කොණ්ඩය සරසන රිබන් මලක හැඩ

මැයි 30, 2022

 

කාන්තා ඔබේ දෑත් නිර්මාණශීලී ය. ඒ නිර්මාණශීලීත්වය ඔප් නංවන්නට අපි ද ඔබට අත්වැල් ගෙන එන්නෙමු. මේ නිර්මාණය රිබන්වලින් කළ කොණ්ඩ මලකි.

අවශ්‍ය දේවල්

අඟල පළල රතු රිබන්

අඟල් භාගෙ පළල සුදු රිබන්

හොට් ග්ලූගන්

ෆෙල්ට් රෙදි කොටසක්

බූල් බෑන්ඩ් එකක්

අඬුවක්

භාග පබළු

නිර්මාණය කිරීම

මේ සඳහා ඔබට කැමැති වර්ණ දෙකක් ගළපාගත හැකියි. අප තෝරාගෙන තිබෙන්නේ රතු හා සුදු වර්ණයයි. රතු අඟල පළල රිබන්වලින් අඟල් 1x1කොටස් 7ක් හා සුදු රිබන්වලින් අඟල් භාගෙ කොටු හතක් කපාගන්න. කොණ්ඩයට ගසන කොණ්ඩ කටු කිහිපයක් ළඟ තබාගන්න. රතු රිබන් කොටස ගෙන 2 රූපයේ ලෙස කර්ණයෙන් දෙකට නමාගන්න. 3 රූපයේ සේ එය නැවතත් දෙකට නමන්න. මේ නැමුම් දිග නොහැරීමට කොණ්ඩ කටු ගසාගන්න. අඬුව ගෙන නමාගත් රිබන් කොටස ගෙන නැවතත් දෙකට නැමෙන සේ අඬුවෙන් අල්ලා ලයිටරයෙන් දාර පැත්ත පුලුස්සා ගන්න. 4 රූපය බලන්න. එවිට ඔබට මල් පෙත්තක් දැකගත හැකියි.

පුලුස්සා සකසා ගත් පෙත්ත 5 රූපයෙන් දිස් වේ. ඒ ආකාරයට රතු පෙති සකසාගන්න. සුදු රිබන් කොටස ගෙන කර්ණයෙන් දෙකට නමන්න. 7 රූපය බලන්න. ඉන්පසු 8 රූපයේ ලෙස කොන් දෙකෙන් ඇතුළට නමන්න. එය 9 රූපයේ ලෙස අඬුවෙන් අල්ලා ලයිටරයෙන් පුලුස්සා ගන්න. සුදු පෙති සියල්ල ඒ ආකාරයට සකසාගන්න. සකසාගත් පෙති 10 රූපයේ දැක්වේ. දැන් රතු පෙති මැදින් සුදු පෙති තබා පෙති දෙක එකට ඇලෙන සේ පුලුස්සා ගන්න. නැත්නම් හොට් ග්ලූගන්වලින් අලවා ගන්න. එලෙස අලවාගත් පෙති 11 රූපයේ දැක්වේ. දැන් එම පෙති මලක් නිර්මාණය වන සේ එකට අලවාගන්න. ඒ මල මැදින් භාග පබළුව අලවන්න. මල යටින් බූල් බෑන්ඩ් එක තමා අලවන්න. මලත් බූල් බෑන්ඩ් එකත් හසුවන සේ ෆෙල්ට් රෙදි රවුම අලවා කොණ්ඩ මල සකසාගන්න.

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් ශිල්පිනී

චුලනී ජයසිංහ