මල් හා සමනලුන් පිරි අත්කම් කුෂන්වල හැඩ

ජනවාරි 24, 2022

සිඟිත්තන් ගෙදරට සිරියාවකි. ඒ නිසාම සිඟිති දරුවන් ගේ නිදන කාමර, තොටිල්ල ආදිය හැඩකරන්න අම්මා වෙහෙසෙනවා. ලස්සන කුෂන් ටිකක් සකසා නිදන ඇඳ, තොට්ල්ල, පුටු උඩ වගේම බිම තබන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් හැඩැති කුෂන් කවර නිර්මාණය කරගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.

අවශ්‍ය දේවල්

විවිධ වර්ණ ෆෙල්ට රෙදි

ලිනන්, අමු රෙදි හෝ කැමැති රෙදි වර්ගයක්

ගැළපෙන වර්ණ නූල්

පැඩිං, ලයිනිං රෙදි

කතුරු

ඉඳිකටු

ෂිපර් එකක්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

නිර්මාණය කිරීම

ප්‍රථමයෙන් කුෂන් එකක ප්‍රමාණය තීරණය කරන්න. ඒවා අඟල් 16x16, 18x18 ආදී කැමැති ප්‍රමාණයකට සකසා ගත හැකියි.

ඔබ කැමැති ප්‍රමාණය අඟල් 18x18 නම් අඟල් 18 1/2x18 1/2 ප්‍රමාණයට රෙදි කොටසක් හා අඟල් 18 1/2x9 1/2 ප්‍රමාණයට රෙදි කොටස් දෙකක් කපාගන්න. සමනලයන්, මල්, කොළ, පොහොට්ටු කඩදාසි කොළවල ඇඳ පතරොම් සකසා ගන්න.

ඒ පතරොම් භාවිතයෙන් ෆෙල්ට් රෙදිවලින් අවශ්‍ය කොටස් කපාගන්න. දැන් අඟල් 18 1/2x18 1/2 කොටස ගෙන එහි මල්, සමනලුන්, කොළ ආදිය තබා බ්ලැන්කට් මැස්ම, සැටින් මැස්ම ආදියෙන් කැමැති මැස්මක් භාවිතකර ගැළපෙන වර්ණ නූල්වලින් මසා ඇප්ලික් කරගන්න.

මැෂිමේ ද ඇප්ලික් කරගත හැකියි.

පසුව අඟල් 18 1/2x18 1/2 ප්‍රමාණයටම කපාගත් පැඩිං කොටසක් හා ලයිනිං රෙදි කොටසක් තබා මසා හොඳපිට නිමාකර ගන්න.

පසුපස රෙදි කොටස් දෙක ගෙන එම කොටස්වල ප්‍රමාණයට කපාගත් පැඩිං හා ලයිනිං කොටස් තබා මසා ෂිපර් එක මැදින් අල්ලා පසුපස කොටස නිමාකර ගන්න. එම කොටස සකසාගත් ඉදිරිපස කොටසට තබා මසා කුෂන් කවරය නිමාකර ගන්න. මෙහි දැක්වෙන කුෂන් දෙස බලා කැමැති මෝස්තරයකට අවශ්‍ය කුෂන් ප්‍රමාණයක් සකසා ගන්න.

උපදෙස් හා සටහන

පාලිකා දිල්රුක්ෂි