ඉවත දමන පත්තර කොළවලින් පෑන් පැන්සල් රඳවනයක්

සැප්තැම්බර් 8, 2021

 

කියවලා ඉවර වූ පසු ගොඩගැහෙන පත්තර ඔබ අප කාගේත් ගෙවල්වල ඕනෙ තරම්. ඒවායෙනුත් ටිකක් බත් පාර්සලයක්, එහෙමත් නැතිනම් වෙනත් යමක් ඔතා ගන්න භාවිත කළත් තවත් ඉතිරිවෙනවා.

ඉතිං මේ විදිහට ඉතිරිවෙන පත්තරවලින් නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන් නම් ඒක හරිම අගෙයි නේද? මේ පෑන් පැන්සල් රඳවනය ඉවතලන පත්තරවලින් කළ අපූරු නිර්මාණයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉවතලන පත්තර කොළ කිහිපයක්

වර්ණවත් A4 කඩදාසියක්

රෙදි පින්තාරු තීන්ත

ඇලවීමට ගම්

කතුරක් හෝ පේපර් කටර් එකක්

රෙදි එල්ලන ක්ලිප්ස්

කාඩ්බෝඩ් කොටසක්

ලී හෝ යකඩ සිහින් කූරක්

 

නිර්මාණය කිරීම

 

පළමුව පළමු ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පත්තර පිටු කීපයක් ගෙන හතරට නමා තීරු කපා ගන්න. ඉන්පසු දෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පත්තර තීරුවක් මත ලී හෝ යකඩ කූරක් තබා කඩදාසිය රෝල්කර අවසානයේ ගම් ගා අලවා ගන්න. තෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙලෙස සකස්කර වර්ණ ගන්වාගත් කඩදාසි රෝල් කීපයකි. දැන් සිව්වැනි ඡායාරූපයේ පෙනෙන පරිදි කාඩ්බෝඩ් කොටසක් මත ෂඩාශ්‍ර හැඩැති කොටස් දෙකක් ඇද කපාගන්න.

ඉන්පසු එහි එක් ෂඩාශ්‍ර කොටසක් මත පස්වැනි ඡායාරූපයේ දැක්වෙන පරිදි කඩදාසි රෝල් අලවන්න. පසුව අනෙක් ෂඩාශ්‍ර කොටසත් හයවැනි ඡායාරූපයේ පෙනෙන ලෙස කඩදාසි රෝල් ඇලවූ ෂඩාශ්‍ර කොටස මත තබා ගම් ගා අලවා රෙදි ක්ලිප්ස් ගසන්න.දැන් මෙම කොටස තබා කැමැති වර්ණ A4 කොළයක හත්වැනි රූපයේ පෙනෙන පතරොම් කොටස සහ ෂඩාශ්‍ර හැඩැති කොටසකුත් කපාගෙන මෙම කොටස් 8, 9, 10 ඡායාරූප දෙස බලමින් අලවන්න.

ඉන්පසු 11, 12, 13, 14, 15, යන ඡායාරූප දෙසබලා රටාවේ පළමු පේළිය වියාගන්න. මෙලෙස සාදාගත් රෝල් අවසන් වෙන තෙක්ම ඉහළටම වියා කෙළවරට ගම් ගා තවත් රෝල් අමුණමින් වියන්න. එය 16වැනි ඡායාරූපය දෙස බැලීමෙන් ඔබට දැකගත හැකිය. අවසානයේ 17, 18 ඡායාරූපවල පෙනෙන පරිදි මුළුවල ගම් ගා රෝල් රඳවා රෙදි ක්ලිප්ස් ගසා වියළුණු පසු වැඩි කොටස් කපා දමන්න. 19 සහ 20, ඡායාරූපවලින් දැක්වෙන්නේ අවසන් කරගත් නිර්මාණයයි.

ඡායාරූප - ශාන් රූපස්සර

 

උපදෙස් - හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන, පන් ආශ්‍රිත නිර්මාණ උපදේශිකා අත්කම් නිර්මාණ ශිල්පිනී

බිස්මි රංගනා කුරුවිටආ‍රච්චි