බිත්තිය සරසන්න කදිම රෝස මල් කූඩයක්

රිබන් එම්බ්‍රොයිඩරි
අගෝස්තු 18, 2021

 

මල් ලොව අගරැජිනිය නම් විරුදාවලිය ලත් රෝස මල් කොමලියන්ගෙන් හැඩවුණු මනරම් මල් බඳුනක චමත්කාරයයි මේ. රිබන්වලින් ජීවය ලද මේ සොඳුරු රටාවන් ඔබටත් ගෙත්තම් කළ හැකිදැයි බලන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

අමුරෙදි හෝ ලිනන් රෙදි

ළා දුඹුරු අඟල් 1/2 පළල සිල්ක් සෙටින් රිබන්

ඔලිව් ග්‍රීන් රෙදි පින්තාරු තීන්ත

නොම්බර 5 පින්සලක්

එම්බ්‍රොයිඩරි රාමුවක්

ළා රෝස, පීච්, මෙරුන්, ඔලිව් ග්‍රීන්, ලයිට් ග්‍රීන් අඟල් 1/2 පළල සිල්ක් සෙටින් රිබන්

සුදු, ළා දම්, කළු, රෝස, ඔලිව් ග්‍රීන් බේබි රිබන්

නොම්බර 22 ටැපැස්ට්‍රි ඉඳිකටු

කතුරක්, අඟල් 12ක් පමණ දිග බකට් කම්බියක්

 

නිර්මාණය කිරීම

 

පළමුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට රෙදි කොටසක් කපා ගන්න. ඉන්පසු මල් බඳුන මසා ගත යුතු ස්ථානය ලකුණු කරගන්න. පසුව මල් බඳුනේ යට කොටස මසන ස්ථානය අවට නොම්බර 5 පින්සලෙන් කොළ වර්ණ රෙදි පින්තාරු මඟින් ළා වර්ණය ලැබෙන සේ පින්තාරු කරගන්න. මෙය දිනක් පමණ වේළා ගත යුතුය.

දැන් බාස්කට් එක ලකුණු කරගත් තැන සිට පළමුව අඟල් 1/2 පළල ළා දුඹුරු රිබන් එක ගෙන රිබන් එක අඹරවා ගනිමින් කෙළින් මැහුම් දමා ගන්න. ඉන්පසු හරහට මැහුම් දමන විට ඉඳිකටුව ඉරි උඩින් සහ යටින් යවමින් බාස්කට් වීව් මැස්ම භාවිත කරමින් සම්පූර්ණ බාස්කට් එක පුරවා ගන්න.

පසුව බකට් කම්බියට පුළුන් ඔතා එයට උඩින් දුඹුරු රිබන් එක අඹරවමින් ඔතා ගන්න. මේ බාස්කට් එකෙහි හඬලයයි. එය බාස්කට් එකෙහි උඩින් තබා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මසා ගන්න. දැන් අඟල් 1/2 පළල තද රෝස පාට රිබන්වලින් අඟල් 12ක් පමණ දිග කොටසක් කපා ගන්න. එමඟින් මීට පෙර කියා දී ඇති ආකාරයට ෆෝල්ඩඩ් රෝස මල් සාදාගන්න. ඉන්පසු එම මල් ඡායාරූපයේ දැක්වෙන ආකාරයට රෙද්ද මත තබා මසා ගන්න. පසුව එම වර්ණයෙන්ම රිබන් කොටසක් ගෙන ටැපැස්ට්‍ර් ඉඳිකටුවට දමා ඉහත මල වටේට කෙළින් මැහුම් කීපයක් දමමින් පෙති අවශ්‍ය පමණට මසා ගන්න.

මලේ පහළට වැටෙන පෙති මැසීමට රිබන් මැස්ම භාවිත කරන්න. පෙති මසා ගන්නා ආකාරය අනුව මලෙහි විශාලත්වය තීරණය වෙයි. මේ ආකාරයට රෝස, පීච් හා මෙරුන් වර්ණ රිබන් භාවිත කරමින් මල් මසා ගන්න.

දැන් අඟල් 1/2 පළල ඔලිව් ග්‍රීන් හා ලයිට් ග්‍රීන් රිබන් භාවිත කරමින් අවශ්‍ය තැන්වලට රිබන් මැහුම් දමමින් කොළ මසා ගන්න. ඒ අතරට සුදු බේබි රිබන් මඟින් කෙළින් මැහුම් දමමින් පෙති පහේ මල් තැනින් තැනට මසා ගන්න. තවද ෆොගෙට් මී නොට් මල් ද අතරින් පතර මසාගන්න. බේබි රිබන් භාවිත කරමින් රිබන් මැස්මෙන් කොළ ඉති කීපයක් මසා ගන්න. රෝස මල් පොහොට්ටු මැසීම සඳහා අඟල් 1/2 පළල රෝස පාට රිබන් එකෙන් කෙළින් මැහුම් දෙකක් දමා ගන්න. බේබි රිබන් මඟින් පොහොට්ටුවලට මනිපත්‍ර දමා නිර්මාණය මසා අවසන් කර ගන්න.

 

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී ශලින්ද්‍රි ආලෝකා