m ප්‍රමාණක් (ගවුමක් සඳහා) ගෙන ඔබගේ කැමැත්ත පරිදි මෝස්තරයක් ඇඳ ගන්න. (මෙහි සඳහන් මෝස්තරයට අනුව එම මලෙහි පෙත්තක එක් කොටසක තද වර්ණයක් ද එහිම අනෙක් කොටසෙහි ළා වර්ණයක් ද ඇත. අපි මෙහිදී ළා වර්ණය සඳහා ප්‍රෝෂන් ඩයි වර්ගයක් (Turquoise blue) යොදා ගත් අතර තද වර්ණය සඳහා වැට් ඩයි වර්ගයක් (RSN blue) යොදා ගෙන ඇත.)

පසුව නිර්මාණය ඉටි කර ගැනීමේදී මල් පෙති වටා, රෙද්දේ ඉදිරිපස සහ පසුපස කොටස ද ඉටි කරගත යුතුවේ.

ඉන්පසු එසේ ඉටි කරගත් නිර්මාණය වතුර බේසමක හොඳින් පොඟවා ගන්න.

ප්‍රොෂන් ඩයි එක සාදා ගැනීම.

අවශ්‍ය ද්‍රව්‍ය

* ප්‍රෝෂන් ඩයි

(Turquoise blue) 20g

* ලුණු (Industrial Salt) 250g

* කෝස්ටික් සෝඩා 10g

* ඇසිටික් ඇසිඩ් 15ml

* VIP- 10ml

* මඳ උණුසුම් ජලය 200ml

* 10 l ප්‍රමාණයේ ජලය

දැමූ බාත් එකක්

පළමුව මඳ උණුසුම් ජලයෙන් ඩයි 20g දියකර ගන්න. පසුව 10 l ජල බාත් එකට ලුණු සහ VIP දියර දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව එයටම ඩයි මිශ්‍රණය දමා මිශ්‍ර කරගන්න. ඉන්පසුව ඉටි නොකැඩෙන සේ රෙද්ද ඩයි බාත් එක තුළට දමා වි. 20 ක් පමණ හොඳින් පිරිමදින්න. දැන් කෝස්ටික් සෝඩා 10g ගෙන උණුසුම් ජලයෙන් දියකර ගන්න. වේලාව අවසන් වූ පසු රෙද්ද බාත් එකෙන් ඉවතට ගෙන පෙර සකසාගත් කෝස්ටික් ද්‍රාවණය බාත් එකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් නැවතත් රෙද්ද බාත් එක තුළට දමා විනාඩි 30 - 45 පමණ කාලයක් හොඳින් පිරිමදින්න. (වර්ණ විපර්යාසයක් සිදුවේ. ඊට බිය නොවන්න) වේලාව අවසන් වූ පසු රෙද්ද ඉවතට ගෙන මඳ පවනේ වියළා ගන්න. එසේ වියළා ගත් රෙද්ද ගෙන එහි ඇති මල් මෝස්තරයේ මල් පෙත්ත දෙකට බෙදෙන ආකාරයට එක් කොටසක් ඉටිවලින් වසා ගන්න. දැන් මෝස්තරය නොමැති කොටසද නැවත ඉටි කරගන්න. (රෙද්දෙහි ඉදිරි පස සහ පසුපස කොටස ද ඉටි කර ගත යුතුය.)

Vat ඩයි එක සාදා ගැනීම

සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

* (RSN blue) 20g වැට් ඩයි

* හයිඩ්‍රෝ 20g

* කෝස්ටික් සෝඩා 20g

* ජලය පිරවූ බාත් 2 ක් (ජලය 8

l - 10 l ප්‍රමාණයේ)

* උණු ජලය 250ml

වැට් ඩයි සකස් කර ගන්නා ආකාරය පසුගිය පාඩම් වලදී සාකච්ඡා කර ඇත්තෙමු.

ඒ ආකාරයට ඉහත රසායනික ද්‍රව්‍ය යොදා ඩයි මිශ්‍රණය සකස් කරගන්න. පසුව එසේ සාදාගත් ඩයි මිශ්‍රණය එක් ජල බාත් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

පසුව වියළාගත් රෙද්ද ගෙන අනෙක් ජල බාත් එක තුළට දමා හොඳින් පොඟවා ගන්න. පසුව රෙද්දෙහි දිය බේරා ඩයි බාත් එක තුළට දමා විනාඩි 20ක් හොඳින් පිරිමදින්න.

පසුව නැවතත් ජලය පිරවූ බාත් එක තුළට දමා අනවශ්‍ය ඩයි සෝදා හරින්න. අවසානයේ දිය බේරෙන්න තබා හොඳින් නැටවූ ජල බඳුනක බහා ඉටි ඉවත් කර ගන්න. එසේ ඉටි ඉවත් කරගත් පසු ඇසිටික් ඇසිඩ් මිශ්‍ර කළ ජල බේසමක් තුළ විනාඩි 15 ක් තබා සෝදා මඳ පවනේ වියළා ගන්න.

අවසානයේ ඔබගේ කැමැත්ත පරිදි ගවුම මසා ගන්න.

 

 

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා