බිත්ති සැරසිල්ල හැඩ කළ සුරතල් බනී

මාර්තු 21, 2022

දූපුතුන් මවකට උතුම් සම්පතකි. මේ නිසාම ඈ තම දරුවන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙයි. දරුවන් සතුටින් තබන්නට, ඔවුන්ගේ නිදන කාමර අලංකාර කරන්නට අගනා බිත්ති සැරසිල්ලකි මේ. දිගු කන් දෙක ඔසවාගෙන අවට ගැන විමසිල්ලෙන් හඳපානේ ඇවිදින හා පැංචෙකි. කළු පැහැති රෙදි කොටසක මැසීමෙන් මෙහි අලංකාරය වැඩිවී ඇති අයුරු බලන්න. ‘ෆොන්ඩ්ල් බනී' ලෙසින් නම් කර තිබූ මෙය ඔබත් මෙලෙස මසාගන්න. මේ නිර්මාණයට අදාළ දළ සටහනේ කොටස් හතර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති කළු

පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 දක්වා

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරැලි නූල්, රාමුව.

ඉඳිකටු, කතුර

 

නිර්මාණය කිරීම

රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව මසන නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් එහි ප්‍රමාණය සෙන්ටිමීටර් 25.40x35.92 කි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය තව විශාල වේ. නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න.

රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 4ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම්

 

නූල් පොටවල් 6 ම භාවිත කරන්න. මෙහි එකම අංකය දෙතැනක තිබීම ගැටලුවක් කර නොගන්න. සංකේත දෙකකින් වුව දක්වා ඇත්තේ එකම වර්ණයයි. ආපසු මැස්මෙන් මැසීමට ඇති රේඛා ද එකම වර්ණයෙන් දෙකක් ඇති ඒවා තිබේ. එසේ වුවද ඒවා දක්වා ඇත්තේ වර්ණ දෙකක රේඛා මඟිනි. එයට හේතුව වන්නේ ඒ සඳහා භාවිතකර තිබෙන නූල් පොටවල් ප්‍රමාණය වෙනස් වීමයි. එහෙත් එය ඔබ සැලකිල්ලට ගත යුතු නැත. භාග කතිර මැස්මෙන් මැසිය යුතු ඒවා හා ප්‍රංශ ගැට මැස්මෙන් මැසිම යුතු ස්ථාන ඇත. ආපසු මැස්ම සඳහා නූල් පොට දෙකක් හෝ තුනක් භාවිත කරන්න.