වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බතික් නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන යන්නට වෙර දරන මදුරාවල සංචාරක ගම්මානයේ තරුණ තරුණියෝ
ගෙවී ගිය සිංහල අවුරුදු සමයේ වෙන අන් කවරදාකටත් වඩා අපේ ජනතාව අතර බතික් නිර්මාණ ප්‍රචලිත වෙලා තිබුණා. මේ නිසා අපේ දේශීය බතික් නිර්මාණ වලට තිබුණේ ඉතා ඉහළ ඉල්ලුමක්. බතික් කර්මාන්තයට ඇතිවුණු මේ ඉහළ ඉල්ලුම නිසා දේශීය ඇඟළුම් නිෂ්පාදනයේ නව පිබිදීමක් ද ඇතිවුණා. අද අප ඔබට කියන්නට යන්නේ බතික් කර්මාන්තය නිසා පිබිදීමට ලක්වුණු ගම්මානයක් ගැනයි.
මදුරාවල ප්‍රදේශය මීට පෙර හැඳින්වූයේ කළුතර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් ලෙසයි. එහෙත් හොරණ මදුරාවල අම්පිටිගල සංචාරක ගම්මානය නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් බවට එය අද පත්ව තිබේ.
අත් යන්ත්‍ර පේෂකර්ම ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මඟ පෙන්වීම මත දේශීය ඇඟළුම් ජනතාව අතරේ ප්‍රචලිත කිරීමේ රජයේ වැඩසටහනක් හැටියට මදුරාවල සංචාරක ගම්මානය තුළ බතික් කර්මාන්ත පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මේ පිබිදීමට හේතුවයි.
දිස්ත්‍රික්කයට එක බැගින් වූ අත් යන්ත්‍ර පුහුණු මධ්‍යස්ථාන බිහිකීරීමෙන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැඟීම දිරිගැන්වීමේ අරමුණින් මෙන්ම සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධන කිරීමේ වයාපෘතියක් හැටියට හොරණ මදුරාවල අම්පිටිගල සංචාරක ගම්මානය පිහිටුවා ඇත.
2008 වසරේ ඇරැඹුණු මේ සංචාරක ගම්මානය බිහිකීරීමේ නිර්මාතෘ වන්නේ සුමංගලාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය හාතියල්වල චන්ද්‍රාණන්ද හිමිපාණෝය. බතික් වලට සමගාමීව මැටි,ලෝහ වැනි හස්ත කර්මාන්ත හඳුන්වා දීමට ද උන්වහන්සේ පුරෝගාමීව කටයුතු කරති. එසේම බතික් ඇතුළු සියලු පාරම්පරික දේශීය නිෂ්පාදන අරක්ෂා කිරීමට උන් වහන්සේ මදුරාවල සංචාරක සංවර්ධන පදනමක්ද බිහිකර ඇත.
ජනාධිපති සෞභාග්‍යය දැක්ම වැඩසටහනට අනුබද්ධ ඇති බතික් දේශීය අත් යන්ත්‍ර හා රෙදිපිළි ශිල්පීන්ගේ සුබසාධක සංගමයේ සභාපති අරුණ ජනකීර්ති මහතා බතික් පුහුණුකරු හැටියට කටයුතු කරයි.
‘‘ 2019 දෙසැම්බර් 18 වැනිදා මේ බතික් පුහුණු මධයස්ථානය සමඟ සංචාරක ගම්මානය ඇරැඹුවා. මේ නිෂ්පාදන වලට දෙස් විදෙස් විශාල ඉල්ලුමක් තියෙනවා. මෙහි 20 දෙනෙක් පමණ ශිල්පි ශිල්පිණියෝ පුහුණුව ලබනවා. ඔවුන්ගේ ඇඳුම් බතික් මොස්තර වලින් ඔවුන්ම අලංකාර කර ගැනීම විශේෂත්වයක්. මේ සඳහා විශාල කැපවීමක් ඔවුන් කරනවා. අද තරුණ පිරිස් අතර බතික් බොහෝ ජනප්‍රිය වී ඇති අතර විවිධ උත්සව හා විශේෂ අවස්ථා සඳහා බතික් විවිධ මෝස්තර හා රටා අනුව හැඩගැන් වීමට ඔවුන් උනන්දු වෙන බව දැකිය හැකියි. එය මේ අවුරුදු සමයේ රැල්ලක් බවට පත්වුණු අතර ඒ සඳහා යොමුවන පිරිස් වැඩි වීම නිසා වැඩි ඉල්ලුමක් බිහිවී තිබෙනවා. මදුරාවල අම්පිටිගල සංචාරක ගම්මානයේ මේ නිෂ්පාදන වලටත් දෙස් විදෙස් විශාල ප්‍රසාදයක් ලැබී තිබෙන අතර ඒ උදෙසා රන් සම්මානයකින් පවා පුදනු ලැබුවා.
සහරාන් ප්‍රාහාරය සහ කෝවිඩ් 19 වයිරස් වසංගතය හේතුවෙන් අද මෙය යම් පසුබෑමකට ලක්ව තිබෙනවා. මේ ශිල්ප ශිල්පිනියන්ට බතික් නිර්මාණ දියුණු කර ඉදිරියට ගෙනයන්නට රජයේ සහනාධාර වැඩපිළිවෙළක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය දේශීය බතික් කර්මාන්තයේ නව පිබිදීමකට හේතුවක් වනු ඇත‘‘.
මොවුන් අතර විවිධ කලා නිර්මාණ වලින් විවිධ නිෂ්පාදන වල යෙදෙන අයත් ඉන්නවා.
නිරෝශා සඳමාලී එයින් එක් කෙනෙක්. මේ ඒ පිළිබඳව ඇය තරුණීට දැක්වූ අදහසයි.
"තරුණ තරුණියන් ආකර්ෂණීය වෙන නිෂ්පාදන හැටියට දැන් බතික් ජනප්‍රිය වෙලා. එයට ප්‍රධානම හේතුව වන්නේ අපේ දේශීය සංස්කෘතිය පිළිබිඹු වෙන ආකාරයේ හෙළ කලාවේ එන විවිධ මෝස්තර, වෙනස් වන රටාවන් මේ නිර්මාණ තුළින් ප්‍රකාශිත වීමයි. මම විවිධ රටවල සංචාරය කර තිබෙනවා. ඒ වගේම මට භාෂා කිහිපයකින් කතා කිරීමට හැකියාව තිබෙනවා. විදේශිකයින් අපේ බතික් වලට ඒ මෝස්තර වලට හරිම කැමැතියි. ඒ අත්දැකීම් තුළ බතික් මෝස්තර ජාත්‍යන්තරයට ගෙන යන්නට අපට ඇති හැකියාවට රජයේ සහයෝගය ලබාදීම මම අපේක්ෂා කරනවා."
බතික් නිෂ්පාදනය හා නිර්මාණ කරනයේ නව මංපෙත් සොයා යන ඔවුහු විවේක ලබන අවස්ථා වලදී සංගීතයෙන් සෞන්දර්යයෙන් කලා රසයවිඳීමටද අමතක නොකරති. සැබැවින්ම දේශීය කර්මාන්තයක් මෙලෙස නඟා සිටුවීමට තරුණ පිරිස ඉදිරිපත් වීම අගය කළ යුත්තකි.
සටහන සහ ඡායාරූප
හොරණ.විශේෂ
කල්‍යාණප්‍රිය රණසිංහ