දඟකාර තාරුණ්‍යයට හැඩකාර විලාසිතාවක්

දෙසැම්බර් 6, 2021

 

දඟකාර තාරුණ්‍යයේ පසුවන තරුණ ඔබට හැඩට අඳින්නට ලස්සන ගවුමකි. මුද්‍රිත ඇදෙන සුලු රෙදි වර්ගයකින් මසා ඇති මේ ගවුම ළඟ එන උත්සව සමයේ හැඩවෙන්නට කදිමයි. බලන්න, ඔබේම අතින් මෙය මසාගන්න.

අවශ්‍ය මිමි

උරහිස = අඟල් 14 1/2

කර වට = අඟල් 13

කර ගැඹුර = අඟල් 6

පපුව දක්වා උස = අඟල් 10

ඉණ දක්වා උස = අඟල් 16

පපුව වට = අඟල් 35

ඉණ වට = අඟල් 31

ඔපනැලි අතර පළල =

අඟල් 6

සාය උස = අඟල් 24

ගවුමේ බ්ලවුසය සඳහා ප්‍රින්සස් ලයින් එකක් ගෙන ඇති බැවින් පතරොමක් සාදාගන්න.

පතරොම සඳහා ඉදිරිපස නැම්මට තබා ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකරන්න. උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 1/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත් කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාව අඳින්න.

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට ඩාට් සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. G හා I යා කරන්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස් මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න.

 

E සිට කර මදක් පළල් කර (අඟල් 1 - 2ක් පමණ) මූලික කරටම කර ඇඳගන්න. D සිට කර ගැඹුරට ඕවල් හැඩයට අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එන පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. K සිට ඉණට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එන පිළිතුර L සිට දෙපසට ලකුණු කර Kට යා කරන්න. K සිට අත් කට මැදට ප්‍රින්සස් ලයින් හැඩය අඳින්න. කොටස් වෙන්කර රෙදි මත තබා කැපීමේ දී මැහුම්වාසි තබා කපාගන්න.

පසුපස කැපීමේ දී ඉදිරි පතරොම වෙන්කිරීමට පෙර කපාගන්න. පසුපස පතරොම සඳහා නැම්මට මසා ඉදිරි පතරොම නැම්ම මතින් තබා ගන්න. ඉදිරිපස උරහිස රේඛාව සමාන්තරව පසුපස උරහිස රේඛාවට අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුකර ගැඹුර අඟල් 1 1/2ක් පමණ පහත්කර කපාගන්න.

සාය

සාය සඳහා පහත වාටියට අඟල් 5ක - 6ක බෑන්ඩ් එකක් අල්ලා ඇත. එම උස අඩුකර සාය උස ගන්න. එයට මැහුම්වාසි අඟල් 1ක් එකතු කර ගන්න.

සාය දෙපසට ප්ලීට් තබා ඇති එම ප්ලීට් සඳහා අවශ්‍ය ප්‍රමාණය එකතුකර දිග ලෙස ගත යුතුය. ප්ලීට් ඔබට කැමැති ආකාරයට සකසාගත හැකියි.

මැසීම

ප්‍රින්සස් ලයින් හැඩය මසන්න. උරහිස මසන්න. කර හා අත් කට පයිපිං කරන්න. සාය යට බෑන්ඩ් එක අල්ලා දෙපස ප්ලීට් කර සාය අල්ලාගන්න. අංශය මසන්න. වාටිය මසන්න.

 

උපදෙස් ප්‍රවීණ උපදේශිකා

දිලුෂි දසනායක